වහ­න්තරා විනි­විද... | දිනමිණ

වහ­න්තරා විනි­විද...

මඳකට ආරූඪ කරගත් සාන්තුවර වෙස ඉවත දා නිකිණිය සුපුරුදු කර්කෂ බව නොමඳව විදහා පායි. ආගන්තුක සිහිලස වියැකී ගොසිනි. දිනෙන් දින හේබා යන ගහකොළ වැස්ස පතා පෙරුම් පුරන්නේ දුරක ගිය දරුවකු ආපසු පැමිණෙන තුරු මඟ බලා ඉන්න මාපියන්සේය.

නගරය උණුසුමද දාහයද අතරේ වුව ඇවිස්සුණු කඩි ගුලක් බඳුය. උස් ගොඩනැගිලි පුළුල් මංමාවත් ගෙන එන මහේශාඛ්‍ය බවට ඔබ්බෙහි දරිද්‍රතාවද දැකගත හැකිය. කලබලකාරී හා ඝෝෂාකාරී නගරය විසින් මා කොතෙක් විඩාපත් කළේද කිවහොත් මම ඒ අප්‍රසිද්ධ ආපන ශාලාවට ගොඩවී හුදෙකලාවම තේ කෝප්පයක් තොල ගෑවෙමි. තනි නොතනියට එන සංජීවනී නංගි ළදරු පාසලේ හදිසි කටයුත්තක් පැහැර හැරිය නොහැකි නිසාම මා සමඟ එක් නොවූවාය. ඇගේ සිනා කතා නැති පාළුව දැනුණද මම යුහුසුළු වීමි. ආපන ශාලාවෙන් පිටතට එත්ම යමෙකු අත පෑවේය. නගරය ඉසුරුමතුන්ගේ පමණක් නොව යාචකයන්ගේද තෝතැන්නකි.

‘බඩගිනියි. කෑම එකක් ගන්ඩ කීයක් හරි දෙන්ඩ ....’යි කෙසඟ මිනිසා විඩාපත් හඬින් කියා සිටියේ මා කාසියක් දිගු කරන කලය. කෑම පාර්සලයකට සරිලන මුදලක් ලබා දෙනවා වෙනුවට මම ඔහු කැටිව නැවතත් ආපන ශාලාවට ඇතුළු වීමි.

‘එළවළු කෑම එකක් ගන්නද?’

මා ඇසු‍වේ අනුවණ ප්‍රශ්නයක් විය යුතුය. ඔහු නිර්මාංස තැනැත්තකු විය යුතුයැයි මා ඇනුමාන කළේද? නැතහොත් මගේ දිළිඳු මුදල් පසුම්බිය හේතු කොටගෙන මා එසේ ඇසුවාද?

‘මස් කෑල්ලකුත් තිබ්බා නං හොඳයි’යි ඔහු නොසඟවා කී කළ මම හිත හදා ගත්තෙමි.

කෑම පාර්සලයක් ඇණවුම් කර බලා සිටියදී ආරක්ෂක නිලධාරියකු පැමිණ යාචකයා ප්‍රශ්න කළේය.

‘මොකද මේ ....? මොකද මෙතන?’‍මම වහා ඔහු වෙත හැරුණෙමි.

‘කෑම එකක් ඕඩර් කළා. දෙනකම් ඉන්නේ ...’

ඔහු කුහුලින් හා විමසිලිමත් දෑසින් බලමින් අප වෙතින් ඉවතට ගියේය.

කෑම පාර්සලය ලබාදුන් කෙනෙහි යාචකයා මේසයක් කරා ගියේය. ඔහු කටට රසට කෑම වේලක් කන බව සිතමින් මම ආපසු ආවෙමි.

ගෙදර ආ ඇසිල්ලේ ඒ කතාව මගේ කොල්ලන්ට කීවෙමි.

‘අම්මා මහ පුදුම වැඩනෙ කරන්නෙ.... හෝටලේ අයත් පුදුම වෙලා බලං ඉන්න ඇති....

පොඩි පුතා විමතිය පළ කළේය.

‘මොනාද අම්මා... අම්මට ලැජ්ජ නැද්ද හිඟන්නෙක්ව ඉස්සර කරගෙන හෝටලේකට ගිහිං කෑම අරං දෙන්න ....?’

මද්දු අප්‍රසාදයෙන් මුහුණ හකුලා ගත්තේය.

‘පව් නේද අම්මේ ඒ මාමා ...?’යි අසමින් පුංචි පුතා මට තුරුළු විය.

‘ඒ මාමා බඩ පිරෙන්න කන්න ඇති නේද අම්මා...?’

බඩපිස්සා සොම්නසද දොම්නසද මුසු හඬින් ඇසුවේය.

‘අනේ අම්මා ඔයා මීට පස්සෙ කොහේවත් යන්න එපා. ගෙදරට වෙලා ඉන්න. ඔයා ඉස්කෝලෙට ගියත් ඔයාට පරණ සපත්තු දාපු පරණ බෑග් එල්ල ගත්තු ළමයි තමා ‍පෙන්නේ. ඔයා බස් එකක ගියත් කවදාවත් එක දිගට වාඩිවෙලා යන්න හම්බවෙන්නෙ නෑනේ. කාට හරි වාඩි වෙන්න දෙනවා නැගිටලා...’යි මගේ දෙවැන්නා මට අවවාද කළේය. මා සිනාව මැඩ ගත්තේ වෑයමෙනි.

‘සතුට සැපය විතරක් නෙමේ දුක පීඩාවත් අපි දකින්න ඕනනේ පොඩී..’

‘එක හිඟන්නකුට එක කෑම වේලක් අරං දීලා අම්මා සතුටු වෙනවා. එතකොට ඔක්කොම හරිද.... දුක් විඳින හැමෝම සුඛිත මුදිත වෙනවද...?’

මගේ ඉලන්දාරියා මා සමඟ වාද කරයි.

‘නෑනෙ දරුවෝ... මුකුත්ම වෙන්නෙ නෑ. මේ ක්‍රමය වෙනස් වෙනකම් දුප්පතුන්ට දුක ... ධනවතුනට බලවතුන්ට සැප. ඒත් ඉතිං ක්‍රමය වෙනස් වෙනකම් කොච්චර කල් බලා ඉන්නද .... ඉබේ වෙනස් වෙන්නෙත් නෑනේ. වෙනස් කරන්න ඕනනේ. එතකං තමුන්ට පුළුවන් විදියට අනුන්ට උදව් කරන එකේ වැරැද්දක් නෑනේ..’ යි මම මහත් උපේක්ෂාවෙන් පැවසුවෙමි.

‘අනේ මන්දා...’

මම මද්දු වෙත හැරුණෙමි.

‘අනුන්ට අත පාන කෙනත් මනුස්සයෙක්නේ පුතේ. අපිට නිතරම අමතක වෙනවනෙ වැරහැලි කමිස- කලිසම් ටයිකෝට් ලෝගුව සිවුර අස්සෙ පණ ගැහෙන්නෙ මනුස්ස හදවතක් කියලා...’

‘ඔව් ඉතිං .... පව් තමා ඒ වුණාට එහෙම කරන්නෙ නෑනේ කවුරුවත් ලෑජ්ජයිනේ ....’

ලැජ්ජ වෙන්නෙ ඇයි? මනුස්සයෙකුට මනුස්සයෙක් එක්ක එක පෙළට ඇවිදගෙන යන එක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද... අනිත් එක වෙනත් විදියට හිතපු අය නිසා තමා මේ ලෝකෙ මේ තරම් හැඩ වුණේ.... යහපත් වුණේ.... සිද්ධාර්ථ කුමාරයා වුණත් බමුණු මත පිළි ගත්ත නම් මොකද වෙන්නේ? සිද්ධාර්ථ කුමාරයා වෙනස් විදියට හිතුවා. තමා දරන මතය වෙනුවෙන් නොබියව පෙනී හිටියා. ලෝකෙට වටිනාකමක් එකතු වෙන්නෙ ඒ විදියට වෙනස්ව හිතපු වැඩ කරපු අය නිසා කියන එක ඕගොල්ලො හොඳට මතක තියාගන්න ඕන...’

කොල්ලෝ තවත් තර්ක විතර්ක ගෙන හැර පෑමෙන් වැළකී සාවදානව සවන් දෙන කළ මගේ සිත වෙළාගත්තේ මහත් සහනයකි. සොම්නසකි. මිනිසා වසාග‍ත් සකල වහන්තරා විනිවිද මන­ුෂ්‍යත්වයද සුඛ දුක්ඛ වේදනා දෙවන හදවතද දකින්නට ඔවුන් සමත් වන්නේ නම් එයම නොවේද මවක ලෙස මම ලබන විජයග්‍රහණය?

ශාන්ති දිසානායක


නව අදහස දක්වන්න