‍පොලීසිය නැවතත් බෝප‍ගේ පසුපස | දිනමිණ

‍පොලීසිය නැවතත් බෝප‍ගේ පසුපස

“1985 නොවැම්බර් 21 වන දා මාව අත්අඩංගුවට ගත්තට පස්සෙ තමයි, සමන්ත සහෝදරයා ජ.වි.පෙ. - නව ප්‍රවණතාවය කියල සංවිධානයක් හදා ගෙන දේශපාලන වැඩ කටයුතු වගේම මුදල් එකතු කිරීම සඳහා නොයෙක් කටයුතුවල නිරත වෙලා හිටපු බව දන්නේ.ඔවුන් දිගින් දිගටම මගේ නමත් මගේ ඉල්ලා අස්වීමේ ලියවිල්ලත් පාවිච්චි කරලා පැරණි මෙන්ම අලුත් සාමාජිකයනුත් ද ඔවුන්ගේ ව්‍යාපාරයට බඳවා ගෙන තිබුණා. මම ප්ලොට් සංවිධානයේ ඔය කියපු සාකච්ඡාව හැරුණු කොට වෙනත් කිසිම කෙනෙක් සමඟ සංවිධානාත්මක සාකච්ඡාවකට සහභාගි වෙලා නැහැ. ඒත් කාලෙකට පස්සේ යළිත් වතාවක් මාව අත්අඩංගුවට ගත්තට පස්සෙ තමයි, සමාජවාදී ජනතා ව්‍යාපාරයේ අයත් තවත් ජ. වි. පෙ. පැරණි සාමාජිකයනුත් සමන්ත සහෝදරයා එක්ක කටයුතු කර තිබෙන බව දැන ගත්තේ. පස්සෙ කා‍ලෙක ඉන්දික ගුණවර්ධන සහෝදරයා හමු වන්නට ගිය අවස්ථාවක මට කිව්වා ඔවුන් ඒ වැඩවලට එකතු කර ගන්න සමන්ත මගේ නම වික්කා කියල . වාස් තිලකරත්න වැනි අයත් සමන්ත සහෝදරයා සමඟ සම්බන්ධ වී හිටියා කියන එක මම දැන ගත්තෙ මේ මෑතක පළකරපු ධර්මන් වික්‍රමරත්න මහතාගේ පොතෙන්. ඒ පොතේ සඳහන් කරල තියෙන ඇතැම් කරුණු පැහැදිලි ලෙසම වැරදි බව මම දන්නවා. ඒ නිසා ධර්මන් ලියපු ඔය කතාව ඇත්තද නැද්ද කියල මම දන්නෙ නෑ. ඒත්, ඔහු‍ගේ කෘති‍‍යෙ නිවැරදි ‍තොරතුරුත් ති‍යෙන බව පිළිගත යුතුයි. උදාහරණයක් හැටියට ප්ලොට් සංවිධානයෙන් මා හමු වෙන්නට ‌ආවේ මානික්කදාසන් සහෝදරයා කියල මම හිතා ගෙන හිටියේ. ඒ ධර්මන් ලියපු දෙයින් තමයි මම දන්නේ මා සමඟ සාකච්ඡා කරල තිබෙන්නේ ප්ලොට් සංවිධානයේ නියෝජ්‍ය නායකයෙක් වෙච්ච ‍ගෞරි කාන්දන් සහෝදරයා කියලා.”

“ප්ලොට් සංවිධානයේ ඉල්ලීම වු‍ණේ උතුරේ ප්ලොට් සංවිධානයට සමගාමී සංවිධානයක් දකුණේ සිංහල ජනතාව අතර ගොඩනඟන්නට කටයුතු කරන්න. ඒ සඳහා මට නායකත්වය ගන්න කිව්වා. දෙමළ ජනතාවගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා ගැනීමටත් ඒ සඳහා අරගල කරන්නටත් දෙමළ ජනතාවට තිබෙන අයිතිය මම පිළිගන්න බව මා ‍ගෞරි කාන්දන් සහෝදරයාට ඉතා පැහැදිලි ලෙසම කිව්වා . දෙමළ ජනතාවට ස්වයං තීරණය සඳහා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් මම පිළිගන්නා බවත් කිව්වා. ඒත්, දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම ‘දෙමළ ඊළාම්’ යනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කියා මම විශ්වාස නොකරන බවත්, කාන්දන් සහෝදරයට කිව්වා. උදාහරණයක් ලෙස ප්ලොට් සංවිධානයේ අරමුණ තමිල් ඊලාම් යනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම, මම ඒක අනුමත නොකරන නිසා ප්ලොට් වැනි ව්‍යාපාරයකට මට කිසි සේත්ම සහයෝගය දෙන්නට නොහැකි බව මම ‍ගෞරි කාන්දන් සහෝදරයාට කිව්වා. ඒ සාකච්ඡාව එතැනින් නිමා වුණා. ඉන් පසු බන්ධනාගාරයේ දී මුණගැසෙන තෙක් නැවත සමන්ත සහෝදරයාවත් කුමාරසිංහ සහෝදරයාවත් මට මුණ ගැහුණේ නැහැ.

“මම කල්පනා කරන්නේ සමන්ත සහෝදරයාට අවංකව රටේ යහපත් සමාජයක් ගොඩ නඟන්නට යමක් කරන්නට අවශ්‍යතාවය තිබුණ බව. නමුත් ඒ සඳහා කළ යුත්තේ කුමක් ද, අනුගමනය කළ යුත්තේ මොන වගේ දේශපාලන ක්‍රියාමාර්ගයක් ද යන්න ගැන පැහැදිලි හැඟීමක් නැහැ. ඔවුන් මුදල් එකතු කරන්නට ඇත්තේ දේශපාලන වැඩ කටයුතු කිරීම සඳහා වෙන්නට ඇතැයි මම කල්පනා කරනවා. නමුත් ඔහුගේ අසංවිධානාත්මක වැඩ ශෛලියත් අතිධාවනකාරී ස්වභාවයත් නිසා, විය හැකි ලෙසම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයන් මතුවෙනවා.

“මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී රැකියාව කරන්නට පටන් ගත්තට පසුව පාඨමාලා දෙකක් හදාරන්නට පටන් ගත්තා. එකක් කොළඹ වෝඩ් ප්ලේස්වල තිබුණ අලියොන්ස් ‌ෆ්‍රොන්සේස් ආයතනයේ (Alliance Française) ප්‍රංශ පාඨමාලාව. අනෙක එංගලන්තයේ කළමනාකරණ සේවා ආයතනයේ කළමනාකරණ සේවා පාඨමාලාව. මම බන්ධනාගාරයේ දී ප්‍රංශ භාෂාව හදාරා තිබුණාට ඒ භාෂාව නිවැරදි ලෙස හසුරුවන්නට දැන හිටියේ නැහැ. ඒ පාඨමාලාවේ විශේෂය වු‍ණේ ප්‍රංශ ජාතික ගුරුවරයා කිසිදු සිංහල හෝ ඉංග්‍රීසි වචනයක් ආධාර කොට නොගෙන ප්‍රංශ භාෂාවම පමණක් යොදා ගෙන ඉගැන්වීම. වසර තුනක කාලයක් මා ඒ පාඨමාලාව හදාරා ‍ගෞරව ඩිප්ලෝමාවක් ලබා ගත්තා. මා සමඟ ඒ පාඨමාලාව හැදෑරූ අය තවමත් මගේ යහළුවන් ලෙස ඉන්නවා. නමුත් කළමනාකරණ සේවා පාඨමාලාව හැදෑරීම කරන්නට සිදු වු‍ණේ ඊට වඩා බොහෝ ප්‍රශ්න රාශියක් මැද්දේ.

“මම සීදුවේ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ වැඩ කළ කාලයේ අන්වර් ඩෝල් මහතාත් ඒහි වැඩ කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී රැකියාව කරන්නට පටන් ගත් පසු කෙසේ හෝ ඔහු සමඟ යළිත් සම්බන්ධතාවයක් ගොඩනැඟුණා. ඒ කාලයේ මට අවශ්‍ය ව තිබුණා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්නට. ඒ සඳහා පිරිවැය සහ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ICMA) පාඨ මාලාව හදාරන්නට සූදානම් වෙන කොට තුවාන් අන්වර් ඩෝල් මහතා (දැනට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ ගෞරවනීය සභාපති) මට කතා කරලා එංගලන්තයේ කළමනාකරණ සේවා ආයතනයේ කාර්මික ඉංජිනේරු විද්‍යා පාඨමාලාව ඊට වඩා ප්‍රයෝජනවත් බව පෙන්වා දුන්නා. ඒ අනුව තමයි මම ඒ පාඨමාලාව හදාරන්නට පටන් ගත්තේ. රැකියාවෙන් පසුව සහ සති අන්තයේ දේශනවලට සහභාගි වීමට කොල්ලුපිටියට ගියා. මේ කාලයේම තමයි සමන්ත ඇතුළු පැරණි ජ.වි.පෙ. සහෝදරවරු බොහෝ දෙනෙක් අලුත් කණ්ඩායමක් හදන්න මා පොළඹවා ගන්න උත්සාහ කරමින් හිටියේ.

“කළමනාකරණ සේවා ආයතනයේ අවසාන විභාගයට මා සූදානම් වෙමින් හිටි කාලයේ ඒ පිළිබඳ අවශ්‍ය හැදෑරීම් සාමූහිකව කරන්නට සති අන්ත පාඨමාලා‍වේ දෙහිවල මිතුරකුගේ නිවසේ රැස් වුණා. මම දොලේ කනත්ත හන්දිය අසලින් බස් රියකට නැඟ මහරගමට හෝ පිලියන්දල හන්දියට ගොස් යළිත් බස් රියකට නැඟ දෙහිවලට යන්නට පුරුදු වී සිටියා. කවුරුන් හෝ මම යන එන ගමන්වල දී මා පසුපස යමින් අවධානයෙන් ඉන්න බව මට දැනෙන්නට පටන් ගත්තා. මේ හේතුව නිසා මම හුඟක් සෝදිසියෙන් හිටියා. එක සති අන්තයක දෙහිවල මිතුරු සිසුවාගේ නිවසේ පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡාවකට යන්නට පළමු බස් රිය පැමිණෙන තුරු නිවස අසලට වී ඉද්දී මෝටර් රථ තුනක් ඒ අසල නවතා මා දෙස බලා සිටින අයුරු මම දැක්කා. මා මහරගම බස් රියට නැග්ගා. ඒ මෝටර් රථ බසය ලුහු බඳිමින් එනවා පෙනුණා. අමුතු යමක් සිදු වෙමින් තිබෙන බව මට තේරුණා . මහරගම ඒ දිනවලත් බෙහෙවින් කාර්ය බහුල නගරයක්. මහරගම දී දෙහිවල බස් රියට නඟින්නට යුහුසුළුව පාරෙන් අනෙක් පැත්තට පනින්නට මට සිදු වුණා. මෝටර් රථ තුනෙන් පැමිණි පිරිස මා පැමිණි බස් රථය අසල උමතුවෙන් වගේ සෙනඟ අතරේ යමෙක් සොයන්නට උත්සාහ කරන බව මම දැක්කා.”

එදා ලයනල් බෝපගේ හවස් වී ආපසු තම නිවසට පැමිණි විට පොලිසිය නිවසට පැමිණ ඔහු සෙවූ බව චිත්‍රා පැවසුවාය.වැඩ නිමා වී නිවසට ආ පසු කුඩා දියණිය ද වඩාගෙන අසල කඩයට යාම ඔහුගේ සිරිතක් විය. ඔහු කඩයේ සිටිය දී රහස් පොලිසිය කඩයට ආහ. (‘රාජ්‍ය-විරෝධී’ කටයුතු විමර්ෂණය කළ ‘ත්‍රස්තවාදී විමර්ෂණ ඒකකය’ ට පූර්වයෙන් වූ) ජාතික රහස් ඔත්තු බියුරෝවේ (NIB) අධ්‍යක්ෂවරයාව සිටි ටෙරන්ස් පෙරේරා මහතාට ඔහු සමඟ කතා කරන්නට අවශ්‍යව තිබුණි. නිවසට ගොස් දියණිය බාර දී යා යුතු බව බෝපගේ කියා සිටියෙන් ඔහු නිවසට කැඳවා ගෙන ගිය රහස් පොලිස් නිලධාරීහු ඔහුට මාංචු දමා අංක තහඩු රහිත වෑන් රථයකට පටවා ගත්හ. අතරමග දී අවට නොදකින්නට ඔහුගේ දෑස් බැඳ ආවරණය ‍කෙරුණි. දීර්ඝ ගමනකින් පසුව කාමරයකට රැගෙන විත් ඔහුගේ දෑස් නිරාවරණය කරන ලදි.

සිසිර යාපා

හෙට - විලංගු දමාගෙන ලියූ විභාගය...

නව අදහස දක්වන්න