ශුද්ධ වූ ලියවිල්ල සහ අපේ ජීවිත | දිනමිණ

ශුද්ධ වූ ලියවිල්ල සහ අපේ ජීවිත

මහිමෝත්තම දෙවි සමිඳාණන් විසින් සිය ඒකජාත පුත්‍රයාණන් වන දිව්‍ය ගැලවුම්කාර ජේසු සමිඳානන් මෙලොවට බිහිකිරීම සඳහා තෝරාගත්, මරියතුමිය ලැබූ තරම් වරප්‍රසාද සමුදායක් ලැබූ තවත් කාන්තාවක් එදා මෙදාතුර මෙලොවට ජනිත වූයේ නොවේ. ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු එම උත්තම කාන්තාවගේ වාසනා මහිමය අති උත්කෘෂ්ටය.

අප පෙම්බර මෑණියන් වන එතුමිය සිය කුසෙහි ශූද්ධාත්ම ආනුභාවයෙන්, දේව පුත්‍රයාණන් පිළිසිඳ ගත් මොහොතේ සිට දේව කැමැත්තට අවනත වූ ආකාරය පිළිබඳව ශුද්ධවූ ලියවිල්ලෙහි යස රඟට විදහා දක්වා ඇත්තේ ද දේවානුභාවයෙන් බව අපි තරයේ අදහමු.

එතුමිය සිය සමනාණන් වන ජුසේතුමන් දේව අණට කීකරු වෙමින් ජේසුස් නම් වූ දේව පුත්‍රයාණන්ට දුන්නා වූ රැකවරණය, උණුහුම, ප්‍රේමය කිසිසේත් සුළුකර තැකිය නොහැක්කේමය. වසර 30 ක එතුමාණන්ගේ සුරැකි පියා හා ලොවට ජනිත කළ මරියෝත්තමාවන් සමඟ ඔවුනට කීකරුව ගතකළ ජීවිතය පිළිබඳ දීර්ඝ විස්තර නැත ද, වයස අවුරුදු 12 දී දේව මාලිගාවට සුරැකි පියාණන් හා මෑණියන් සමඟ ගිය ගමනේ දී නැති වී සම්බ වූ මොහොතේ පැවසූ “මම මගේ පියාණන්ගේ කාර්යයේ නියැලිය යුතු බව නොදන්නේ” දැයි, යන වදන අනුව තමන් දේව පුත්‍රයා බව උන්වහන්සේට දැනුණ ආකාරයත් පිළිබිඹු වන්නේ වෙයි. එහි පියාණන් යනුවෙන් හැඳින්වූයේ සර්ව බලධාරී දෙවිපියාණන් බව ගම්‍ය වෙයි.

ජේසු සමිඳාණන් දින 40 ක් පුරා පාළුකරයේ ගතකර ස්නාවක ජුවාම් නම් වූ ජේසු සමිඳාණන්ගේ පෙරමඟ සරසන්නාගෙන් බෞතීස්ම ස්නාපනය ලැබූ ඒ උතුම් මොහොතේ දෙවිපියාණන් ශුද්ධාත්මයාණන් හා ජේසුස් වහන්සේ යන ශුද්ධවූ ත්‍රිත්වය පෙනී සිටි මොහොතේ පටන් ආරම්භ වූ ප්‍රසිද්ධ ජීවිතය, පිළිබඳ ශුද්ධවූ ලියවිල්ලේ නව ගිවිසුමේ, සුවිශේෂ ග්‍රන්ථවල දක්වා ඇති ආකාරය ඒවා පරිශීලනය කිරීමේදී කදිමට පැහැදිලි වන්නේමය. ශුද්ධවූ සුවිශේෂකවරුන් සිව්දෙනාම ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් ග්‍රන්ථාරූඪ කර ඇති ආකාරය ප්‍රශස්තය. බොහෝ කරුණු සුවිශේෂ ග්‍රන්ථවල එකම ආකාරයකින් ලියා ඇති අයුරු ද පෙනෙන්නට ඇත. භාෂාව හා ශෛලිය වෙනස් වුවද එම කරුණුවල ඒකාග්‍රතාවයක් ඇති බව ඒවා පරිශීලනයේදී පැහැදිලි වෙයි.

ස්වාමීන් වූ දෙවි පියාණන්ගේ අනුහස නොමඳව ලබමින් කයෙන් මනසින් හා අධ්‍යාත්මිකව අත්දැකීම්වලින් පෝෂණය වෙමින් වැඩුණු අයුරු ද, අතිශයින් පැහැදිලි වෙයි. සිය ප්‍රධාන ශ්‍රාවකයන්, තරාතිරම් නොබලා තෝරාගත් ජේසුස් වහන්සේ ඔවුන් සමඟ ගම්දනව් සිසාරා ගමන් කරමින් දේව අණසක අනුව දහම දේශනා කළ ආකාරය ද ශුද්ධවූ ලියවිල්ල අපට පෙන්වා දෙන්නේ අපූර්ව රූප පෙළක ආකාරය දක්වමිනි. පරිසරයේ දක්නට තිබෙන ස්වාභාවික දෑ සංකලනය කරමින් උපමා ආකාරයෙන් දහම දෙසූ උන්වහන්සේගේ පරමාදර්ශී ගුරු දේවයාණන් කෙනෙකුගේ ගතිලක්ෂණ පෙන්නුම් කර ඇති ආකාරය ආකර්ෂණීය වෙයි; වර්ණනාත්මක වෙයි.

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ තුන්වසර පුරාවට සිදු කළ ප්‍රාතිහාර්යයන් දෙසූ අතිශය ගැඹුරු දහමක් අඩංගු සරලව ශ්‍රාවකයන්ට පැහැදිලි කර දුන් උපමා කතා, දෙසූ සුමධුර දේශන, උන්වහන්සේගේ වේදනාබර දුක් ප්‍රාප්තිය, ශ්‍රී මරණය තුන් දිනකින් විජයග්‍රාහීව උත්ථාන වීම, උත්ථානයෙන් පසු ශ්‍රාවකයන් ඉදිරියේ විස්මිත අයුරින් දර්ශනය වීම වැනි කරුණු කාරණා සමුදායක් ශුද්ධ වූ සුවිශේෂී ග්‍රන්ථවල අඩංගු වී ඇත්තේ ද දේවානුභාවයෙන්ම බව අපට සිතාගත හැකිය.

මෙම ශුද්ධවූ සුවිශේෂී වූ ග්‍රන්ථවල මරියෝත්තමාවගේ කාර්යභාරය ද මනාව පැහැදිලිව පෙන්වා ඇත. ජේසුතුමන් පිළිසිඳ ගැනීමේ සිට ශූද්ධවූ කුරුස පාමුල දක්වා, එතැන් සිට ස්වර්ගාරෝහණය දක්වා එතුමිය තම කුසින් බිහිකළ දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිදුකළ ගැලවීමේ කර්තව්‍යයට දායක වූ ආකාරය ද ශුද්ධවූ ලියවිල්ල අපට මොනවට පැහැදිලි කර දෙයි. දේව කැමැත්තට 100% ක්ම අවනත වෙමින්, එය මනාව අවබෝධ කරගෙන සිදුවන සියල්ල සිත්හි නිදන් කර ගනිමින්, දුක් ප්‍රාප්තියේදී අතිශය වික්ෂෝපයට පත් වූ මරියෝත්තමාව දෙව් පියාණන් වහන්සේගේ ප්‍රසාදය හා ආදරය උපරිමව ලද විශ්වයේ තවත් කාන්තා චරිතයක් ඇත්තේම නැත. එතරම්ම දේව ප්‍රසාදයට පාත්‍ර වූ මෙම උත්තමාවියගේ කීර්ති නාමය, පළුදු කරන්නට වෑයම් කරන සියලු බලවේග අවසානයේ සුන්නද්ධූලී වෙනවාට කිසිදු සැකයක් නැත්තේමය.

එතුමිය ලොවට තිළිණ කළ “යාච්ඤා දාමය” හෙවත් “ජපමාලය” එදිනෙදා ජීවිතයට ශක්තිය, බලය, සවිය සලසන මෙවලමක් ලෙස සලකා එය නිරතුරු පරිහරණය කිරීම තුළින් සමාජය විෂමකරණ යක්ෂයාගේ තාවකාලික බලය නිශේධ කිරීමට කතෝලික සැදැහැ ජනතාවට දායක විය හැකිය. එය එසේ විය යුතුය. එහෙයින් “ජපමාලය” දෛනිකව උච්චාරණය කිරීමට විශේෂයෙන් බාල පරපුර ඒ සඳහා යොමු කිරීම පූජක, පැවිදි අප කාගේත් යුතුකම හා වගකීම ද වන්නේමය. මන්දයත් අද විශ්වය පුරාවටම විසිරී, පැතිරී උඩුදුවමින් පවතින විෂම සමාජ රැල්ලෙන් මිනිස් වර්ගයා ගලවා ගැනීමට ඇති විමුක්ති මාර්ගය මරියෝත්තමාව මඟින් දේව දයාව, දේව උදව්ව, දේව ප්‍රේමය දිනාගැනීම බව අපට හැ‍ඟේ.

ලොව තුළ පොදුවේත්, අප ජීවත්වන මෙම කුඩා දිවයින තුළත් අද ශීඝ්‍රයෙන් පල්ලම් බහින සාමය, සමඟිය, එකමුතුකම, ප්‍රේමය වැනි උතුම් ගුණාංග විනාශ කිරීම අද, නිරා දූතයා වන යක්ෂයාගේ භූමිකාව බවට පත්ව ඇත. එහෙත් යක්ෂයාට කිසිදා අවසාන ජයග්‍රහණයක් අත්නොවන බවත්, ජය ගන්නේ එකම දෙවිඳුන් වන මහිමෝත්තමාණන්ගේ බලය වන බවත් අප තරයේම සිතට ගත යුතුය.

කුහක කම, ඊර්ෂ්‍යාව, උඩඟුව, දුෂ්ටකම, අනුන් ගැරහීම, හොඳ නමට හානි කිරීම වැනි දෑ නික්මෙන්නේ ලෝකයේ දුව පැන ඇවිදින යක්ෂයාගෙන්ම බවට සාක්ෂි ශුද්ධ ලියවිල්ලේ ඕනෑ තරම් ඇත.

එහෙයිනි, අප කවුරුත් ශූද්ධ ලියවිල්ල පරිශීලනය කළ යුතු වන්නේ, පාපය නරකමය. එහෙත් පාපය පිළිකුල් කර පව්කරුවා වැලඳගන්නා අප ප්‍රේමණීය පියාණන් වහන්සේ දුර්වල අපගේ “බැරි බව” දන්නා සේක. එහෙයින් ජේසුස් ස්වාමීන් වහන්සේ විසින් ස්ථාපිත කළ පව් කමාවේ ප්‍රසාද නිධානය සැබෑ සූදානමකින් හා ඕනෑකමකින් ලබාගැනීමෙන් දේව දයාව යළි උදාකර ගැනීමට අපට හැකියාව ඇත.

දෙවි මිනිස් සබඳතාවය යළි තහවුරු කිරීමේ “පාලම” ක් බඳු පව් කමාවේ ප්‍රසාද නිධානය ගෞරවනීයව ලබාගැනීම තුළින් අපට දේව ප්‍රේමය අත්දැකීමට ලැබී තිබෙන බලය, ආධාරය හරි හැටි තේරුම්ගෙන අපගේ යහපත් එ‍‍ඬේරුන් වන පූජා ප්‍රසාදීන්වරුන් මඟින් ජේසුස් වහන්සේගෙන් සමාව ලබා ගනිමු.

මේ සියලු ක්‍රියාදාමයන්හිදී දුබල අපගේ මැදහත්කාරිය ලෙස මරියෝත්තමාව අපට සිටින බව අප තේරුම් ගනිමු. දෙව් මහෝත්තමයාණන්ට උතුම් වූ වන්දනාව ලබාදෙමින් මරියෝත්තමාව හා සභාවේ සාන්තුවර හා ශාන්තුවරියන්ගේ ජීවිත පැවැත්ම තුළ තිබුණා වූ උතුම් වූ ගුණාංග අප ජීවිතවලට කාවද්දා ගැනීම අපට වගකීමක් මෙන්ම යුතුකමක් ඇත්තේය. ඒ උතුම් වගකීම හා යුතුකම ඉටුකරමින් ජීවිතය අලංකාර කර ගැනීමට අපි වෙහෙස වෙමු. ඒ ප්‍රයත්නය අප මහෝත්තමයාණන් අගය කරනු නොඅනුමානය. එහෙයින් අපි අපගේ කාර්යභාරයේ නියැළෙමු. එවිට උන්වහන්සේගේ කාර්යභාරය ඉටු නොකරත්ද? උන්වහන්සේට අවශ්‍ය වන්නේ මානව වර්ගයාම ගළවා ගැනීම විය යුතුය.

මරියෝත්තමාව මඟින් දෙවිපියාණන් වෙත යොමුවීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ගෙන යමු. එතුමිය නිසි කලට නිසි වේලාවේදී සියල්ල සම්පූර්ණ කිරීමට දේව කැමැත්ත හා ආනුභාවය ඇතිව කටයුතු කරනු ඇත. ඒ සඳහා ජපමාලය නමැති අවියේ බලය අපි ප්‍රයෝජනයට ගනිමු. ශුද්ධවූ ලියවිල්ල හැකි සෑම කෙනෙක්ම හැකි තරමින්වත් පරිශීලනය කිරීමට වෙහෙසෙමු. දැනුම් තේරුම් ඇති කවුරුත් ඒ දෙස ඇස් යොමත්වා!

දෙව් මහෝත්තමයාණන්, දේව පුත්‍ර ජේසුස් වහන්සේ හා මරියෝත්තමාවන් යන ත්‍රිත්වය අපට දෙන ශුද්ධ ලියවිල්ලේ පණිවිඩය එදා මෙදාතුර අතිමහත් බව රහසක් නොවේ. ඒ අනගි පණිවිඩය ඇසුරින් අවසානයේ සගය දිනාගැනීමට අපි දැන් දැන්ම පෙළගැසෙමු! එසේ නොවුණහොත් අපේ “මරණ මංචකය” අපට “නපුරු අත්දැකීම”ක් වනු නොඅනුමානය. දෙවි පියාණන්, ජේසු සමිඳානන් හා මරියෝත්තමාවන් අනු යමින් අවසාන විනිශ්චයට දැන් සිටම සූදානම් වෙමු. ඒ සඳහා මරියෝත්තමාවන් අපට තිළිණ කළ “ජපමාලය” නිරතුරු ළඟ තබාගනිමින් දෛනිකව උච්චාරණය කරමින් අපේ ජීවිත අලංකාර කර ගනිමු!

 

ඩික්සන් කොංගනීගේ

නව අදහස දක්වන්න