විවිධ පක්ෂවලින් විවිධ යෝජනා | දිනමිණ

විවිධ පක්ෂවලින් විවිධ යෝජනා

ලයනල් බෝපගේ සහ චිත්‍රාත්, ඔවුන්ගේ සිඟිති දියණියත් බැලීමට පැමිණි අය අතර කරු මල්ලි, ඒ. ඩී. පී. රත්නායක, අබ්දුල් මුබාරක්, ලලිත් චන්ද්‍රසිරි, විරාජ් ප්‍රනාන්දු, සමන්ත චන්ද්‍රසිරි, ගාමිණී දසනායක වැනි අය ද සිටියහ. ඇතැම් අය බෝපගේ රැකියාවට ගොස් සිටිය දී ඔහුගේ වගතුග අසමින් චිත්‍රාට කරදර කළහ. මෙම පැරැණි සගයන්ගෙන් අයකු පිළිබඳ ලයනල්ට දැඩි සැකයක් ඇති වුණි.

ඔහු ජ.වි.පෙ.හි දේශපාලන එදිරිකරුවන් ඝාතනය කරන්නට මැදිහත් වූ අයෙක් බව ලයනල් බෝපගේට දැන ගන්නට ලැබුණේ බොහෝ කලකට පසුව ය. මහීපාල නම් වූ මොහු කාලයක් පංචිකාවත්තේ පක්ෂ කාර්යාලයේ ද, ඉන්පසු පංචිකාවත්තේ සහ දෙමටගොඩ සමාජවාදී කම්කරු සංගමයේ කාර්යාලවල ද පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතව සිටියේය. ඔහු උපතිස්ස ගමනායකගේ ඉතා කිට්ටුවන්ත සහෝදරයෙක් ද විය. 1980 අවසානය වනවිට ‘අතුරුදන්’ කරන ලද දස දහස් ගණනක් අතුරින් මහීපාල එක් අයෙක් බව දැන් බෝපගේ දනියි.

කෙසේ වෙතත් දේශපාලනය ලයනල් බෝපගේ හැර ගියේ නැත. ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ විට අනෙක් දේශපාලන පක්ෂ සියල්ලම පාහේ ඔහු වෙත ළං වෙන්නට උත්සාහ කළේය. ඒ පක්ෂ අතර ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ද විය. වරක් ඔහු සමඟ ඉහළ සිට පහළට නව ව්‍යාපාරයක් ගොඩ නඟන්නට යෝජනා කළ පිරිසක් සමඟ ලයනල් බෝපගේ කොළඹ කොටුවේ රජයේ ලිපිකරු සේවා සංගමයේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට ද සහභාගි විය. ඒ සාකච්ඡාව කැඳවා තිබුණේ ගුණසේන මහානාම මහතා විසිනි.

ඊට සහභාගි වූ අනෙක් අය වූයේ උපාලි කුරේ සහ ආචාර්ය සුමනසිරි ලියනගේ යන මහත්වරුය. එක් අතකින් දේශපාලනය ගැන මහත් කම්පනයකින් ද කලකිරීමකින් ද ඔහු පෙළුණේය. මෙම සාකච්ඡාවෙන් බෝපගේ ඉවත්ව ගියේ කලකිරීම දෙගුණ තෙගුණ කර ගනිමිනි. සාකච්ඡාව සාර්ථක වන්නටත් පෙර නායකත්වයේ සිටිය යුතු අය තීරණය කරන්නට උපාලි කුරේ මහතා මැදිහත් වෙන්නට උත්සාහ කළ බැවිනි. ඉන්පසුව පැරණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ද නව පක්ෂයක් තැනීමට ඔවුන් සමඟ එක් වන ලෙස බෝපගේ ගෙන් ඉල්ලා සිටියෝය.

එයින් ප්‍රධානියා වූයේ යාපනයේ පූර්ණකාලීනව දේශපාලන වැඩ කටයුතු කළ සමන්ත චන්ද්‍රසිරි ය. නමත් ඒ වන විට බෝපගේට පක්ෂ දේශපාලනය එපා වී තිබුණි. ලයනල් බෝපගේ නොදැනුවත්ව ම මෙම කණ්ඩායම ඔහුගේ නමුත් ඉල්ලා අස්වීමේ ලිපියත් යොදා ගනිමින්, නවකයින් බඳවා ගැනීමේ උත්සාහයක යෙදී සිටියේය.

“පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලියන කොට චිත්‍රා සහෝදරිය මට දිගින් දිගටම කිව්වා, අස් නොවී අනෙක් අයත් සමඟ කතා කරලා බලන්න කියලා. ඒ අනුව මට මතක අන්දමට ඒ ලිපිය බාර දෙන්න ඉස්සර කිහිප සැරයක් වෛද්‍ය අතුල සුමතිපාල සහෝදරයාගේ නි‍වෙසේ මම මේ ගැන අනියම් අන්දමින් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලට බොහෝ අවස්ථාවල සමන්ත චන්ද්‍රසිරි සහ වෛද්‍ය නිහාල් අබේසිංහ වැනි සහෝදරවරුත් හිටියා.”

හෙවිෆැබ් ආයතනයේ වැඩ කරන්නට පටන් ගත් කාලයේ දියණියට අසනීපව බෙහෙත් ගන්නට ඔහු වෛද්‍ය අතුල සුමතිපාල සේවය කළ වෝඩ් ප්ලේස් ක්ලිනික් එකට ගිය විට සෝමවංශ අමරසිංහ මුණ ගැසිණි. සැඟවී සිටින ජ. වි. පෙ. අයට විවෘත දේශපාලනයට එන්නට කටයුතු කරන ලෙසත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අවස්ථාවාදී ව කටයුතු නොකොට නිවැරැදි ස්ථාවරයකට එන ලෙසත් ඔහු සෝමවංශ අමරසිංහට කියා සිටියේය. අමරසිංහ දැඩි ලෙසම කියා සිටියේ, ඔවුන් ඉන්නා ස්ථාවර නිවැරැදි බවත් පක්ෂය කිසිසේත්ම ඒ ස්ථාවරවලින් ඉවත් නොවන බවත් ය.

මාස කිහිපයකට පසුව කොල්ලුපිටිය හන්දියේ බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටිය දී ලයනල් බෝපගේට නැවත වරක් සෝමවංශ අමරසිංහ සහ ජිනදාස කිතුලෙගොඩ දකින්නට ලැබුණි. බෝපගේ ඔවුන්ට ප්‍රසිද්ධ සයිවර් හෝටලයට ගොස් තෝසයක් කා තේ බොන්නට යෝජනා කළේය. මඳ අකමැත්තකින් වුවද ඔවුහු ලයනල්ගේ ආරාධනය පිළිගෙන තෝසෙ අනුභව කොට යන්නට ගියහ. මෙම අහඹු හමුවීම ඔවුන්ට කෙසේ දැනුණා දැයි බෝපගේට අදටත් හැඟීමක් නැත.

1985 මැද පමණ ‌හෙවිෆැබ් ආයතනයේ වෑන් රථයකින් බෝපගේ හෝමාගම ගලවිලවත්තේ වැඩපොළට යමින් සිටිය දී, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලවල සාමාජිකයින් බොහෝ දෙනෙක් බසයක් එන තුරු රැඳී සිටින අයුරු දුටුවේය. ඒ අතර පියදාස රණසිංහ, සුමිත් අතුකෝරාල, එච්. බී. හේරත් වැනි අය සිටි අතර ඔහු ඔවුන්ට අත වනමින් ඔවුන් පසු කර රිය පදවා ගෙන ගියේය. රාජ්‍ය බුද්ධි අංශ විසින් ඔවුන් රට පුරා සොයමින් සිටි කාලයක ඔවුන් එබඳු පොදු ස්ථානයක එකතු වී සිටියේ මන්දැයි බෝපගේ කල්පනා කළේය.

ඒ ආසන්නයේ ම දිනයක බෝපගේ කොළඹ බලා යන බස් රියකට නඟින්නට හයිලෙවල් පාරේ මහරගම බස් නැවතුම් පොළේ සිටිය දී පාරේ අනෙක් පැත්තේ සෝමවංශ අමරසිංහ සහ ජිනදාස කිතුලෙගොඩ අවිස්සාවේල්ල දෙසට යන බසයක් එනතුරු සිටින අයුරු දුටුවේය. එහෙත් ඔහු ඔවුන් සමඟ කථා කරන්නට නොගියේය. නායකයන් කොටු කර දෙන්නට බෝපගේට අවශ්‍යව තිබුණා නම් ඒ සඳහා මේ අන්දමේ නොයෙක් අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නට ඔහුට හැකිව තිබුණි. නමුත් තමන්ට එවැනි අවශ්‍යතාවයක් නොවූ බව ඔහු පවසයි.

සමන්ත චන්ද්‍රසිරි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණේ තුල්හිරියේ පේෂකර්ම සංස්ථාවේ සේවය කරමින් සිටියදීය. 1977 කාලය වන විට පූර්ණ කාලීනයකු ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩ කරමින් සිට ඔහු 1982 පමණ වන විට උතුරේ දෙමළ ජන කොටස් අතර වැඩ කටයුතු කරන්නට එක් විය. ටික කලක් ගත වෙද් දී ඔහුගේ වැඩ කටයුතුවල අසංවිධානාත්මක භාවය පිළිබඳව උතුරේ ම පූර්ණකාලීනව වැඩ කළ වැලිමඩ ෆොන්සේකා චෝදනා මුඛයෙන් බෝපගේට වාර්තා කොට ඇත. එහෙත් ප්‍රචාරක කටයුතු කරන්නට දක්ෂ අයකු වූ ඔහු සමඟ යාපනයේ ජ.වි.පෙ.ට හිතවත් අය දිගටම කටයුතු කළහ.

1983 මුල් කාලය වන විට වැලිමඩ ෆොන්සේකා යාපනයේ දෙමළ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරන්නට ගියත් තරුණිය ඒ සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ද මානසික වික්‌ෂෝපයකින් පෙලෙන බව බෝපගේ දැන සිටියේය. 1985 මැද වකවානුව වන විට පිළියන්දල දො‍ළේ කනත්තේ බෝපගේ ගේ නි‍වෙසට කතාබහ කරන්නට තවත් අය පැමිණ බෝපගේ අකමැති වූවත් බලහත්කාරයෙන් මෙන් බෝපගේ දේශපාලනයට ඇද ගන්නට උත්සාහ කළහ. මේ වන විට සමන්ත චන්ද්‍රසිරි ද දො‍ළේ කනත්තේ නි‍වෙසට නිතරම පාහේ යන්නට එන්නට පටන් ගෙන තිබිණි.

“පැරණි ජ.වි.පෙ. සහෝදරවරු බොහෝ දෙනෙක් අලුත් කණ්ඩායමක් හදන්න කිව්වට දේශපාලන කම්පනය නිසා මට එහෙම කරන්න තරම් හිතේ හයියක් හෝ වුවමනාවක් තිබුණේ නැහැ. මම හමු වෙන්න ආ අය අතරේ රත්නායක සහෝදරයා, සමාජවාදී කම්කරු සංගමයට අනුබද්ධව තිබූ තැපැල් වෘත්තීය සමිතියේ ජයතිලක සහෝදරයා වැනි අයත් හිටියා.

සමන්ත සහෝදරයා තමයි මේ පිළිබඳව වැඩිම බලපෑම් කරන්නට උත්සාහ කළේ. නමුත් ඔහුට කිසිම දේශපාලන ක්‍රියා මාර්ගයක් ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. සමන්ත සහෝදරයා හමු වූ විට ඔහු කතා කරන දේවල් ගැන අනෙක් කිසි කෙනකුගේ පැහැදීමක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ විට ඔවුන් සමන්ත සහෝදරයා මුණගැසීම මඟහැරියා පමණක් නොවෙයි ඔහුගේ කටයුතු ගැන දැඩි ලෙස පරෙස්සම් වෙන ලෙස මටත් උපදෙස් දුන්නා.”

“සමන්ත 1985 මැද භාගයට ආසන්නයේ දිනක වවුනියාවේ ‘කිරි මහත්තයා’ කියලා හඳුන්වපු කුමාරසිංහ සහෝදරයා මාව මුණගැහෙන්න එක්කරගෙන ආවා. උතුරේ ප්ලොට් (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය - PLOTE) වැනි සංවිධාන කරන අරගලයට සහයෝගය දිය යුතු බව ඔහු මට කිව්වා. මම ඔහුගේ මතයට කිසිසේත්ම එකඟ වුණේ නැහැ.

මීට පස්සේ තවත් දවසක වවුනියාවේ කුමාරසිංහ සහෝදරයා සමන්ත සහෝදරයා සමඟ ඇවිත් මට ‘සහෝදරයා හමු වෙන්නට ප්ලොට් සංවිධානයේ මානික්කදාසන් සහෝදරයා එනවා, ඔහු සමඟ දේශපාලන සාකච්ඡාවක් කරල බලන්න’ කියලා කිව්වා.

මම කිසි කෙනෙක් එක්ක දේශපාලනය කතා කරන එක ප්‍රතික්ෂේප කරලා නැහැ. අදත් එහෙම කරන්නේ නැහැ. ඔවුන්ගේ මතයට සාවධානව ඇහුම් කන් දෙනවා ඒ වගේම මගේ මතයත් පැහැදිලි ලෙස ඉදිරිපත් කරනවා. ඒ නිසා මම ඔවුන්ගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැහැ.“

සිසිර යාපා
හෙට - පොලිසිය නැවතත් බෝපගේ පසුපස...

නව අදහස දක්වන්න