ආපදා කළමනාකරණයට ස්වේච්ඡා බළකායක් | දිනමිණ

ආපදා කළමනාකරණයට ස්වේච්ඡා බළකායක්

මානෙල් පුෂ්ප කුමාරි

පසුගිය වසරවල ශ්‍රී ලංකාව ආපදා කිහිපයකට මුහුණ දුන් බවත්, අපදාවලට ලක්වූවන් බේරාගැනීමට ත්‍රිවිධ හමුදාව-පොලීසිය-සිවිල් ආරක්ෂක බළකාය එක් වූ බවත්, මේ හේතුවෙන් ආපදා කළමනාකරණ ස්වේච්ඡා බළකාය ස්ථාපිත කිරීමට තීරණය කළ බවත් වාරිමාර්ග, ජල සම්පත් සහ කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය දා (14) කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආපදා කළමනාකරණ ස්වේච්ඡා බළකාය ස්ථාපිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාව ද ආපදාවලට ගොදුරුවීමේ රටක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒ නිසා ආපදාවට පෙර සූදානම යටතේ එම අභියෝගය ජයගැනීමටත්, රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීමටත් වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පැවරී ඇති ප්‍රමුඛ කාර්යයක් වෙනවා. එය මූලික කර ගනිමින් මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කළා.

එදින ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. මහනුවර ධර්මරාජ විද්‍යාලයීය විදුහල්පතිවරයා ද මේ අවස්ථාව සහභාගි විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව දැනට ක්‍රියාකාරීව කටයුතු කරන වයස අවුරුදු 18ට වැඩි බාල දක්ෂ දක්ෂිකාවන් ආපදා කළමනාකරණ ස්වේච්ඡා බළකායක් ලෙස ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට වසර 105ක් පිරීම සහ විද්‍යලයීය ආදි බාලදක්ෂ සංගමයට 40 වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට බාලදක්ෂයන්ට ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා බාල දක්ෂ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා පැවැසීය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ මේ මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත මේ වැඩසටහන SERTORA - 2018 (Scouts Emergency Response Training Of Rajans) ලෙසින් නම් කර ඇත.

දිනෙන් දින වර්ධනය වන ආපදා තත්ත්වය හමුවේ ඒවායෙන් සිදු වන විපත් අවම කිරීමට ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මෙරට ප්‍රජාව අතරින් ලක්ෂයක් දෙනාට ආපදා කළමනාකරණය පිළිබඳව පුහුණු කිරීමට සැලසුම් කර ඇත. එයින් පළමු වැනි කණ්ඩායම ලෙස බාලදක්ෂ කණ්ඩායමකට මේ වැඩසටහන පුහුණු කෙරෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න