සාහිත්‍ය සම්මාන පොර­යට මේ පොත් නොවැටේ ! | දිනමිණ

සාහිත්‍ය සම්මාන පොර­යට මේ පොත් නොවැටේ !

 

වාර්ෂිකව පැවැත්වෙන සාහිත්‍ය සම්මාන සඳහා පොර වැදීමේ උළෙල සියල්ල මේ මොහොත වන විට හමාර වී ඇත. දැන් පැවැත්වෙන්නේ එකිනෙකා කුළල් කා ගැනීමේ , පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තා කියවා බලා ඒවාට අභියෝග කිරීමේ දුර්දාන්ත කාල වකවානුවයි. සාහිත්‍යකරුවන් ලෙස පාඨක ආදරය දිනා සිටින බොහෝ ලේඛක ලේඛිකාවන් තම නිරුවත ප්‍රදර්ශනය කරමින් වීදි සරන සමයයි. මා මෙසේ පවසන්නේ හේතු සහිතවය. නිමා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරාධිතයන් පිළිගනිමින් අදහස් දැක් වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මහත්මියගේ හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩල සභාපති මහාචාර්ය සමන්ත හේරත් විසින් ද මේ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සභාව හමුවේ තැබූ බව මතකය. ඉතා සරලව පවසනවා නම්, අදාළ වර්ෂයේ කෘති පළකරන සියල්ලෝම රාජ්‍ය සම්මාන ප්‍රදානය කළ යුතු ලේඛකයෝ වෙත්.

ඔවුන් විශ්වාස කරන හා අපේක්ෂා කරන ලෙස ඔවුන් හැර අන් කිසිදු ලේඛකයෙකුට සම්මානයකට සුදුසු විශිෂ්ට කෘතියක් නිර්මාණය කළ නොහැක්කේය. කොතෙක් සම්මාන හිමි කරගෙන සිටිය ද මේ වර්ගයේ ලේඛක ලේඛිකාවන්ගේ සම්මාන උන්මාදය සුව වන්නේ නොමැත. පිපාසය සංහිඳෙන්නේ නොමැත. තමන්ගේ කෘතිය සහෝදර ලේඛක ලේඛිකාවකවන්ගේ කෘති සමඟ නිර්දේශ වූ බව දැන් වූ මොහොතේ සිට ඔවුන්ගේ සම්මාන උන්මාද රෝගය උත්සන්න වේ. සම්මාන පිදෙන අවසාන උළෙලට සහභාගී වී සම්මානය හිමි කරගන්නා සහෝදර නිර්මාණකරුවාට හෝ නිර්මාණකාරියට සුබ පතමින් අත් පොළසමක් දෙන්නට හෝ නොසිතෙන තරමට ඔවුන්ගේ සම්මාන උන්මාදය උග්‍රව පැවති බවට සාක්ෂි ඇති බව නොවේද අධ්‍යක්ෂවරියගේ හා සභාපතිවරයාගේ අදහස් තුළින් අප වටහා ගත යුත්තේ? මේ සම්මාන උන්මාදයෙන් වියරු වැටී කලබල කරන්නන් අතර අපට ඇදැහිය නොහැකි මහා චරිත ද වූ බවයි කියැවෙන්නේ. අප්‍රමාණ සම්මාන දිනා ඇති, මහා ලේඛකයෝ, සරසවි ඇදුරෝ, පරිණත රාජ්‍ය නිලධාරීහු අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කොට සිටියේ අන් අයෙක් සම්මානය ලබන කල අත් පොළසන් දීමට ඔවුන් පැමිණිය යුතුද කියායි. එතරම්ම පටු මානසිකත්වයක් සතු චරිත කෙසේ නම් අප විසින් සංවේදී කලාකරුවන් ලෙස හඳුන්වමුද? තරගයක මූලික න්‍යාය වන එක් අයෙක් පමණක් ජය ලැබීම පිළිගැනීමට අකමැති, අන් අයකුගේ ජය ඉවසා දරා සිටින්නට නොහැකි පුද්ගලයකු අතින් මානව වර්ගයාගේ ජීවිත යහ මගට යොමුකිරීමට සමත් නිර්ව්‍යාජ කලා කෘතියක් බිහිවිය හැක්කේ ද යන්නට පිළිතුරක් සොයා ගත යුතු කාලය එළඹ ඇතැයි සිතේ. සම්මාන උළෙලකින් පසු එවැනි අතිශය අමිහිරි මතක තුළ ජීවත්වන්නට ලැබීම අවාසනාවක්ම නොවන්නේද කියා අපට සිතේ.

සම්මාන උළෙල උන්මාදයක් හෝ වියරුවක් පිළිබඳ අල්ප මාත්‍ර හැඟීමකින් තොරව, සම්පාදනය වූ අපූරු කෘති ද්වයක් මා අත පත් වූයේ කලකට පෙරය. මේ කෘති කුමන ශානරයකට අයත් කෘති ද? කොෆී ටේබල් බුක් Coffee Table Book යන ඉංග්‍රීසි යෙදුමට සුදුසු සිංහල වචනයක් වේ දයි මිතුරන් කිහිපදෙනෙකුගෙන් ම විමසූ මුත්, ඔවුන් ගේ පිළිතුර වූයේ කොෆි ටේබල් බුක් ලෙසම හැඳින්වීම වඩාත් උචිත බවය. දෘශ්‍යලංකරණ චරිතාපදාන වැනි වචනයක් යොදන්නට හැකි බවත් කියැවිණ. එහෙත් කොෆි ටේබල් පොත් සියල්ල චරිතාපදාන නොවන නිසා කොෆි ටේබල් පොත යන යෙදුමම භාවිත කරමු.

මෙවන් කෘතියක් කියවීමට වඩා ඊට ඇතුළත්, චිත්‍ර, ඡයාරූප, බැලීමට හා ඇතැම් අවස්ථාවක කියවීම සඳහා කෙටි සටහන් හෝ විවරණ ද ඇතුළත් අර්ධ ලේඛන සහිත දෘශ්‍යමය නිර්මාණ ඇතුළත් කෘතියක් ලෙස දකිමි. මෙවන් නිර්මාණශීලී කෘති සාහිත්‍ය උළෙල සම්මාන සඳහා ඉදිරිපත් වී තිබෙනු හෝ සමීක්ෂණයට ලක් වී තිබෙනු අසා නැත.මෙබඳු ප්‍රකාශන කුමන හෝ ප්‍රභේදයකට ඇතුළත් කළ නොහැකිද යන්න විමසා බැලිය යුතු යැයි හඟිමි. සම්මාන පොරයට නොවැටෙන මේ කොෆි ටේබල් පොත් දෙක කුමන විෂයයක් පිළිබඳව ද, එකී කෘති සම්පාදනයෙහි හෝ සංස්කරණයෙහි දායක වූවෝ කවුරුන් ද ? පළමුවැන්න කොළඹ චිත්‍ර සටහන් පොතයි Colombo a sketch book. වීරක්කොඩිගේ වසන්ත පෙරේරා නම් අපූරු කුසලතා සතු චිත්‍ර ශිල්පියාගේ දිය සායම් චිත්‍ර සංග්‍රහයකි. මේ ග්‍රන්ථය ඔහු විසින් මෑතක දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති කොළඹ නමින් නම් කොට තිබූ චිත්‍ර ප්‍රදර්ශනයේ දී ජනගත කෙරුණකි.

දෙවැන්න මාලිනී Malini....up above හෙවත් විශිෂ්ටත්වයේ අනන්තය කොෆි ටේබල් වර්ගයේ ඡායාරූප මුල් කොට ගත් මාලිනී ෆොන්සේකා චරිතාපදානයයි. සුරස ප්‍රකාශනයක් වූ මාලිනී , සංස්කාරකත්වය ඈෂ්ලි රත්නවිභූෂණ සමඟ ආචාර්ය ධම්මික දිසානායක ගේය. ආශ්‍රිත සංස්කාරිකාව රංජනී රත්නවිභූෂණය. කොෆි ටේබල් පොත් ලෙස හැඳින්වූව ද, මෙම කෘති ද්වයම, බැලීමට ද, කියවීමට ද විශාල පෙළඹවීමක් ඇති කරවන පුස්තකාලයක තිබිය යුතුම අපූරු ග්‍රන්ථ ද්වයක් ලෙස හඳුන්වනු කැමත්තෙමි.

වසන්ත පෙරේරාගේ කොළඹ චිත්‍රාවලිය, ඔහු විසින් ඒ වර්ගයේ පෙර දවසක පළ කරන ලද කෘති මාලාවක තෙවැන්නයි. යාපනය හා මහනුවර පිළිබඳ ඓතිහාසික තොරතුරු, ජනජීවිතය, ස්මාරක, වසන්තගේ තෙලි තුඬින් ප්‍රති සිතුවම් ගතවී ඇත්තේ , වර්ණ ගැන්වී ඇත්තේ, සිතුවමක් ලෙස නොව කැමරා කාචයකට හසු වූ සජීවී ඡායාරූප ලෙසයි. දීර්ඝ කාලයක ගවේෂණ හා පර්යේෂණ කාර්යයෙහි ඉමහත් ඉවසීමකින් නිරතව සිටීමෙන් පසු බිහි කරන ලද විශිෂ්ට චිත්‍රාවලියක් ලෙස යාපනය හා මහනුවර හැඳින්විය හැකිය. ඊට නොදෙවෙනි වෙහෙස මහන්සියක මිහිරි ඵල වසන්ත විසින් අපට දායාද කොට සිටින්නේ ඔහුගේ කොළඹ චිත්‍ර සටහන් පොත සමඟය. සෑම චිත්‍රයකටම අදාළව ඉංග්‍රීසි බසින් ඇතුළත් කරන ලද කෙටි විවරණ චිත්‍රශිල්පී වසන්තගේ පර්යේෂණ ඥානය පිළිබිඹු කරන නිදසුන්ය. නවීන පරම්පරාව කොළඹ තිබූ කොඩි ගහක් පිළිබඳ අසා ඇත්තේ ගායක එම්.එස්.ප්‍රනාන්දු ගේ කොඩි ගහ යට මම උපන්නේ ගීතයෙන් පමණක් විය යුතුය. එහෙත් වසන්ත පෙරේරා, කොඩිගහ සිතුවම් කරනවා පමණක් නොව, එහි ඉතිහාසය ද, වර්තමානයේ එය කොහි වේද යන්නද අපට කියා දෙයි.

අද දවසේත් දකින්නට ලැබෙන කොටුවේ කාර්ගිල්ස් ගොඩනැගිල්ල පසුබිම් කොට මාර්ග අංක 102 ගමන්ගන්නා කොටහේන තට්ටු දෙකේ බස් රියක චිත්‍රය අප සජීවීව කොළඹ කොටුවට රැගෙන යනු වැන්න. කුඩා ළමයින්ට සෙල්ලම් කරත්ත විකුණන්නා, අලුත්කඩේ නිවාස ද්වාර, ජනෙල් කවුළු, කැටයම් සහිත පියසි, විවිධ පාලන සමයන්හි ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදාය පිළිබඳ අතීත මතකයට අප ගෙන යයි. කෝට්ටේ රජ මහා විහාරය, වීදි කරණවෑමියා, නානළිඳ, ඛාන් ඔරලෝසු කණුව, කාසල් හෝටලය ආදී අද ද දකින්නට ඉතිරි වී ඇති ස්ථාන රැසක සජීවී චිත්‍ර සමඟ එදා කොළඹ නගරයේ හමු වූ අපූරු චරිත, විවිධ වෘත්තීන්හි යෙදුණු සාමාන්‍ය ජනයා, ආදීන්ගේ සිතුවම් ඇතුළත් චිත්‍රාවලියට චිත්‍ර හතළිස් දෙකක් ඇතුළත්ය. පෘතුගීසි, ලංදේසි හා ඉංග්‍රීසි පාලන සමයන්හි නටබුන් සේ ශේෂ වී ඇති පැරණි ගොඩනැගිලි, අපගේ මතකය දශක ගණනාවක අතීතයට රැගෙන යන්නට වසන්තගේ තෙලි තුඩ දක්වා ඇති හපන්කම ඇදහිය නොහැකිය. ඔහු වැනි චිත්‍ර ශිල්පියකු රාජ්‍ය නායකයා විසින් වරින් වර පිරිනැමෙන කලා සූරී, කලා කීර්ති වැනි ගෞරව සම්මානයකින් පිදුම් නොලබන්නේ කිමද කියා සිතා ගැනීම අපහසුය. නිසැක වශයෙන්ම ඔහුගේ මේ පර්යේෂණාත්මක හා ගවේශණශීලී චිත්‍ර ව්‍යායාමය තුළ සැඟවුණු නිර්මාණශීලීත්වය සම්මානයකින් පිදුම් ලැබිය යුත්තේම වෙයි.

මාලිනී විශිෂ්ටත්වයේ අනන්තය කොෆි ටේබල් වර්ගයේ අපූරු නිර්මාණශීලී නිමාවක් සහිත කෘතියක් වූව ද එය වසන්ත පෙරේරාගේ කොළඹ චිත්‍ර සටහන් ඇතුළත් කෘතියට හාත්පසින්ම වෙනස් වූවකි. කොළඹ චිත්‍ර සටහන් කළු සුදු හා වර්ණ සිතුවමින් යුතුය. එහෙත් මාලිනීගේ මාලිනි Malini , up above කෘතිය කළුසුදු ඡායාරූප මෙන්ම ඇගේ ජීවිතයේ අසිරිමත් අවස්ථා, ජයග්‍රහණ , ඈ අධ්‍යක්ෂණය කොට ඇගේ රංගන ප්‍රතිභාව හඳුනාගත්, වේදිකා නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ඡායාරූපාවලියක් ද, ඈ ඔවුන්ගේ නිර්මාණවලට දායකවීම පිළිබඳ පසුබිම් තොරතුරු ද අපට කියවන්නට ලැබෙන්නේ විරල ඡායාරූප ද සමඟය. අපගේ සිනමාවේ මහා ප්‍රාඥයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ගෞරවණීය උපහාරයක් ලෙස මාලිනී විසින් පිරිනමනු ලැබ ඇති මේ කෘතිය තුළ මාලිනී ෆොන්සේකා යනු අපගේ සිනමාවට කෙබඳු වූ සම්පතක් වී ද, ඈ ශ්‍රී ලාංකේය සිනමාවේ ජීවමාන පුරාවෘත්තය ලෙස සැලකෙන්නේ කවර කාරණා නිසාද වැනි ශාස්ත්‍රීය මට්ටමේ ලිපි ද, ඇගේ රංගන චාරිකාව කෙබඳු වීද යන තොරතුරු ඇතුළත් ලිපි ද, ඇගේ සිනමාවට අදාළ ජීව දත්ත හා ජයග්‍රහණ පිළිබඳ සම්පූර්ණ සටහන් ද අපට කියවන්නට ලැබේ. මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය එඩ්වින් ආරියදාස , ආචාර්ය ශෝමා ඒ. චැටර්ජි, ආචාර්ය ධම්මික දිසානායක ආදීහු මෙම ලිපි සංග්‍රහයෙහි සම්පත්දායකයෝ වෙත්. මේ පිරිසට අමතරව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මාලිනී ගේ රංගනය හා ඔහුගේ විශිෂ්ට නිර්මාණ සඳහා ඇගේ දායකත්වය සඳහා පිරිනැමුණු ගෞරවය සටහන් වූ සටහන ද වෙසෙසිය.

කොෆි ටේබල් පොතක විශේෂත්වය හා ආකර්ෂණය වන ඡායාරූපවලිය මේ කෘතියෙහි අගය වර්ධනය කළ සාධකයක් ලෙස දකිමි. ඇතැම් දුර්ලභ ඡායාරූපයක් දකින්නට පාඨකයෝ කැමතිය. මාලිනී ෆොන්සේකා නම් ජාතියේ පිනට පහළ වූ සොඳුරු හිතැත්තියගේ, කලාකාරියගේ භූමිකා පිළිබඳ, වේදිකා, සිනමා හා රූපවාහිනී නිළියක ලෙස, චිත්‍රපට අධ්‍යක්ෂවරියක ,නිෂ්පාදිකාවක ලෙස දශක පහකටත් වඩා වැඩි දිගු කාල පරාසයක් තුළ ඇගේ නිර්මාණ ජීවිතයට එබී බලන්නට විවර වූ කවුළුවක් වැන්න මාලිනි Malini ... up above කොෆි ටේබල් වර්ගයේ මේ කෘතිය,පිටු සැකසුමෙහි හා ග්‍රන්ථ සැලසුමෙහි කැපී පෙනුණු නිමාව වෙනුවෙන් ප්‍රේම් දිසානායක නිර්මාණකරුවාට ප්‍රණාමයක් පිදිය යුතුය.

සිංහල සිනමා වංශ කතාවේ විශිෂ්ටතම රංගධාරිණිය වන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් සිනමාවේ නිළි රැජින ගේ ජීවිතයේ නිර්මාණාත්මක කාර්ය සාධනය පිළිබඳ තතු සොයන කවරෙකුට වුව, මාලිනි Malini ...up above නමින් ඉංග්‍රීසි බසින් ලියැවුණු මේ කෘතිය සපයන දායකත්වය අති විශාලය. මෙවන් කෘතියක් මගින් පිදුණු උපහාරය, ගෞරවය, නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක විසින් ජීවිතයේ ලබන්නා වූ අගනාම හා අතිශය සුන්දරතම ත්‍යාගය වනු නොඅනුමානය. මේ වර්ගයේ කෘතී සම්මාන පොරයට ඇතුළත් නොවීමම, මේ කෘති තුළ අප දකින නිර්මාණකරුවන් ලබන ඉහළම සම්මානය බව පිළිගන්නට සිදුවේ. සම්මානයක් යනු හිමිවිය යුත්තක් මිස කුළල් කා ගනිමින් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් බැණ අඬ ගසා ගනිමින් ඩැහැ ගත යුත්තක් නොවන බව වටහා ගන්නට තරම් සංවේදී මනසක් නොවීම අද දවසේ සාහිත්‍ය නිර්මාණයෙහි නිරත බොහෝ කලාකරුවන් තුළ දක්නට නොලැබීම කනගාටුවට හා කලකිරීමට හේතුවකි. මෙම කොෆි ටේබල් වර්ගයේ කෘති තුළින් වසන්ත පෙරේරා හා මාලිනී ෆොන්සේකා නම් වූ නිර්මාණකරුවාත් නිර්මාණකාරියත් අපි දකිමු. අපි ඔවුනට පෙරළා ආදරය කරමු.

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...