පවුමට හා යුරෝවට සාපේක්ෂව රුපියලේ අගය අඩුව නැහැ | දිනමිණ

පවුමට හා යුරෝවට සාපේක්ෂව රුපියලේ අගය අඩුව නැහැ

උපාලි කරුණාරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ උග්‍ර ගැටලු ගණනාවක් ඇති වෙමින් තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී අලවතුවල මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (18දා) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා, 2015 ජනවාරි 08 දින වත්මන් රජය රට භාරගන්නා අවස්ථාවේ අපේ රටේ පැවැති තත්ත්වය පිළිබඳ මේ අවස්ථාවේ කල්පනා කළ යුතුයි. එම ජනවාරි 08 ට පෙර රටක් ලෙස ජත්‍යන්තරය තුළ අප විශාල පසුබෑමකට ලක්වී තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විවිධ යෝජනා ගෙනවිත් අපේ රට අපහසුවට පත්කරමින් සිටියා. ජනවාරි 08 වෙනස මේ රටේ ජනතාව ඇති කළේ නැතිනම් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇති වී තිබුණා. රාජපක්ෂ පාලනය අපේ රට විශාල ණය බරක් තිබෙන රටක් බවටත් ඒ වන විට පත්කර තිබූ අතර ජනතාවට පළ ප්‍රයෝජන ගත නොහැකි ව්‍යාපෘති ගණනාවකට එම ණය යෙදෙව්වා. කොටසක් එම ණය වළින් කොමිස් ගැසුවා.

ඒකාබද්ධ විපක්ෂය අපට විවිධ චෝදනා එල්ල කරනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ක්ෂය වෙලා කියා ඔවුන් ප්‍රකාශ කරනවා. මෙවැනි තත්ත්වයන් පසුගිය රජය කාලයේදීත් සිදුවුණා. සියයට දොළහකින් පමණ සිදුවූ අවස්ථා තිබෙනවා. අද ඇතිවී තිබෙන මේ තත්ත්වය ලෝක ආර්ථිකයත් සමඟ ඇතිවෙලා තිබෙනවා. ඉන්දියාවේ සියයට දොළහකින්ද, පකිස්ථානයේ සියයට දාහතකින්, ඕස්ට්‍රේලියාවේ සියයට දහයකින්, පිලිපීනයේ සියයට හතකින්, එක්සත් රාජධානියේ සියයට අටකින්, යුරෝ එක සියයට හතරකින්, තුර්කියේ සියයට විස්සකින්, ඉන්දුනීසියාවේ සියයට එකොළහකින් ද, රුසියාවේ මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව සියයට දහ අටකින්ද ක්ෂය වී තිබෙනවා. අප මේ වන විට ක්ෂය වෙලා තිබෙන්නෙ සියයට හතකින්.

අපේ මාධ්‍ය තුළ ඩොලරයට සාපේක්ෂව අනෙකුත් රටවල මුදලේ අගය ක්ෂවීම පිළිබඳව කතා කරන්නෙ නැහැ. ලංකා ඉතිහාසයේ වැඩිම ඩොලරයේ අගය පෙන්වූ බව ප්‍රකාශ කරනවා. මාධ්‍ය තුළින් කියන්න ඕනෙ වර්තමානයේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වී තිබෙන බව. මේ බව ප්‍රකාශ වන්නෙ නැහැ. හැබැයි මේක මාධ්‍ය කලාව නොවේ. ලෝකයේ පවතින සැබැ තත්ත්වය ජනතාවට දැන ගැනීමට සැලැස්වීම මාධ්‍යයේ යුතුකමක්. අපේ මුදල සියයට නවයෙන් එහාට ක්ෂවීමක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. මේක අනෙක් රටවල් සමඟ සසඳන විට හොඳ තත්ත්වයක්.

ඉන්ධන මිල සූත්‍රය සම්බන්දයෙන්ද විවිධ දේ ප්‍රකාශ වනවා. මේ පිළිබඳව කතා කරන්නඒකාබද්ධ විපක්ෂයට කිසිදු අයිතියක් නැහැ. රාජපක්ෂ පාලන කාලයේදී ඉන්දන මිල අඩු කළේ නැහැ. භූමිතෙල් මිල අඩු කරන්න කියූ හලාවත ධීවරයින්ට වෙඩි තැබුවා. එසේ කටයුතු කළ ඒකාබද්ධ විපක්ෂය ඉන්දන මිල පිළිබඳව කතා කරනවා. වත්මන් රජය පත්වූ වහාම ඉන්ධන මිල අඩු කළා. තවමත් ඉන්දන මිල මහින්ද රාජපක්ෂ යුගයට වඩා අඩුවෙන් තිබෙන්නෙ. මිල සුත්‍රය සකස් කර තිබෙන්නෙ ලෝක වෙළඳ පොළේ මිලත් සමඟ. ඇමරිකාව, ජපානය ආදී රටවලත් ඉන්දන මිල ලෝක වෙළඳ පොළේ මිල ගණන් අනුව වෙනස් වෙනවා. ඉන්දියාව එදිනෙදා ඉන්දන මිලේ වාසි අවාසි ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳ පොළේ ඉන්දන මිල අඩු වන විට එම සහනය ජනතාවට යන ආකාරයට අප මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නවා. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා ලෝක වෙළඳ පොළ සමඟ සංසන්දනය කරමින් ඉන්ද යම් මිලකට ඉන්දන ලබා දෙන ලෙස. නමුත් ඔවුන් එය සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. යහ පාලන රජය අවුරුදු දෙක හමාරක් සහන මිලකට ඉන්ධන ජනතාවට ලබා දුන්නා. වර්තමානයේ ඉන්ධන මිල වැඩිවන විට රජයට යම් යම් පියවර ගැනීමට සිදුවනවා. ඒ නිසයි මිල සුත්‍රයක් ගෙනවිත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩු වනවාත් සමඟම එම වාසිය ජනතාවට ලබාදෙන බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඉන්ධන මිල පසුගිය කාලයේ අඩු වුවත් ඇතැම් භාණ්ඩවල මිල විශාල ප්‍රමාණයෙන් එහා මෙහා සිදුවූයේ නැහැ. ජනතාව නිතර පරිභෝජනයට ගන්න ආහාර, භාණ්ඩ සම්බන්ධයෙන් පාලන මිලක් අවශයි. එය අප ක්‍රියාත්මක කළ යුතුයි. බස් ගාස්තු පිළිබඳ ගැටලුව අදාළ ඇමැතිවරුන් සාකච්ඡා කර විසදයි. වත්මන් රජය මහින්ද රාජපක්ෂ රජය වගේ අත්තනෝමතිකව වැඩ කරන්නෙ නැහැ. ලබන ජනවාරිය පසු වන විට ලෝක වෙළද පොලේ ඉන්ධන මිල බොහෝ විට අඩුවෙයි කියා අප සිතනවා. එම වාසිය අප ජනතාවට ලබා දෙනවා. ජනාධිපතිතුමා හා මිල සූත්‍රය අතර ගැටලුවක් තිබෙනවා කියා මා සිතන්නෙ නැහැ.

වත්මන් රජය විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නෙ ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ එකගතාවයෙන්. පක්ෂ දෙකක් කටයුතු කිරීමේදී සුලු සුලු ගැටලු ඇති වෙන්න පුලුවන්. ඒකාබද්ධ විපක්ෂයේ ගැටලු පිළිබදවත් මාධ්‍ය මගින් කතා කළ යුතුයි. ජනාධිපතිතුමා ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් පරීක්ෂණ අපක්ෂපාතීව සිදුවනවා. පොලිස්පතිවරයා රාජකාරිය ඉෂ්ඨ කරනවා. වෙනදාට වඩා හොදට වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වෙනවා.


නව අදහස දක්වන්න