පිට­කො­ටුවේ සවා­රි­යක් | දිනමිණ

පිට­කො­ටුවේ සවා­රි­යක්

අද පිටකොටුව

කොළඹ පිටකොටුව වෙළඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබ එහි ඇවිදයන්නේ දැඩි අපහසුවකිනි. දැඩි හිරු රශ්මිය හේතුවෙන් දහදිය ඉහිං කනිං බේරෙයි. ඒ මේ අතට විහිදෙන මහවීදි සහ කේශනාලිකා වන් කුඩා වීදි සෙනඟින් පිරීතිරී ගොසිනි. දසතින් ම විවිධ ශබ්ද නැගෙයි. සූරන ලොතරැයි අලෙවි කරන වෙළෙන්දන්ගේ හඬ, ‘ඔටුව පිටෝටුව’ යනුවෙන් ඇසෙන ආකාරයට කොටුව පිටකොටුව යයි හඬ නගන කොන්දොස්තර කොලුවන්ගේ හඬ, කලිසම් ඈ නෙක රෙදි පෙරෙදි විකුණන වෙළෙඳුන්ගේ හඬ, එක දිගට ඇදී යන වාහන පන්තියේ හඬ, අතරින් පතරින් වාහන හසුරුවන පොලිස් නිලධාරීන් නලා පිඹින හඬ ආදී විවිධාකාර ශබ්දයන්ගෙන් පිටුකොටුව ශබ්දාධික ය. යම් හෙයකින් සැළලිහිණිය ලියූ තොටගමුවේ රහල් හිමියන් අද ජීවත්වූවා නම් “දෙවන මුහුද මෙන් ගුම් ගති පුර නිබඳ” යනුවෙන් ලියන්නේ ජයවර්ධනපුර කෝට්ටේ ට නොව පිටකොටුවට ය. නගරයක් නම් ශබ්දාධික තැනක් බව කියන්නට අපේ රටේ හොඳම නිදසුන පිටකොටුව යි.

ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. ඉංගිරිසීන් ඉන්දියාවේ දී කොටුවකින් පිට පෙදෙස හඳුන්වන්නට මෙම නම භාවිත කිරීම ඊට හේතුවයි. මෙම වචනය දෙමළ භාෂාව ආශ්‍රිතව සකස් වූ වචනයක් ලු. සිංහලයෙන් කොටුවෙන් පිට පෙදෙස හඳුන්වන්නට ‘පිටකොටුව’ යන නම භාවිත කෙරෙයි. පිටකොටුව එදා මෙදාතුර විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් ජීවත්වන පෙදෙසෙක් ලෙස ප්‍රකට ය.

පිටකොටුවේ කෙළින් වීදිය අතීතයේ සිට ම ප්‍රසිද්ධ වූ වීදියකි. මෙම වීදිය අතීතයේ දී ‘කොනින්ග් ස්ට්‍රීට්’නමින් හඳුන්වන ලද්දේ ලු. එය කලක සිට ම ඉතා ප්‍රෞඪ ය. වටිනා සාරි, උත්සව සඳහා ඇඳුම් එහි ඇති සාප්පුවලින් මිලට ගත හැක. ඊට අමතරව යම් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ද කෙළින් වීදියට යන්නෝ වෙත්.

කුමාර වීදිය අතීතයේ පටන් ම එනමින් පැවති පිටකොටුවේ වීදියකි. රාජසිංහ රජතුමාගේ පුත් කුමරු වෙනුවෙන් එනම තබන ලදැයි යන්න ඉතිහාසයේ සඳහන් වන්නේ ලු. පිටකොටුවේ දක්නට ඇති පැරණි ඕලන්ද කෞතුකාගාරය පිහිටියේ ද කුමාර වීදියේ ය. අද වන විට නම් වීදුරු, මුහුණ බලන කණ්ණාඩි ආදියට මෙන් ම විදුලි උපකරණ හා ලෙදර්වලට ද කුමාර වීදිය ප්‍රසිද්ධ ය. කෙයිසර් වීදිය ද අතීතයේ පටන් ම එම නමින් ම පැවති වීදියකි. රෙදිපිළි වෙළඳාමට කෙයිසර් වීදිය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

මැලිබන් වීදියට එම නම ලැබී ඇත්තේ ලන්දේසි යුගයේ දී ය. සක්මන් මළුව යන අර්ථය දෙන ‘මැලිබෝ’ යන ලන්දේසි වදනින් මැලිබන් යන නම ප්‍රභවය වූ බවත් එදවස ලන්දේසි කාන්තාවන් සක්මන් කිරීම සඳහා මෙම පෙදෙස භාවිත කර ඇති බවත් ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරයි. පසුව ව්‍යාපාරික ඒ. ජී. හින්නි අප්පුහාමි සිය මුල් ම හෝටලය ආරම්භ කළේ මැලිබන් වීදියේ ය. එතැන් පටන් හින්නි අප්පුහාමි මහතාගේ ව්‍යාපාරවල වෙළඳ නාමය මැලිබන් විය. අද වන විට මැලිබන් වීදියට වඩා වෙළඳ නාමය ප්‍රකට ය. මංගල ඇරයුම් පත්, කේක් දවටන, ලිපිද්‍රව්‍ය සඳහා අද මැලිබන් වීදිය ප්‍රකට ය.

මැලිබන් වීදියට සමාන්තරව දිවෙන වීදිය ‘ඕල්කට් මාවතයි.’ මධ්‍යම බස් නැවතුම් පොළේ ප්‍රවේශය ඕල්කට් මාවත අසලින් තිබීම මෙන් ම කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපස අසලින් විහිදීම ද කොටුවේ වැදගත් ස්ථාන කරා ප්‍රවේශ මාර්ගයක් වීම ද ඕල්කට් මාවතේ වැදගත්කම වැඩිවීමට හේතු වී ඇත. අතීතයේ දී ඕල්කට් මාවත හඳුන්වන ලද්දේ ‘නොරිස් වීදිය’ යන නමිනි. රෙදිපිළි, ආහාරපාන, සපත්තු, පොත්පත්, සාප්පු බඩු විකිණෙන ඕල්කට් මාවත භෝජන ශාලාවලින් ද සමන්විත ය.

ඉහතින් සඳහන් කළ වීදිවලට සමාන්තරව හරස් වීදි පෙළක් විහිදෙයි. මල්වත්ත පාර එහි එක්තරා ආරම්භයක් සනිටුහන් කරන්නේ යයි පැවසීමේ වරදක් නැත. කලක් කැසට්පට සොයන්නට පාරිභෝගිකයෝ මල්වත්ත පාර කරා ගියහ. අද නම් බෑග්, පාවහන්, ඔර්ලෝසු ආදියට ප්‍රකට වෙයි. මල්වත්ත පාරේ කුඩා කඩයකට යන ඔබ එතරම් සපත්තු ප්‍රමාණයක් නැතැයි විපිලිසර වන විට කඩේ සොල්දරයෙන් ඔබ වෙනුවෙන් නවීන පන්නයේ වටිනා සපත්තු ඇදී එයි. ඉතා ඈත අතීතයේ තිබුණු මල්වත්තකට ගිය පාර මල්වත්ත පාර වී ලු.

ඊළඟට කොළඹ ඇවිදින්නාට පළමුවන හරස් වීදිය හා දෙවන හරස් වීදිය හමුවෙයි. මුල් යුගයේ දී පළමුවන හරස් වීදිය මාකට් වීදිය නමින් ද, දෙවන හරස් වීදිය හාලිමාර් වීදිය නමින් ද හැඳින්වුනු බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කර තිබේ. විදුලි උපකරණ, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ,ඔර්ලෝසු සොයන්නෝ පළමුවන හරස්වීදියට යති. දෙවන හරස් වීදියට යන්නෝ රෙදි සොයන්නෝ ය. එපමණක් නොවේ. සුවඳ විලවුන්, රූපලාවණ්‍ය උපකරණ, මැහුම් උපකරණ සොයන්නට ද සමහරු දෙවන හරස් වීදියට යති.

තුන්වන හරස් වීදිය පිටකොටුවේ ඇති කෙටිම වීදියයි. එය ඕල්කට් වීදියේ ගමන් කරන්නෙකුට හමු නොවේ. එය කුමාර වීදියේ සිට කෙළින් වීදිය දක්වා විහිදේ. එහි වැඩියෙන් ඇත්තේ රෙදිපිළි ය. අවුරුදු කීපයකට පෙර මා සරම් සොයන විට ‘මහත්තයා තුන්වන හරස් වීදියට යන්න.’ දෙවන හරස් වීදියේ හෝ කෙයිසර් වීදියේ වෙළෙන්ඳෙක් කීවේ ය. තරාදි හා ආයුධ ආදිය සොයන්නට ද තුන්වන හරස් වීදියට යන බව මා අසා ඇත. ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගන්නෝ හතරවන හා පස්වන වීදි සොයා යන්නෝ ය. ඉඩකඩ අහුරාගෙන වහලය දක්වා ගෝනි අට්ටි ගහගෙන සිටින මෙම වෙළෙන්ඳෝ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආහාර සපයන්නෝ ය.

පිටකොටුවේ වීදි එහි ජනවර්ග විවිධත්වය ද පෙන්නුම් කරයි. හෙට්ටි වීදිය, චයිනා වීදිය, පරණ යොන් වීදිය, අලුත් යොන් වීදිය, මුවර් වීදිය, අරාබි වීදිය මේ සඳහා ඇති අගනා සාක්ෂි වෙයි.

විවිධ භාණ්ඩ සොයා යන අය යනෙන වෙනත් වීදි මෙහි සඳහන් නොකළ හොත් අඩුවකි. හෙට්ටි වීදිය (රන් අබරණ), බංගසාල වීදිය (රසායන ද්‍රව්‍ය, කෘත්‍රිම මල්), ගබෝස් ලේන් (බෙහෙත් බඩු, කේක් බඩු), පරණ යොන් වීදිය (ගොඩනැගිලි ද්‍රව්‍ය), චයිනා වීදිය (විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ) රෝහිණී පටුමග (මුද්‍රණ ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය) ඒ සඳහා දිය හැකි නිදර්ශන කීපයකි.

කොහොමටත් ජනී ජනයාගෙන් ගහණ පිටකොටුව දිගුකාලීන ඉතිහාසයකින් යුතු ජන වාර්ගික විවිධත්වයෙන් විසිතුරු වූ පර්යේෂකයකුට නම් කදිම තෝතැන්නක් වන ගවේෂණයට නිසි තැනකි.

 මහානාම දුනුමාල

 

නව අදහස දක්වන්න

Or log in with...