වැවිලි කලාප නව ගම්මාන කෙටුම්පත හෙට විවාදයට | දිනමිණ

වැවිලි කලාප නව ගම්මාන කෙටුම්පත හෙට විවාදයට

වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වූ “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත 2018.09.19 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

වසර 200කට ආසන්න කාලයක් මෙරට තේ, පොල්, රබර් වතු ආශ්‍රිතව ඉතා දුක්ඛිත දිවි පෙවතක් ගතකරන වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්ගේ මඟපෙන්වීම මත නව අධිකාරියක් පිහිටුවීමට අදාළ කටයුකතු මේ වන විට සිදුකරමින් පවතී.

ලක්ෂ 15 කට අධික වැවිලි ප්‍රජාවක් මෙරට ජීවත් වුවද, ඔවුන් ඉලක්ක කරගනිමින් සංවර්ධන කටයුතු සිදු කිරීම කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය පැවැතියද ඊට අයත් වෙනත්        දෙපාර්තුමේන්තුවක්, අධිකාරියක් හෝ සංස්ථාවක් වැනි ආයතනයක් මේ වන තෙක් ස්ථාපිත වී නොමැත.

මේ හේතුවෙන් කඳුරට වැවිලි ප්‍රජාව මුහුණ දෙන දෛනික ගැටලුවලට විසදුම් සෙවීම අපහසු වී ඇත.

මෙම ගැටලුව මැනවින් වටහාගත් අමාත්‍ය පලනි තිගාම්බරම් තම ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වූ වෙනම අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

නව ගම්මාන සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අරමුණු, ක්‍රියාකාරීත්වය හා අනාගත අභියෝග සම්බන්ධව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

1997 වසරේදී එවකට බලයට පත් රජය වැවිලි ප්‍රජාවගේ ගැටලු පිළිබඳව කටයුතු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදි. එම කමිටුමේ නිර්දේශය අනුව මේ ජනතාව සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට වෙනම අමාත්‍යාංශයක් පිහිටුවිය.

මේ අමාත්‍යාංශයේ නම 2010 වන තුරු කිහිපවරකදීම වෙනස් වුවද, නිවාස යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධනය වැනි අංගයන් විටින් විට මේ අමාත්‍යාංශයට ඇතුලත් කරන ලදි.

පසුගිය 13 වසරක් මුළුල්ලේ මේ ජනතාව වෙනුවෙන් විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ නිසා වැවිලි ප්‍රජාව ජාතික තලයට එකතුවීමේ ක්‍රියාමාර්ග ද කඩිනමින් විය.

2006 වර්ෂයේ දී මේ අමාත්‍යාංශය ජාතික ගොඩනැගීම් හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය නමින් නම් කරන ලදි. නමුදු අවාසනාවකට 2010 වසරේදී මේ අමාත්‍යාංශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ලෙස නම් වෙනස් කර වැවිල සමාජ සංවර්ධනයට ලබා දුන් වැදගත්කම අහෝසි කර දැමීය.

ඉන්පසු නව රජය ස්ථාපිත වූ පසු මේ අමාත්‍යාංශය 2015 වසරේ ජනවාරි මාසයේදී වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ලෙස නම් කරන ලදි.

පසුව පලනි තිගාම්බරම්ගේ ඉල්ලීම අනුව 2015 අගෝස්තු මසදී  මේ අමාත්‍යාංශය කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙස නැවත වෙනස් කරන ලද්දේ එහි විෂයභාර අමාත්‍යවරයා ලෙස පලනි තිගාම්බරම්  පත් කිරීමත් සමඟයි.

සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්ම කිරීම වෙනුවෙන් දස අවුරුදු සමාජ ප්‍රජා සංවර්ධන වැඩසටහනක් (2015-2025) සකස් කෙරිණි.

මේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරන ලදුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත දස අවුරුදු වැඩසටහනෙහි කාලය පස් අවුරුදු (2015-2020) ලෙස කාලය අඩුකරන ලදි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට එවකට අවශ්‍ය පහසුකම් සහිත යාන්ත්‍රණයක් අමාත්‍යාංශය සතුව නොතිබුණි. මේ හේතුව නිසා අධිකාරියක අවශ්‍යතාවය ඇතිවිය.

මෙවැනි පසුබිමක පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අධිකාරියක් අවැසි යැයි අමාත්‍ය මණ්ඩල අනුමැතියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදි. මේ කෙටුම්පතේ මුල් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස‍්ථාපිත කරන ලදි. මෙහි සභාපති වශයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ක්‍රියාත්මක විය.

මේ කමිටුවට කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ලේකම්, වැවිලි කර්මාන්ත, ඉඩම්, නිවාස, සංවර්ධන, වරාය හා නාවික ගමනා ගමන, නීති දෙපාර්තුමේන්තුව, වැවිල් ක්ෂේත්‍ර සමාගම් හා විවිධ සමාජ සංවිධානවල නියෝජිතයන් ඇතුළත් විය.

මේ කමිටුවේ සම්බන්ධිකාරක ලෙස අමාත්‍යාංශ උපදේශක ක්‍රියාකරන ලදි. මේ කමිටුවේ මුල් කෙටුම්පත 2016 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි. ඉන්පසු මෙයට අවශ්‍ය කෙටුම්පත, නීති කෙටුම්පත සම්පාදක දෙපාර්තුමේන්තුව විසින් සකස්කර නීතිපතිතුමාගේ ද අදහස් ඇතිව අමාත්‍යා මණ්ඩලයට නැවත ඉදිරිපත් කරන ලදි.

පසුව නීතිපති දෙපාර්තුමේන්තුවේ සංශෝධන සහිතන 2018 ජූනි මස 25 වැනිදා ගැසට් පත්‍රය මඟින් නීතිපතිතුමාගේ අනුමැතිය ප්‍රසිද්ධ කරන ලදි.

ඒ අනුව වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති අතර, ඒ පිළිබඳ වූ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නව අධිකාරිය පිහිටුවීම පිළිබඳ විවාදය හෙට දින පැවැත්වේ.

මෙම නව අධිකාරිය පිහිටුවීම සඳහා අමාත්‍යාංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි, අමාත්‍යවරයාගේ උපදේශක එම් වාමදේවන් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්යයක් ඉටුකරමින් සිටියි.

ඒ අනුව ඉදිරියේදී පිහිටුවන මේ අධිකාරිය යටතේ වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය නංවාලීමට සුවිශේෂී වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවෙනු ඇත.

නව අදහස දක්වන්න