ඉහළින් පහළට? | දිනමිණ

ඉහළින් පහළට?

කාර්යක්ෂමතාව යනු රටක සංවර්ධනයේ ප්‍රධාන උපාය මාර්ගයකි. මේ අනුව ආයතනවල කාර්යක්ෂමතාව මෙන්ම පුද්ගල කාර්යක්ෂමතාවද, සතිපතා, මාස්පතා හා වාර්ෂික ව මැන බැලීමට දියුණු රටවල් වග බලාගෙන ඇත. කිසියම් කාල පරාසයක් තුළ කාර්යක්ෂමතාව පහළ ගියේ නම්; ඊට අදාළ හේතු නිරීක්ෂණය කොට වහා පිළියම් යෙදීම එම රටවල ක්‍රමය වී තිබේ. එහෙත් අපේ රට කාර්යක්ෂමතාව ගණන් ගන්නේ නැත. ඒ පිළිබඳ වාර්තා තබා ගන්නේ ද නැත. ඇතැම් ආයතනවලට වාර්ෂික ඉලක්ක නැත. සිදුවන්නේ සිරිත් පරිදි වැඩ කිරීම පමණි. මේ රාමුවෙන්පිට පැනීමට කාලය පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මීට දින දෙකකට ඉහත දී ඉහත විෂයය සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. එනම්; කාර්යක්ෂමතාව පළමුවෙන්ම රටේ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව තුළ තහවුරු කළ යුතු බව ය. එහි යටි අදහස වන්නේ පහළින් ඉහළට නොව;‍ ඉහළින් පහළට මේ ආදර්ශය ලබා දිය යුතු බව ය. එය සත්‍යයෙකි. අදාළ අණ - පනත් කෙටුම්පත් කිරීම සඳහා මැති - ඇමැතිවරුන් ගන්නා කාලය කෙතරම් දීර්ඝ ද? එම ප්‍රමාදය රටේ සංවර්ධනයට බලපායි. පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී නොවන මන්ත්‍රීලාගේ සංඛ්‍යාව කොපමණ ද? ගණ පූරණය නැති කමින් ඇතැම් සැසිවාර කල්යයි. ඇතැම් විවාද කල් යයි.

රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන උනන්දු වූ එක්තරා උසස් රාජ්‍ය නිලධාරියෙක් ඊට අදාළ සාධක දහයක් ඉදිරිපත් කර තිබේ. එය විමසා බැලීම ඉතා වැදගත් ය. එක; සෘජුව අදහස් දැක්වීම ය. දෙක; ව්‍යංගාර්ථවලින් ඉවත් වීම ය. තුන; දෙකට නැමෙන්නේ නැතිව සිටීම ය. හතර; බුද්ධිමත් සංවාද ඇති කිරීමය. පහ; වැරැදි ප්‍රතිපත්තිවලට එකඟ නොවීම ය. හය; ගනු ලැබූ තීරණ වහා ක්‍රියාත්මක කිරීම ය. හත; සාමකාමී ලෙස හැසිරීම ය. අට; ප්‍රමාදයන් වළක්වා ගැනීම ය. නමය; විශ්වාසය දිගට ම පවත්වා ගැනීම. දහය; විනයගරුක වීම ය. මේ එක සාධකයක් හෝ බැහැර කළ නොහැකි ය.

සෑම රාජ්‍ය නිලධරයකුටම පමණක් නොව; සෑම පුරවැසියකුට ම පවා යුතුකම් හා වගකීම් යනුවෙන් ඉටුකළ යුතු වැඩ කොටස් දෙකක් තිබේ. ඔස්ට්‍රියාවේ වියානා නුවර අපේ තානාපති කාර්යාලයයේ නිලධාරීහු එම යුතුකම් හා වගකීම් පැහැර හැර ඇති කොටසකි. ඒ හේතුව නිසා කාර්යාලයේ සියලු නිලධාරීන්ට පෙරළා සිය රටට ඒමට සිදුවිය. එම තානාපති කාර්යාල‍යේ දුරකථන හයක් එක දිගට පැය හතරහමාරක් සිය රිසීවරය හඬවා තිබේ. එහෙත් පිළිතුරක් දීමට කෙනකු නැත. නිලධාරීන් සියලුදෙනා බැහැර ගොසින් ය. මෙබඳු තානාපති සේවයකින් රටට වැඩක් තිබේ ද?

ඇතැම් නිලධාරීන් තීරණ ගැනීමේදී ඉක්මන් ය. උපදේශන සැපයීමේ දී ඉක්මන් ය. එහෙත් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ දී හැමවිට ම පෙන්වා ඇත්තේ බරපතළ ප්‍රමාදයකි. පාර්ලිමේන්තුවේදී ගනු ලබන තීරණ සියල්ල ඒ අයුරින් ම ආයතන තුළ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලැබෙන විදේශ ආධාර ඇතැම් විට ගෙඩිය පිටින් ආපසු ලබා ගත් අවස්ථා ‍ ගණනාවක් තිබේ. ඊට හේතුව සාර්ථක ව්‍යාපෘති වාර්තා හා සැලැසුම් නැතිකමය. නැතහොත් නිසි කාලය තුළදී ඒවා ආරම්භ කොට ක්‍රියාත්මක නොවීම ය. මේවායින් පැහැදිලි වන්නේ මුළු රටම අලස ජාතියක් බවට පත්වී ඇති බව ය.

චීන වැසියන්ගේ ද, කොරියන් වැසියන්ගේ ද කාර්යක්ෂමතාව අපේ රටේ මිනිසුන්ගේ මෙන් දෙගුණයකටත් වැඩි බව පෙනී යයි. ඔවුන් ලෝකය පුරා ක්‍රියාත්මක කරන ඉදිකිරීම් ව්‍යාපෘති බොහෝ විට නිශ්චිත කාලයට පෙර අවසන් කරනු දැකිය හැකි ය. චීන ජාතිකයා මෙන්ම කොරියන් ජාතිකයාද සිය සේවා කාලය තුළ නිදාගන්නේ නැත. දිනකට ඉලක්ක ගත වැඩ කොටස නිශ්චිත කාලය තුළම නිමාවට පත් කිරීමට ඔවුන් පුහුණු වී ඇත. කොන්දෙ අමාරුවට, හිසේ අමාරුවට ඔවුන්ගේ වැඩ නවතින්නේ නැත. වර්ජනය කිරීම, අකුරට වැඩ කිරීම ඔවුන්ගේ වාග් කෝෂයට ඇතුළත් නොවූ සේය.

වැඩ වර්ජන, විරෝධතා, අකුරට වැඩකිරීම් එකක් පසුපස එකක් ක්‍රියාත්මක වන ආකාරයට ව්‍යාප්ත වෙයි. මේවා මගින් රටට අහිමිවන මිනිස් පැය ගණන ගැන කිසිවකු විමසන්නේ නැත. ඒවායින් රටේ ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව ගණනය කරන්නේ ද නැත. මේ රටේ වෘත්තීය සමිති යනු ආර්ථිකයට හෙණ ගැසුවත්; තමන්ගේ බලය පමණක් පෙන්වන අපූරු සංවිධාන විශේෂයකි. බොහෝ වෘත්තීය සමිතිවල නායකයන් තමන්ගේ කාලය නාස්තිකරන අතර පසුව රටේ පුරවැසියාගේ කාලයද කා දමන බව පෙනෙන්නට ඇති සත්‍යයයි. ඉදිරියටත් වර්ජන ගණනාවක් පැවැත්වෙන බවට පූර්ව දැනුම්දීම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සේවක වැඩවර්ජන පුදුම සහගත බව විදේශීය සංචාරකයන් පෙන්වා දී ඇත. ඔවුන් මේ රට කෙරෙහි තබා ඇති විශ්වාසය හා ගෞරවය වැඩ වර්ජන නිසා අහෝසි වී යනු ඇත. වැඩවර්ජන හා දේශපාලන ආරවුල් සහිත රාජ්‍යවල ආයෝජනය කරන්නට හෝ නව කර්මාන්ත බිහි කරන්නට හෝ ධනවත් ව්‍යාපාරිකයන් ඉදිරිපත් වන්නේ නැත. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතළ බලපෑමක් සිදු කරනු ඇත. විස්මයට කරුණු වන්නේ වෘත්තීය සමිති නායකයන් පමණක් නොව; දේශපාලකයන් පවා ඒවා ගැන විශේෂ අවධානයක් යොමු නොකිරීම ය.

පුහුණුව, උපදේශනය, නවීන තාක්ෂණය, සංවාදය හා තරුණ ජවය කාර්යක්ෂමතාව සඳහා යොදාගත හැකි හොඳම සාධක ලෙස පවතී. එහෙත් අපේ සේවකයන් පුහුණුවට මැළි බව පෙනී යයි. උපදේශනය නොපිළිගන්නා බවද පෙනී යයි. සංවාදයට වැඩිහිටි - තරුණ දෙපාර්ශ්වය ම සූදානම් නැති බවද පෙනී යයි. මේ අනුසාරයෙන් බලන විට පෙනී යන්නේ අපේ සේවක ප්‍රජාවගේ දැක්ම හා චින්තනය වෙනස් කළ යුතු බව ය. එය කළ හැක්කේ රටේ නායකයන්ට යැයි කිව හැකිය. නායකයෝ යනු දේශපාලකයෝ පමණක් ම නොවෙති. අවසන් ලෙස කිව හැක්කේ රටේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා ඉහළ සිට පහළට ආදර්ශ සැපයීම ඉතා වැදගත් බව ය.


නව අදහස දක්වන්න