සිපිරි ගෙයින් පියා­ස­ලන කවි සිති­විලි | දිනමිණ

සිපිරි ගෙයින් පියා­ස­ලන කවි සිති­විලි

 

ලොව කොතැනත්, සිරගෙදර යනු සිරගෙදරමය. සැප පහසුකම් හා සැලකිලි අතින් යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත්, ‘මා සිරගත කොට ඇත. මට ගෙදර යා‍ නොහැක. මට නිදහසක් නැත’ යන පීඩාකාරී හැඟීම , සෑම සිරගෙයටම, සෑම රැඳවියෙකුටම පොදුය. සිරගෙදරදී තරම් නිදහසේ අගය දැනෙන තැනක් තවත් නැති තරම්ය.

පුද්ගලයකු සිරගත කළ හැකිය. එහෙත් ඔහුගේ සිතිවිලි සිර කළ නොහැකිය. දෑත් දෙපා විලංගුලා තිබුණද, ඔහුට නිදහසේ සිතිය හැක. ඇතැම් සිරකරුවකුගේ මෙම නිදහස් සිතිවිලි වචනයට නැ‍ඟෙයි. කවියට නැ‍ඟෙයි. කුඩා පත් ඉරුවක හෝ බිත්තියක ලියැවෙයි. සාහිත්‍ය ලෝකය තුළ ‘සිපිරිගෙයි සාහිත්‍යය’ යනුවෙන් වෙනම ෂානරයක් දක්නට ඇත්තේ එහෙයිනි.

සයිබීරියානු සිරගෙවල දුක්විඳි දොස්තයෙව්ස්කි හා සොල්ෂෙනිට්සින්, ප්‍රබන්ධාත්මකව ලියා තැබූ තම අත්දැකීම් අද දවසේත් ලෝකය සසල කරවයි. අමෙරිකානු සිරගෙයක, ඕ. හෙන්රි ලියූ කෙටිකතා, ලෝකයේ විශිෂ්ට කෙටිකතා අතරට එක්විය. ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ සිරගත කෙරුණේ පියදාස සිරිසේන, ‘අෂ්ටලෝක ධර්ම චක්‍රය’ නම් නවකතාව ලියුවේ එහිදී තමන්ට ලැබුණු බයිබලයක හිස් තීරු අතරේය.

ඔස්කා වයිල්ඩ්, අසම්මත ප්‍රේමයක් සඳහා දෙවසරක සිර දඬුවමක් ලැබ සිටියදී, තම පෙම්වතා’ වූ ඇල්ෆ්‍රඩ් ඩග්ලස් සාමිවරයාට ලියූ දීර්ඝ ලිපිය (De Profundis) පසු කලෙක ප්‍රකාශයට පත් කෙරුණි. කළු-අමෙරිකානු නායකයකු වූ මාර්ටින් ලූතර් කිං, බර්මිංහැම්’ සිරගෙදර සිට ලියූ ලිපියද (Letter from Birmingham City Jail) ලෝක සාහිත්‍යයට එක්විය. හිට්ලර් ඔහුගේ චරිතාපදානය (Mein Kampf) ලියුවේ 1923 දී බැවේරියා සිරගෙදර දඬුවම් ලබන කාලයේය. මහත්මා ගාන්ධි, ජවහර් ලාල් නේරු, භගත් සිං, නෙල්සන් මැන්ඩෙලා, හෝ චිමිං ආදි දේශපාලන නායකයෝද සිරගෙදර ජීවිතය අපතේ නොහැර, සිය අත්දැකීම් මෙන්ම දේශපාලන දර්ශනයද ලියා තැබූහ.

‘බන්ධනාගාර සාහිත්‍යකරුවන්ගේ’ නාමාවලිය මෙබඳු කෙටි ලිපියකින් දැක්විය නොහැක. එය විශ්ව කෝෂයක, එක් කාණ්ඩයක් සඳහා වුව සෑහේ.

සිරකරුවන් අතර ජනප්‍රියම සාහිත්‍යාංගය වූයේ කවියයි. ඈත අතීතයේදී , අකුරු නොදැන සිටි සිරකරුවන් පවා පබැඳු කවි, මුඛ පරම්පරාගතව පැවතී, පසුව මුද්‍රණයෙන් ප්‍රසිද්ධියට පත්විය.

 

පසුගිය දිනෙක, කොළඹ වැලිකඩ බන්ධනගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි (පුනරුත්ථාපන) චන්දන ඒකනායකගේ සංකල්පයක් අනුව, එහි සිරකරු සාහිත්‍ය කලා සංසදය මඟින් සම්පාදනය කෙරුණු “සිපිරිගේ පාමුල’ නමැති කාව්‍ය සංග්‍රහයක් දොරට වැඩි අතර, මෙම ලිපියට නිමිත්ත වූයේද එයයි.

එම කෘතියේ පසුවදනෙහි කියැවෙන පරිදි 1844 දී වැලිකඩ බන්ධනාගාරය විවෘත කළ වකවානුවේ සිට, වසර 200කට ආසන්න කාලයක් මුළුල්ලේ සිරකරුවන් කවි කියා ඇතත් සාක්ෂරතාවයේ ගැටලු නිසා ඒවා ලේඛන ගත වූයේ නැත. පසුව ක්‍රම ක්‍රමයෙන්, බන්ධනාගාරයේ බිත්ති, ප්‍රාකාර ආදි විවිධ තැන්වල කවි ලියැවෙන්නට විය. මෙම සිරකවි සංකල්පනා මඟින් ඔවුහු තමන් පත් විපත, විඳින දුක් වේදනා, හුදෙකලාව විප්පයෝගය ආදී විවිධ මනෝභාවයන් ඉදිරිපත් කරති.

‘සිපිරිගේ පාමුල’ සංස්කාරක චන්දන ගරුසිංහ සිය පෙරවදනෙහි සඳහන් කරන ආකාරයට, රැඳවියන් 500කගේ කවි අතුරින් තෝරාගත් නිර්මාණ 100ක්, එම කෘතියට ඇතුළත් කෙරුණි. ගරුසිංහ පවසන ආකාරයට, මෙම අංකූර කවීන් බොහෝ දෙනෙකුගේ කවි සංකල්පනා ‘අමු දත්ත’ මෙන් වූයෙන් , ඒවා කවීන්ගේ අව්‍යාජත්වයට හානි නොවන සේ සංස්කරණය කිරීමට සිදුවිය.

වැලිකඩ රැඳවියන්ගේ වයස අවුරුදු 30 – 70 අතර වේ. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවන් අතළොස්සක්ද උපාධිධාරීන් කීපදෙනෙක්ද ඒ අතර වුවද, බහුතරය වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් නොවේ. ඇතැමුන් පාසල් ගොස් නැත. කියවීම, ලිවීම නොදනී.

ගරුසිංහ, පාඨක අපෙන් මෙසේ විමසයි. ‘භූමිය නිසරු වුවද, කලට වැසි නොලැබුණද, බීජ නිශ්චිත ප්‍රමිතීන්ගෙන් තොර වුවද, මේ කවි අස්වැන්න නිසරු යැයි කියන්නට ඔබට හැකිද?’

අපට ගරුසිංහ හා එකඟවීමට සිදුවන්නේ, කාව්‍යමය මිණුම් දඬු මත නොව, එම පැදිවැල් තුළ දිවිය හැකි මිනිසත් බව අගයමිනි.

වැලිකඩ බන්ධනාගාරයෙහි, දඬුවම් විඳින කතුන් දෙදෙනකු ලියූ කව් දෙකක් පහත දක්වන්නේ, ඉන් ඔවුන්ගේ හැකියාව පමණක් නොව මානසිකත්වයද මැන ගත හැකි හෙයිනි.

පොඩි අවදියේ අම්මා බැඳි කිරි පබළු

දැන් දමනවා යකඩින් සෑදු වළලු

දෛවය මෙමට කරනා සරදම් විහිළු

සැමදා මෙමට උරුමද මේ දුක් කඳුළු

- මංගලා

පොඩි සෙල් කුටියෙ මා තනිවම වෙසෙන පැයේ

දුව ඔබ සිහිව ගිනිදැල් ඇවිළෙමින් ළයේ

අම්මා සිහිව පොඩි හදවත රිදෙනව ද

තුරුලේ සිටිය හැටි සිහියට නැ‍ඟෙනවද

අහිමි වූ සෙනෙහසට ඔබ ගතු කියනවද

අම්මා එනතුරා අතැඟිලි ගණිනවද

- කාංචනා

මෙම කව් එකතුවේ දී හමුවිය හැකි කවි කිවිඳියන් අතුරින් යු. ආරියපාල, සොයිසා, ටියුරින් සිල්වා, චන්දන ගරුසිංහ, හේමන්ත ජයසිංහ, සංජීවනී ප්‍රේමරත්න හා වර්ණකුලසූරිය ආදීන්ගේ නිර්මාණ වඩාත් අගය කළ හැකිය. ඇතැම් කවි ශෝකාත්මකය. ඇතැම් කවි රැඩිකල්ය. ආවේගාත්මකය.

- බිරිඳගෙන් හෝ පෙම්වති‍යගෙන් හසුනක්

බලාපොරොත්තුවෙන් සිටින සිරකරුවෙකු එය පමාවීමෙන්

සිත් වැවුලට පත්ව, තමාගෙන්ම මෙසේ විමසයි

ගමේ තැපැල් කන්තෝරුව කැඩිලා ද

ලියුම් බෙදන මාමා මඟ මැරිලා ද

පෑනේ අකුරු ලියැවෙන්නේ නැතිවාද

නැතිනම් ඔබට මා අමතක වීලාද

- ප්‍රේමරත්න

සිරකරුවෝද මනුෂ්‍යයෝය. එසේම ඔවුනතර කවියෝද වෙති. ඔවුනගේ කවි ශක්තිය ඔප් නංවා ගැනීමට බාහිර සමාජයේ වියත් දායකත්වය ලබාදිය යුතුව ඇත. වැඩමුළු, පොත් දොරට වැඩීම් (රැඳවි නිර්මාණ), සාහිත්‍ය සංවාද යනාදිය ද ඔවුනට බොහෝ වැඩදායක වනු ඇත. දෙතුන් වසරකට වතාවක් හෝ, බන්ධනාගාර තුළින් හොඳ කවියන් දෙතුන් දෙනකු හෝ “නිපදවා’ ගත හැකි නම් එය කොතරම් අගනේද?

ශ්‍රී ලාංකීය ‘සිපිරි කවිය’ ගැන අවධානය යොමු කරන විට, සිංහල හා දමිළ දේශපාලන සිරකරුවන්ද කිසිසේත් අමතක කළ නොහැකිය.

අප්‍රේල් කැරැල්ලේදී සිරගත කෙරුණු නන්දසේන විජේවර්ධන, 71 සිපිරි ගෙදරදි ලියූ කවි මැයින් කව් එකතුවක් පළ කළේය. ඊට පෙරවදනක් ලියන ආචාර්ය විජිත නානායක්කාර මෙසේ පවසයි.

අසාධාරණයට විරුද්ධව සාධාරණය වෙනුවෙන් පෙනී සිටි අපගේ හැඟීම් යටපත් කිරීමට බන්ධනාගාරයේ උස් තාප්පවලට හෝ අඳුරු කාමරවලට හැකියාවක් නොවීය. බෝගම්බර බන්ධනාගාරය තුළදී සවස් කාමර වැසු පසු, රෑ 7ට පමණ කාමරයට ගෙන එන කහට කෝප්පය බී, බන්ධනාගාරයට ම ඇසෙන සේ ගැයු දේශාභිමානි ගී, විප්ලවීය ගී මට අදත් ඇසෙන්නාසේය. නන්දේගේ කවි තුළින් මා ගෙන ගියේ එදා බන්ධනාගාර මතකයන් වෙතටයි.’

නන්දසේනගේ කව් එකතුවෙහි එන ‘ බුලට් සීයාගේ කතාව’ට සවන් දෙමු.

බිරිඳත් එක දුවත් සිර කඳවුරේය

මාත් පොඩි පුතත් මේ කඳවුරේය

ලොකු පුතු සොහොන් කොත් නැති මළගමේය

අප සිවු දෙනාටම බත්පත ලැබේය

ගේ ගැන බියක් නෑ ගිනිබත්කොට අවසන්

වැටවල් ළඟට ඇවිදින්(ලූ) හතර වටින්

හිතට දුකක් නෑ සිහිවේ කළ විකුමන්

ඇති එක දුකය, ‘බූලා’ ඇති බඩ ගින්නෙන්

71, 88-89 වකවානුවල සිරගෙවල හෝ කඳවුරුවල සිටි ජ.වි.පෙ සිරකරුවන් ලියු කවිද, පසුව විවිධාකාරයෙන් (පුවත්පත් සඟරාදිය ඇතුළුව) ප්‍රකාශයට පත් කෙරුණි. හමුදා බංකර හා කඳවුරු තුළ ලියැවුණු සෙබළ කවිද, එසේම ප්‍රකාශ වුණි.

දමිළ සටන්කාමී සංවිධානයන්ට සම්බන්ධ වූවන් ලෙස සිරගත කෙරුණු හෝ අත්අඩංගුවට ගැනුණු තරුණ පිරස අතර, දක්ෂ කවි කිවිඳියෝද වූහ. ඒ අතර ශිවරාමණි සෙලවි, ශංකර්, චේරන් හා ඔහු සොහොයුරිය ඔව්වයි හා වවුනියාවේ සුබෝස් වැනි ප්‍රකට හා ප්‍රබල කවි චරිතද ... විය. ඔවුන්ගේ ශිවරාමණි සිරගෙදරදි දිවි නසාගත් අතර, සෙල්වි එල්.ටී.ටී.ඊ.ය මඟින් ඝාතනය කරනු ලැබුවාය. වවුනියාවේ සුබෝස්, ඔහුගේ අට හැවිරිදි පුතා ඉදිරියෙහිම ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් මරා දැමුණි. මෙම විමුක්තිකාමී දමිළ කවීන් “කොටින්’ ලෙස සිංහල සමාජයෙහි පොදු ලේබලයකට ඇතුළත් කෙරුණද, ඔවුන් තුළ තිබූ නිදහස් මතිකභාවයම ඔවුන්ගේ අකල් මරණයන්ටද හේතුවිණි. මෙම දමිළ කවීන්ගේ ඇතැම් නිර්මාණ සිංහලයට නැඟුණද ඔවුන් පිළිබඳ නිසි අධ්‍යයනයක් හෝ අවබෝධයක් සිංහල කවි සමාජයෙහි හෝ නැතිවීම කනගාටුවට කරුණකි.

සිරගෙදර ඇතැමෙකුට තක්සලාවක් බවට පත්වෙයි. ජ.වි.පෙ. කැරලිකරුවකු වශයෙන් සිර දඬුවම් ලබන ජයතිස්ස කුමාරගේ නමැති තරුණයා එහිදී ඉංග්‍රීසිය ඉගෙනුමෙහි යෙදෙයි. පසුකලෙක “අසම්මත විචාරය” නමින් තම ජීවන අත්දැකීම් අගනා ග්‍රන්ථයක් බවට පත්කළ ඔහු, පසුගියදා එහි ඉංග්‍රීසි පරිවර්තනයද (Rebel Meets Liberation) පළ කළේය. දැනට පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් කටයුතු කරන ජයතිස්ස සිරගෙදරදී ලද අධ්‍යාපනය තම දිවි මඟට ආලෝකයක් කර ගත්තේය.

සිරගෙවල් තුළදී යෝග අභ්‍යාස හැදෑරූ සිරකරුවන්ගේ කවි එකතුවක් ඉෂා පදනමේ (Isha Foundation) වෙබ් අඩවියක දක්නට ලැබෙයි. ඉන්දියාවේ, තමිල්නාඩුවේ කොයිම්බටෝර් සිරගෙයි සිටින එන්. මගුඩේෂ්වරන්, යෝග අභ්‍යාස තුළින් ලත් අත්දැකීම මෙසේ කවියට නඟයි.

මම දෙවියකු වීමි (I Became God)

ජීවන උයනේ - පිපි මල් පරවෙයි

එහෙත්,

මා තුළටම ගිය ගමනින්

යළි උපන්නෙමි

නිරර්ථක පැවැත්ම නිමාවිය

මම ප්‍රේමය බවට පත්වෙමි

ප්‍රේමය යනු දෙවියන් යැයි කියති

එසේ නම්

මම දෙවියන් වෙමි

‍මම දෙවියන් වෙමි

ප්‍රේමයේ මහිමයෙන්

ආත්මය නිදහස් විණි

මිළිණ මල යළි විකසිතයි

සුපිපි මල් පරවීම සොබාදහමයි

එසේ නම්,

පරමලක් යළි විකසිතවීම

පෙළහරක්ම නොවේද?

සිරකරුවකුට ගතින් නිදහස් විය නොහැකි වුවත් සිතින් නිදහස්ව ආධ්‍යාත්මික විමුක්තියක් (Inner Freedom) ලැබිය හැකි බව මෙම ‘යෝගි සිරකරුවා’ ව්‍යංගයෙන් කියාපායි.

“සිපිරි ගේ පාමුල” කව් එකතුව කියවා අවසානයේ මම එහි මෙබඳු කෙටි සටහනක් යෙදුවෙමි.

“කෙනෙකු තමන් කළ වරද ගැන පසුතැවෙනවා නම් දුක් වෙනවා නම්, යළි නිදහස් හා යහපත් ජීවිතයක් ලබන්නට අපේක්ෂා කරනවා නම් ඔහු තවදුරටත් වරදකරුවෙක්ද? තවදුරටත් ඔවුනට දඬුවම් දිය යුතු ද?”

කපිල කුමාර කාලිංග

 

නව අදහස දක්වන්න

Or log in with...