කහ­ත්තේ­වෙල විදුලි වැටක් | දිනමිණ

කහ­ත්තේ­වෙල විදුලි වැටක්

‘‘කොහෙද ටොම්සන් මහත්තයා යන්න ලෑස්ති වෙන්නේ... කඩිමුඩියේම..“ කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ටොම්සන් මහත්තයා බෑගයකට ඇඳුම් අසුරන අයුරු බලා සිටිමිනි.

‘‘ මං යනවා කහත්තේවෙල...“ කියා ටොම්සන් මහත්තයා ආපිට උත්තර බැන්දේය.

‘‘කහත්තේවෙල... මං මේ ඇහුවේ පළමුවෙනි වතාවට තමයි ඒ නම.. කොහෙද ඒක තියෙන්නේ ටොම්සන් මහත්තයා “ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ ඒක තියෙන්නේ බණ්ඩාරවෙල. අපේ කඳුකරේ තියෙන බොහොම අපූරු ගම්මානයක්. බණ්ඩාරවෙල වැලිමඩ පාරේ කිලෝ මීටර් දෙකක් විතර ගියාම තමයි කහත්තේවෙල හම්බු වෙන්නේ. කඳු පල්ලම් තියෙන ගම්මානයක්. එළවළු වගාව තමයි ප්‍රධාන. මං යනවා එහේ ගිහින් එන්න. “

‘‘ අනේ ටොම්සන් මහත්තයා මාත් එනවා.. මං හුඟක් කාලෙකින් බණ්ඩාරවෙල ගිහින් නෑ... “ කියා ඇම්බන් මහත්තයාද කඩිමුඩියේ ඇඳුම් බෑගයක් ලෑස්ති කළේය. ඒ අස්සේ උන්නැහේද ඒ මැද්දට ආවේය.

‘‘ උන්නැහේත් යමු... අපි දෙන්නම යනවා කහත්තේවෙල...“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ටොම්සන් මහත්තයා යනවා නම් මාත් එනවා කොහේ වුණත් යන්න. “ කියා උන්නැහේත් ගමනට එකතු වුණේය.

‘‘ දැන් ඔය මොකද හදිසියේ කහත්තේවෙල යන්න හිතුණේ ටොම්සන් මහත්තයා... මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? නැතිනම් සනීප ගන්නද? “ කියා උන්නැහේ ඇසුවේ පිටකොටුවෙන් බණ්ඩාරවෙල බස් රියට නගින ගමන්ය.

‘‘ සනීප ගන්නත් පුළුවන් තමයි. ඒ වුණාට ගමනේ හේතුව ඒක නෙවෙයි. දන්නවද උන්නැහේ... කහත්තේවෙල තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය. ඒක බලන්ඩයි මං යන්නේ... මාත් දැකලා නෑ මීට කලින් එහෙම දෙයක්...“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

බස් රිය බණ්ඩාරවෙලට ළඟා වන විට මද්දහනය. වැලිමඩ බස් රියේ ගොස් කහත්තේවෙල හන්දියෙන් බැස ගත් තිදෙනාම ඒ මත බැලුවේ කඳුකරයේ අසිරියෙන් සතුටු වෙමිනි.

‘‘ අපි යමු කහත්තේවෙල රතනසිරි හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උන් වහන්සේ තමයි මේකේ කර්තෘ. “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ කර්තෘ කියන්නේ... ඒ කියන්නේ කහත්තේවෙල කියන්නේ පොතක්ද? ඒක ලිව්වේ මේ රතනසිරි හාමුදුරුවෝද? “ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ නෑ... උන්නැහේ... කර්තෘ කියන්නේ මේ ආදර්ශ ගම්මානයේ ආරම්භකයා. අපි ගිහින් උන්වහන්සේ මුණ ගැහිලා මේ වැඩ සටහනේ ආගිය මුල ගිය තැන් දැන ගනිමු. “

ටික වේලාවකින් තිදෙනාම කහත්තේවෙල රතනසිරි හාමුදුරුවෝ මුණ ගැහුණහ.

‘‘ මේක මේ ගොවිතැනින් ජීවත් වෙන ජනයා ඉන්න තරමක් දුෂ්කර ගම්මානයක්... දුෂ්කර වෙන්න හේතු කිහිපයක් තියෙනවා. මේකේ ලොකු කඳු බෑවුම් තියෙනවා. ඒවායේ තමයි ජනයා ජීවත් වෙන්නේ.. ඒ විතරක් නෙවෙයි. වන සත්තු හරියට හානි කරනවා මේ වගාවලට. එළවළු වගා කරන්න කෘමි නාශක බෙහෙත් යොදනවා. ඒකෙන් පරිසරය විනාශ වෙනවා. මේකට පිළියමක් යොදා ගන්න තමයි අපි කහත්තේවෙල ජනතා ගොවි සමාගම නිර්මාණය කළේ... “

‘‘ ඒක නම් බොහොම අගේ කළ යුතු වැඩක් අපෙ හාමුදුරුවනේ... කොහොමත් අන්තිමේදී ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි ගම වෙනුවෙන් කර ගහලා වැඩ කරන්නේ... “

‘‘ මේ මහත්තයලට කියන්න. මේකේ ගොවිතැන්වල අස්වැන්නෙන් සෑහෙන කොටසක් වන සතුන්ගෙන් විනාශ වෙනවා. ඒකට කහත්තේවෙල ගම්මානයට විදුලි පද්ධති විසි පහක් ලැබුණා. ආණ්ඩුවෙන් නොමිලේම තමයි ලැබුණේ. එක විදුලි පද්ධතියක් ලක්ෂ විස්සක්. මේ විදුලි වැඩ නිසා සත්තු වගාවලට එන්නේ නෑ...ඒකෙන් වගාව ආරක්ෂා වෙනවා. ජනයාටත් ඒකෙන් පහසුයි. තව ඉස්සරහට අත් ට්‍රැක්ටර්. පැ‍ළ වර්ග, මී මැසි පාලන පෙට්ටි වගේ දේවල් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඉදිරියේදී මේ ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු කර ගෙන යන්න ජීපීඑස් තාක්ෂණයත් ලැබෙනවා. “ කියා රතනසිරි හාමුදුරුවෝ පැවසූවේ මහත් සතුටකිනි.

‘‘ ඒක නම් බොහොම සතුටට කරුණක් අපෙ හාමුදුරුවනේ... මේවා තමයි රටේ කෘෂිකාර්මික දියුණුවට කරන්න ඕනෑ. අලුත් තාක්ෂණය යොදා ගන්න එක බොහොමත් වටින වැඩක්... ඔබ වහන්සේ ගමට ලොකු හයියක්. “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ එහෙමනම් මහත්තයලා තුන් දෙනා ගමේ ඇවිදලා එන්න... අපි මේ දවස්වල කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරලා තියෙන්නේ... ඒකත් බලා ගත්තහැකි... ‘‘ කියා හාමුදුරුවෝ පැවසූහ.

තිදෙනාම එතැනින් පිටත් වූයේ කහත්තේවෙල ගමේ ඇවිදින්නටය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න

Or log in with...