ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක් අද ලෝකය පිළිගෙන තිබෙනවා | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක් අද ලෝකය පිළිගෙන තිබෙනවා

අද ලෝකයේ මූල්‍ය ආයතන ආධාර දෙන්නේ මේ නිසා බව ජනපති පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී කියයි

ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස, උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමේ නිදහස ඇති රටක් හැටියට ලෝකයම ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පසුගිය දා ( 7 ) පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති තෝරාගත් 3,800කට සමෘද්ධි ප්‍රතිලාභ හිමිකම් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.

සමෘද්ධි අධිකාරියේ නිලධාරින් ජනාධිපතිවරයා පිළිගත් අතර විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායම ජනාධිපතිවරයාව උත්සව සභාව වෙත කැඳවාගෙන ගියහ. සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශ ලේකම් ශිරාණි වීරකෝන් මහත්මිය මෙහිදී පිළිගැනීමේ කතාව කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව සභාව අමතා තවදුරටත් මෙසේ ද පැවසිය.

ලෝකයේ මූල්‍ය ආයතනවලින් ආධාර ලබාදෙන්නේ මේ සියල්ලම ගැන සලකා බලායි. මේ වනවිට රටට කිසිඳු අඩුවකින් තොරව රටවල් ගණනාවකින් ආධාර ලැබෙනවා. ලංකාවට ආධාර ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ලම මම කැ‍ඳෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, කොරියන් නොයිකා බැංකුව, ජපන් ජයිකා බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අයි. එම්. එෆ්. මේ සියලු ආයතන කැඳවලා මේ අය සමඟ මේ වනවිට ලංකාවට ලබා දෙන ණය ආධාර සහ ඉදිරි වසරවල ලබාදෙන ණය පහසුකම් පිළිබඳ සාකච්ඡා කළා.

ඒ අය ඒ ණය ආධාර ලබාදෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද. මිනිසුන්ට නිදහස තිබෙනවා ද. මානව හිමිකම් ආරක්ෂා වෙනවාද, මාධ්‍ය නිදහස ති‍යනවාද. මිනිසුන්ට නිදහසේ කතා කරන්න පුළුවන් ද, මිනිසුන්ට නිදහසේ පෙළපාළි යන්න, විරෝධතා කරන්න උද්ඝෝෂණ කරන්න නිදහස තිබෙනවාද. ඒ සියලු දේ තිබෙනවා නම් ඒ මූල්‍යායතන අපිට සල්ලි දෙනවා. ඒ සහතිකය අපිට ඉහළින්ම ලැබිලා ති‍යනවා.

ලෝකයේ සෑම රටක්ම අද අපිට සලකන්නේ මම ඒ කියාපු කරුණු සම්පූර්ණ කරපු රටක් විදිහටයි. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත් වෙලා හිටියේ. ලෝක බැංකුව මුදල් ලබා දෙන ණය නැවතිලා තිබුණා. ආසියානු සංවර්ධන බැංකුව අපිට මුදල් ලබාදෙන එක නැවතිලා තිබුණා. ජපන් ජයිකා ආධාර නැවතිලා තිබුණා. නමුත් මම කලින් කියපු කරුණු රට තුළ ශක්තිමත් කරලා තිබෙන නිසා අද අපිට කිසිඳු අඩුවක් නැතිව ඒ ආධාර ලැබෙනවා.

එක් එක් රටවල් දුගී බවෙන් නිදහස්වීම සඳහා කරන ව්‍යාපෘති ලෝකය පුරාම තියෙනවා. ලෝකයේ ධනවත් රටවල්වල ජීවත් වෙන්න රස්සාවක් නැති ආදායමක් නැති අයට වෙනම මුදලක් ලබා දෙනවා. අද අමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් යාචකයන් සිටිනවා. ධනවත් රටවල්වලට ගියාම ‍බොහෝ වේලාවට ධනවත් රටවල් කියන හැම රටකම සිඟමන් යදින අය සිටිනවා. අපි අපේ රට වගේම ලෝකයේ අනිත් රටවල් පිළිබඳ සැලකිල්ලට ගත්විට මේ රටේ අඩු ආදායම්ලාභි පවුල්වලින් වැඩි පි‍රිසක් එයින් නිදහස් කර ගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරය ගන්නා ලද ක්‍රියා මාර්ග පිළිබඳ සතුටු විය හැකියි.

1930, 1940 දශකයේ සිට අපේ රටේ ආදායම් බදු නොගෙවන සෑම කෙනකුටම සහල් සලාකය නොමිලේ ලබා දුන්නා. 1978 සහල් පොත අහෝසි වුණා. අහෝසි වෙච්ච අවසාන හාල් පොත ලියපු කෙනෙක් මම. ඉන්පසුව ජනසවිය ආරම්භ වුණා.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණා, ගැමිදිරිය විදියට නම වෙනස් වුණා. පියවරෙන් පියවර අපි මේ ව්‍යාපාර ඉදිරියට ඇවිත් තියනවා. එහෙත් අපිට රටක් විදියට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. දුගී බවින් නිදහස් වීමේදී අපි සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා ද කියන කාරණාව පිළිබඳව.

මම ගිය සුමානේ නේපාලයේ සංචාරයක් කළා. අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා නේපාලයට වැඩම කරලා තියෙනවා. ලුම්බිණිය වඳින්න වැඩම කරලා තියෙනවා. නේපාලය කොච්චර ලස්සන රටක් ද. නමුත් දුප්පත්කම ,දුගීභාවය ඉහළ රටක්. ලෝකයේ ඉහළම කඳු මුදුන තියෙන්නේ නේපාලයේ. ඒ සුන්දර මහා කඳුවැටි එක්ක ඒ ස්වභාවික සම්පත්වලින් පිරුණු නේපාලනය දුගී බවින් ඉතාම පීඩා විඳින රටක්. ඒ හා සසඳද්දී අපිට අපේ රට ගැන බෙහෙවින් සතුටු වන්න පුළුවන්. සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට අද අපි ලෝකයේ ඉහළම තැනක ඉන්නවා. අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. පොළොන්නරුව දිස්ත්‍රික්කය විදියට ගත්විට අද මෙතැන පවුල් තුන්දහස් ගාණක් සමෘද්ධි ප්‍රතිලාභින් විදියට තෝරාගෙන ඒ ප්‍රතිලාභ ලැබෙනවා.

2016 මම ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව වැඩ සටහන යටතේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් හැකියාවක්, නිර්මාණශීලි කුසලතාවක් තිබෙන ඕනෑම කෙනකුට ආදායම් තත්ත්වයන් නොසලකා ණය ආධාර ලබාදෙන්න කටයුතු කළා. 2017 රුපියල් කෝටි 100ක් වෙන් කෙරුවා. නමුත් අපේ නිලධාරින් බෙදලා තිබුණේ කෝටි 5යි. කෝටි 95ක් ආපසු ගියා. මේ වර්ෂයේ කෝටි 263ක්. මේ නවවැනි මාසය වෙද්දී රුපියල් කෝටි 70ක් විතර තමයි තවම ණය ලබා ගෙන තිබෙන්නේ. තමන්ගේ දක්ෂතාවය, කැපවීම, හැකියාව තිබෙනවා නම් ඒ මුදල් ලබාගෙන තමන්ගේ ජීවනෝපාය තත්ත්වය උසස්කර ගන්න පුළුවන්. මමත් රස්සාවල් නැති කාලයේ මොනතරම් දේවල් කලාද කියලා මම කියන්න කාලය ගන්නේ නැහැ.

නමුත් අපි හැම කෙනෙක්ම දැන ගන්න ඕනෑ ආර්ථික අමාරුකම්වලින් ගොඩ එන්න සමෘද්ධි ප්‍රතිලාභින්ගේ දක්ෂතාවය වන්නේ හැමදාම මේවා ගන්න නොවෙයි. මේවායින් ගොඩඑන්න නිදහස් වෙන්න ජයග්‍රහණය ලබන්න. මම අද සතුටු වෙනවා ඔබලාට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ලැබීම ගැන. රජයෙන්ම යැපෙන්නේ නැතිව තම ස්වශක්තියෙන් නැගිටින්න මේ අය උත්සහ කළ යුතුයි. බොහෝ අය රාජ්‍ය සේවයට බැ‍ඳෙන්න කැමැතියි. නමුත් පෞද්ගලික ආයතනවල සේවය ඉතා වැදගත්. අපේ රටේ හැම දෙයක්ම රජයක් වශයෙන් නොමිලේ දෙන්නේ. පාසල් අධ්‍යාපනය සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියල්ල නොම්ලේ. උණ සෙම්ප්‍රතිශ්‍යාව සිට විශාල ශල්‍යකර්මය දක්වාත් රෝහල්වලින් නොමිලේ ‍කරන්නේ.

සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී. හැරිසන් පෙරේරා මහතා-මේ ලබාදෙන සමෘද්ධි ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ගෙන ඔබ ආර්ථික අතින් ඉහළ යා යුතුය. ඉහළ ගියවිට ඔබේ ප්‍රතිලාභය තවත් නැති බැරි අයකුට ආර්ථික අතින් ඉහළ යාමට කටයුතු සලසා දිය යුතුය.

සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අැමැති රන්ජන් රාමනායක මහතා- ලක්ෂ පහළොවහමාරක් රාජ්‍ය සේවයේ ඉන්නවා. රාජ්‍ය සේවය වැඩිවෙන්න වැඩිවෙන්න රටේ සංවර්ධනය පහළ යනවා. ඒ වගේම සංවර්ධනයේ කාර්යක්ෂමතාව අඩු වෙනවා .

පොළොන්නරුව දිසා ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ද සහභාගි විය. ජනාධිපතිවරයා අතින් මෙහිදී සමෘද්ධි ප්‍රතිලාභින්ට ත්‍යාග ප්‍රදාන කෙළේය.

පොළොන්නරුව දිසා සමූහ
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න