වියානා කතාව! | දිනමිණ

වියානා කතාව!

ඔස්ට්‍රියාවේ අගනුවර වියානා ය. යුරෝපයේ අති සුන්දර නගරයක් ලෙස ද ලෝකයේ ප්‍රකට වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ද එම නගරය ප්‍රකට ය. නිතර සංචාරකයන් ගැවසෙන වියානාව හැමවිට ම කාර්ය බහුල ය. ඔස්ට්‍රියාවට වඩා වියානා නුවර කාගේත් කතාබහට ලක්වන්නේ එහි ඇති ජාත්‍යන්තර සබඳතා නිසා යැයි කියන්නට පුළුවන. ශ්‍රී ලංකාව ද සැලැකිය යුතු කාලයක සිට වියානාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වයි. මේ කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට එම සබඳතා අතිශයින් වැදගත් වෙයි.ඒ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය නිසා ය. එබැවින් අද අපගේ මේ තීරුව වියානා කතාව ලෙස හඳුන්වමු.

අප මේ කියන්නට යන්නේ වියානාව තරම් සුන්දර කතාවක් නො වේ. එය සිත් රිදවන තවත් කතාවකි. අප අපගේ යුතුකම් හා වගකීම් පිළිබඳ නැවත සිතා බලන්නට උත්ප්‍රේරකයක් සපයන කතාවකි. යුතුකම් හා වගකීම් පැහැර හැරීම අපගේ ජාතික පුරුද්දක් බවට පත් වී තිබේ. නිදහසින් පසු ගෙවී ගිය දසක හතකට වැඩි කාලය නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ යුතුකම් හා වගකීම් හරිහැටි ඉටු නො වීම නිසා ම රටක් හා ජාතියක් ලෙස අප පල්ලම් බැස ඇති බව ය. ඒ ගැන යළිත් සිතා බලන්නට අවස්ථාව සලසමින් අපි එම කතාව ඔබ හමුවේ තබමු.

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය හා ඇයගේ කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු සිය රට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. අපගේ මතකය නිවැරැදි නම්; මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව ලෙස සිද්ධිය වාර්තා කළ හැකිය. අවස්ථා ගණනාවකදී තානාපතිවරුන් සිය රට ගෙන්වීම සිදු වී ඇතත්; මුළු කාර්ය මණ්ඩලයත් සමඟ තානාපතිනියත් ආපසු ගෙන් වූ අවස්ථාවක අපට මතක නැත. තානාපතිනිය පමණක් නොව;සමස්ත කාර්ය මණ්ඩලයම බරපතළ වරදක් කර ඇති බවට සංශයක් මතු වේ. තානාපති සේවය සඳහා විදෙස් ගත වන ඇතැමුන් රට වෙනුවෙන් නොව; තම - තමන්ගේ සුවය හා වින්දනය වෙනුවෙන් ක්‍රියා කරන බව අප ද අත්දැක ඇති සත්‍යයකි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇමැතීමේ හදිසි අවශ්‍යතාවක් තිබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපති කාර්ය මණ්ඩලය තානාපති කාර්යාලය ඇමතීය. ප්‍රතිචාරයක් නැත. පැය හතරක් තිස්සේ උත්සාහ කළේ ය. දුරකථන ක්‍රියාත්මක ය. වෙනත් සන්නිවේදන මාධ්‍ය ක්‍රියාත්මක ය. එහෙත් ප්‍රතිචාර නැත. පිළිතුරු ලබා දෙන්නට කාර්යාලය තුළ කිසිවකුත් නැත. අවසානයේ පැය හතරකුත් තවත් විනාඩි ගණනකට පසු තානාපති කාර්යාලයේ මුරකරු උත්තර දී ඇත. ඔහු කියා ඇත්තේ; කාර්යාලයේ කිසිවකුත් නැති බවය. මෙයින් කියැවෙන්නේ සංකේත වැඩ වර්ජනයක් පැවැති බවද? තානාපති කාර්යාල වර්ජනවලට යන්නේ නැත.එය සාමාන්‍ය පිළිගැනීම ය. තානාපති කාර්යාලයක නිලධාරීන්ට වර්ජන කිරීමේ අවශ්‍යතාවක් ද නැත. එසේ නම්; සිදු වී ඇත්තේ කුමක් ද?

තානාපති සේවය සඳහා තෝරාගනු ලබන්නේ උගත්, පරිණත, විශ්වාසදායක පුද්ගලයන් ය. මේ සඳහා විදෙස් සේවා විභාගය නමින් තරග විභාගයක් ද අතීතයේ පැවැතිණි. පසුකලෙක එම විභාගය ‍වෙනුවට දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් තෝරාගැනීම සිදු කැරිණි. තානාපති සේවය ගුණාත්මක වශයෙන් පිරිහෙන්නට පටන්ගත්තේ එතැන් සිට ය. දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට එක් වූ නිලධාරීහු එක අතෙකින් ජාවාරම් කරන්නට පටන්ගත්හ. තව අතෙකින් ගසා කන්නට පටන් ගත්හ. ඔවුන් නිසා රටේ කීර්තිනාමය විනාශ විය. පසුගිය ආණ්ඩු සමය මේ සම්බන්ධයෙන් නිදසුන් සපයන කදිම කාලයකි.

ඔස්ට්‍රියා තානාපතිනිය ලෙස යථෝක්ත නිලධාරිනිය පත් වී වැඩි කාලයක් ගෙවී ගොස් නැත. ඇය පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දරා ඇති උගත් - පරිණත තැනැත්තියකි. එම තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තානාපතිනි පදවිය ලබා දී ඇත. එය ලබා දී ඇත්තේ උපරිම සේවාවක් අපේක්ෂාවෙන් ය. මේ නිලධාරිනිය සිය යුතුකම් හා වගකීම් අතහැර හෝ ඒවා ගණන් නොගෙන හෝ ක්‍රියා කර ඇත.සිද්ධියෙන් පෙනී යන්නේ ඉහත කාර්ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවට වැඩක් නැති බවය. තානාපති කාර්යාලයක් පැය ගණනක් තිස්සේ නිලධාරීන්ගෙන් හිස් තැනක් ලෙස තිබිය යුතුද? තානාපතිනිය බැහැර යන්නේ නම්; දෙවන නිලධරයා සිටිය යුතුය. දෙවන්නා නැත්නම් තුන්වන්නා හෝ සිටිය යුතු ය. මේ කාර්යාලයයේ කිසිම කෙනකු නැත. මෙබඳු නිලධාරීන්ට තෙල් සාත්තු දෙමින් තවදුරටත් තබා ගත යුතු නැත. ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා සාධාරණය.

විදෙස් සේවයේ නියුතු නිලධාරීන්ට ඇති වරප්‍රසාද හා පහසුකම් දැකගැනීමට නම්; විදේශ රටක අපේ තානාපති කාර්යාලයක් වෙත යා යුතු ය. සෑම රටකදීම ඔවුනට පහසුකම් සපයා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ය. ආරක්ෂාව, පිළිගැනීම, නිල නිවාස, ඉහළ වැටුප්, සංචාරක පහසුකම් යන සියල්ල ඔවුන් වෙත ලැබෙනු ඇත. තානාපතිවරයකුට සේවාස්ථ රාජ්‍යයේ ඕනෑම ස්ථානයකට යෑමට ඕනෑම නායකයකු හමුවීමට අවස්ථාව තිබේ. මේ පහසුකම් ලබාදී ඇත්තේ රට වෙනුවෙන් බරපතළ සේවයක නිරතවීමට මිස; තමන්ට හා තම පවුලේ උදවියට ආතල් ගැනීමට නො වේ. පළපුරුදු රාජ්‍ය සේවකයකු ලෙසින් නමක් දිනා සිටි ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ගැන අපට ඇත්තේ බලවත් කනගාටුව කි. වියානා කතාව අවසන් කළ හැක්කේ එලෙස ය.

 


නව අදහස දක්වන්න