කිරි ‍‍කොස් සහ රොටී බඩගින්නට වටී | දිනමිණ

කිරි ‍‍කොස් සහ රොටී බඩගින්නට වටී

ගමන් බිමන් යද්දී රහට කන්නට, කහට උගුරක් බොන්නට තැනක් හොයන එක බොහෝ දෙනකුගේ පුරුද්දක්. හැබැයි ඒ විදිහෙ තැනක් මුණගැහෙන්නෙත් බොහොම කලාතුරකින්. එක්කෝ රස නැහැ. එහෙම නැතිනම් අපිරිසිදුයි. ඒත් නැතිනම් මිල ගණන් දරා ගන්න බැහැ. සුන්දර රාවණා ඇල්ල මුණගැසෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය අතරතුර තියෙන මල්කාන්ති විතානගේ (41) මහත්මියගේ රොටී කඩේ මේ සියලු ගැටලුවලට විසඳුම් දෙන කදිම තැනක්.

විතානගේ මහත්මියගේ රොටී කඩේට ගොඩ වුණොත් ඔබට ඉතා සාධාරණ මිලකට ලී මැස්සක් උඩ වාඩිවෙලා හීතලේ ගැහි ගැහී උණු උණු කිරි කොස් ව්‍යංජනයක් එහෙම නැතිනම් අල කොළ ව්‍යංජනයක් එක්ක උණු රොටියක රහ බලන්න පුළුවන්. ඕනි නම් කිතුල් හකුරු කෑල්ලක් සමඟ ඛෙලිමල් හෝ කහට කොප්පයකුත් ඒකට එකතුකර ගන්න පුළුවන්.

පහුගිය දවසක ඇල්ල වැල්ලවාය මාර්ගයේ 8 කණුව මොරහෙල හුණුකැටිය ප්‍රදේශයේ පිහිටි විතානගේ මහත්මියගේ පුංචි රොටී කඩේට ගොඩ වුණ අපිටත් මේ අත්දැකීම විඳගන්නට අවස්ථාව උදා වුණා.

මල්කාන්ති විතානගේ මහත්මියගේ රොටී කඩය අද මෙම මාර්ගයේ යන එන බොහෝ දෙනකුගේ නවාතැන්පළ බවට ඇය පත්කර ගෙන ඇත්තේ විවිධ වූ දෑ එකතුකරමින් ඇය විසින් පිසිනු ලබන රොටී සහ ඒ සමඟ පිරිනමනු ලබන විවිධ වූ ව්‍යංජන නිසාය.

ඇයගේ මේ ආහාර වට්ටෝරුවට මහ මග යන්නෝ කොතෙක් වහ වැටී ඇත්දැයි කිවහොත් ඇතැම් අවස්ථාවලදී රොටියක් කන්නට විනාඩි 20-30ක් බලා සිටින්නට පවා සංචාරකයෝ පුරුදුවී සිටිති.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 8 කණුව මොරහෙල හුණුකැටිය ප්‍රදේශයේ පිහිටි මල්කාන්ති විතානගේ මහත්මියගේ රොටී කඩය පිළිබද මිතුරකුගෙන් අසා දැන ගත් අප පසුගිය දිනක එහි ගොඩ වූයේ ඇයගේ මේ අපූරු ව්‍යාපාරය පිළීබද තතු විත්ති සොයන්නටය.

විවේකයක් නොලද මුත් රොටී පිසින අතරවාරයේම අප සමඟ සිය ව්‍යාපාරය පිළිබඳ දොඩමලු වූ ඇය මෙසේ කීවාය ‘‘අපි බොහෝම දුප්පත්. මටවත් මගේ මහත්තයටවත් ස්ථීර රැකියාවක් තිබුණේ නැහැ. අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එයාලගේ වියදම් දරාගන්න අමාරුයි. ඒ නිසා අපි කාලයක් ගල් වැඩපොළවල්වල ගල් කැඩුවා. අහුවෙන කුලී වැඩක් කළා. ඒත් දිනෙන් දිනම වියදම් ඉහළ ගියා. ව්‍යාපාරයක් කරන්න හිත තිබුණත් ඊට යොදවන්න මුදල් නැති කම නිසා අපිට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ.

මම මේ පාර අයිනේ තැනක් ශුද්ධ කරගෙන පොඩියට තේ කඩයක් පටන් ගත්තා. හැබැයි තේ බොන්න එන අය කන්න දෙයක් නැහැ කිව්වම ආපහු හැරිල ගියා. ඊට පස්සේ මම තීරණය කළා පොල් රොටී ටිකක් හදන්න ඕනි කියලා. මුලින්ම පිටි කිලෝවක් විතර ගෙනත් වැඩේ පටන් ගත්තා. මේ වැඩේ කරගෙන යද්දි මගේ මහත්තයත් මට උදව්වට ආවා.

හුඟ දෙනෙක් රොටී කන්න ආස වුණත් ඒ අයට හදන්න වෙලාවක් නැහැ. අනෙක උණු උණුවේ රොටියක් කන්න අවස්ථාව ලැඛෙන්නෙත් නැහැ. අපි මුලින්ම ලුණු මිරිස් එක්ක තමා රොටී දුන්නේ. හැබැයි ටික දවසක් යද්දි අපිට හිතුණා කිරි කොස් මාලුවක් හදන්න ඕනි කියල. මගේ මහත්තය ගමේ ඇවිදල ගිහින් කොස්, පොළොස්, අල කොළ වගේ දේවල් ගෙනාවා.

ටික කාලයක් යද්දි පාරේ යන එන අය කිරි කොස් මාලුවටයි උණූ රොටී වලටයි පුරුදු වුණා. දැන් කට්ටිය වාහන නවත්තලා ‘‘කිරි කොස් තියෙනවද‘‘ කියල අහනව. තියෙනවා කීවම ඒ අයගේ මුහුණේ පුදුම සතුටක් ඇති වෙනවා.

පොඩියට පටන් ගත්ත මේ කඩේ දැන් හොඳට ප්‍රසිද්ධයි. විදේශීය සංචාරකයොත් දැන් මෙතන්ට ඇවිත් කොස් එක්ක රොටී කන්න පුරුදු වෙලා ඉන්නවා. පිටි කිලෝවකින් පටන් ගත්ත රස්සාව දැන් කිලෝ 10-15ක් දක්වා වැඩි කරගන්න අපිට හැකි වී තියෙනවා.

මේ කඩේ පටන් ගන්න කලින් අපිට හරියට ගෙයක් තිබුණේ නැහැ. අද ඉන්න ගෙයක් තියෙනවා. අපිටම කියලා ත්‍රී රෝද රථයක් තියෙනවා. ලොකු දුව පුද්ගලික බැංකුවක තාවකාලිකව සේවය කරන ගමන් උසස් තාක්ෂණ ආයතනයේ උපාධිය හදාරනවා. පොඩි දුව කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ අධ්‍යාපනය හදාරනවා. පුතා හය ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම කර ගත්තේ මේ කඩෙන් තමයි. දැන් අපි රොටී කන්න කිරිකොස් වලට අමතරව පොළොස් ඇඹුල්, අලකොළ මාළුව, කෙසෙල් මුව මැල්ලූම ආදිය සකසලා දෙනවා. මේ කිසිම දෙයකට රස කාරක දාන්නේ නැහැ. ඉදිරියේදී කොස්වලින් තව අලුත් කෑම වර්ග හදන්න බලාපොරොත්තු වෙනවා. මේවන විට අපි කඩේ දාලා අවුරුදු පහකට ආසන්නයි.

අපි ගල් වැඩපළේ හිටිය නම් තවමත් අපි ගල් කඩනවා. හම්බ වෙන එකෙන් එදාට කනවා එච්චරයි. කිසි ඉතිරියක් නැහැ. ඒත් අද අපි අපේ උත්සාහයෙන් තැනකට ඇවිත් තියෙනවා. ඒ ගමනේදී හයියක් උනේ මගේ මහත්තයා. අද අපි දෙන්න හරිම සතුටින් සහයෝගයෙන් මේ ව්‍යෘපාරය කරගෙන යනවා. වටපිට බලලා ටිකක් හිතන්න පුරුදු වුණා නම් ඕනෑම කෙනකුට මේ විදිහේ පුංචියට ව්‍යාපාරයක් පටන්ගෙන දියුණු වෙන්න පුළුවන්.

සටහන සහ ඡායාරූප
එන්. නවරත්න මීගහකිවුල සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...