කෘෂිකර්මාන්තයේ පැහැදිලි ප්‍රබෝධයක් ඇතිවෙලා | දිනමිණ

කෘෂිකර්මාන්තයේ පැහැදිලි ප්‍රබෝධයක් ඇතිවෙලා

සංස්කෘතික ක්ෂේත්‍රයේ කලාකරුවන්ගෙන් මහවැලි කලාපවල දූ දරුවන්ගේ සංස්කෘතික දක්ෂතා සංවර්ධනය කර ගැනීමට ලැබෙන උපකාරය ඔවුන්ට මහත් ශක්තියක්.

අද රටේ කෘෂිකර්මාන්තයේ පැහැදිළි ප්‍රබෝධයක් ඇතිවී තිබෙන අතර, පසුගිය කිසිදු රජයකින් ඉටු නොකළ වැඩකොටසක් ඉකුත් වසර තුන තුළ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වත්මන් රජය ඉටුකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පෙර රජ දවස සිට මේ රට සශ්‍රීක වීමට මුල් පදනම වූයේ කෘෂිකර්මාන්තය වන අතර, ඉදිරියට ද රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ කෘෂිකාර්මික ආර්ථික රටාවක් පිළිබඳ විශ්වාසය තැබීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට පසුගිය 16 දා පස්වරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී එක්වෙමිනි.

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි ක්‍රීඩා උළෙල 30 වැනි වරටත් මෙවර ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

“ස්වයංපෝෂිත යුගයක් – මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්” තේමාව යටතේ ඊයේ ආරම්භ කෙරුණු ක්‍රීඩා උළෙල සඳහා මහවැලි කලාප 10ක ක්‍රිඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ එක්වූ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් සීමා වූ ක්‍රිඩා උළෙල ඉසව් 42 කින් සමන්විත විය.

සමාප්ති උත්සවයේ දී දක්ෂම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව, හොදම මහවැලි කලාපය ඇතුළු ජයග්‍රාහක කණ්ඩායම් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙවර මහවැලි ක්‍රීඩා උලෙළට සහභාගී වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි වූ අතර පළමු ස්ථානයට පත්වන මහවැලි කලාපයට ශාරිරික සුවතා මධ්‍යස්ථානයක් ලබාදීම, හොදම ක්‍රීඩකයාට, ක්‍රීඩිකාවට මහවැලි ඉඩමක් ලබාදීම, සුවිශේෂ දක්ෂතා ප්‍රකට කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු සඳහා කී‍්‍රඩා ශිෂ්‍යත්ව, විශේෂ ක්‍රීඩිකාවන් 20 දෙනෙක් වෙත රැකියා අභිමුඛ පාඨාමාලා, හොඳම කී‍්‍රඩකයා හා ක්‍රීඩිකාව බිහිකරන පාසලට ක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.

ආසියානු ශූරතාවය දිනු ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කී‍්‍රඩිකාවන් ද මීට එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන් මහවැලියෙන් පිරිනමන ලද විශේෂ සමරු තිළිණය සහ ඩයලොග් ආයතනය විසින් පිරිනමන ලද විශේෂ තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම ඉදිරි වසර 03 තුළ එම කී‍්‍රඩිකාවන්ගේ කී‍්‍රඩා කටයුතු සඳහා අනුග්‍රහය ලබාදීමට රජයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආයතනය ඉදිරිපත්වී සිටින අතර, එය ප්‍රකාශයට පත් කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

තිස් වැනි මහවැලි ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මහවැලියේ ඉතිහාසය වසර හැත්තෑවකට වඩා පැරණියි. 1969 වසරේ පෙබරවාරි මාසේ මහවැලි ජලය උතුරට හැරවීමට පොල්ගොල්ල වේල්ලේ වැඩ ආරම්භ වීමත් සමඟ මහවැලිය තවත් පියවරක් ඉදිරියට තැබුවා. 1976 ජනවාරි මාසේ 08 වැනිදා මහවැලි ජලය මහනුවර පොල්ගොල්ල අමුණෙන් අනුරාධපුර, පොළොන්නරු රජරට ප්‍රදේශවලට ගෙනයෑම මහවැලි ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණු අවස්ථාවක්. මෙම කාර්යය ආරම්භක අවස්ථාවේ ප්‍රධාන දේශපාලනඥයාව සිටියේ පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සී.පී ද සිල්වා ඇමතිතුමා. ඒවගේම අනුරාධපුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මෛත්‍රීපාල සේනානායක මැතිතුමා මහවැලි සංවර්ධනය වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කළා.

1977 බලයට පත් වූ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ ගාමිණී දිසානායක ඇමතිතුමා, කඩිනම් මහවැලි වැඩසටහන ආරම්භ කරමින් මහවැලි සංවර්ධන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරනු ලැබුවා. කෘෂිකාර්මික සංවර්ධනය ඇති වුණා. ඒ මඟින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. විදුලිබල උත්පාදනය ආරම්භ වුණා. කර්මාන්තවල නවෝදයක් ඇති වුණා. 1986 වසරේ ගාමිණී දිසානායක ඇමතිතුමාගේ මූලිකත්වයෙන් මහවැලි ක්‍රීඩා උලෙළ ආරම්භ වුණේ සෑම ක්ෂේත්‍රයකම ඇතිවුණු මේ නව ප්‍රබෝධයත් සමඟයි. මගේ මතකයේ හැටියට වසරක් දෙකක් මහවැලි ක්‍රීඩා උලෙළ පවත්වා තිබුණේ නැහැ.

අපේ රටේ භූමියෙන් තුනෙන් එකක කොටසක් අයත් වෙන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට යි. මහවැලිය කෘෂිකර්මාන්තය, වැවිලි, ධීවර, කර්මාන්ත, විදුලිබල උත්පාදනය වැනි අංශ ගණනාවක් මඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම මහවැලි අධිකාරිය මහවැලි කලාපවල ජීවත් වන ගොවි ජනතාවගේ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වගේම සංස්කෘතික දක්ෂතා ඔප්නංවන්න වේදිකාවක් නිර්මාණය කර දී තිබෙනවා. සංස්කෘතික ක්ෂේත්‍රයේ කලාකරුවන්ගෙන් මහවැලි කලාපවල දූ දරුවන්ගේ සංස්කෘතික දක්ෂතා සංවර්ධනය කර ගැනීමට ලැබෙන උපකාරය ඔවුන්ට මහත් ශක්තියක්. එම සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විශිෂ්ට කලාකරුවෙක් වන සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා අද මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා.

මේ වසර තිහක කාලසීමාව තුළ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා මහවැලි ක්‍රීඩා ක්ෂේත්‍රය මඟින් බිහිකර තිබෙනවා. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ ආරාධනා අනුව අද මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. ඔවුන්ගේ පැමිණීම අප සැමගේම සතුටට කරුණක්.

මහවැලිය තුළින් මේ රටේ නව මහවැලි ශිෂ්ටාචාරයක් බිහි වුණා. රජරටට වගේම පළාත් හතරකට ජලය ලබාදෙන මොරගහකන්ද - කළු ගඟ ජලාශය අපගේ වාරි ක්‍ෂේත්‍රයේ විශිෂ්ටතම නිර්මාණයක්. මහවැලි කාර්මික සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රය තුළ විශේෂිත හැකියාවන් ඇති දක්ෂයන් බොහෝ සිටිනවා. මෙහි ආරම්භක ශක්‍යතා අධ්‍යනයන්ගේ සිට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, පරිපාලකයන්ගේ සිට අවසාන කම්කරුවා දක්වා මෙවැනි අවස්ථාවල අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මහවැලි ව්‍යාපාරය මේ රටේ ආර්ථිකයට විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට, කර්මාන්ත සංවර්ධනයට ලබාදෙන දායකත්වය නිසා අපේ අනාගතය පිළිබඳව බොහෝ බලාපොරොත්තු තබන්න පුළුවන්. පසුගිය අවුරුදු තුනහමාරකට වැඩි කාලය තුළ අපි කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ පැහැදිලි ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමත් ඒ පිළිබඳව සඳහන් කළා. කිසිම රජයකින් කෘෂිකර්මාන්තයට නොදුන්න සේවාවන් රාශියක් අපි ඉටු කර තිබෙනවා. පෙර රජ දවසෙදිත් මේ රට ශක්තිමත් විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වන්නට පදනම ඇති වුණේ කෘෂිකර්මාන්තය නිසයි. කෘෂිකාර්මික පදනමකින් යුත් රටක් විදියට රටේ අනාගතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන්ම කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි, පශුසම්පත් වැනි අමාත්‍යාංශ, ආයතන හා පෞද්ගලික අංශය එක්ව කෘෂිකර්ම ක්‍ෂේත්‍රය නඟාසිටුවීම සඳහා පුළුල් වැඩකොටසක් ගෙවී ගිය දශක කීපය තුළ ඉටු කර තිබෙනවා.

මහවැලි ක්‍රීඩා උලෙළ තිස් වැනි වරට පවත්වන මේ අවස්ථාවේ මෙවැනි ක්‍රීඩා උලෙළවල් 18 කට ඇමතිවරයා විදියට සහභාගි වෙන්න භාග්‍ය ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

අපේ ගොවි ජනතාව ශක්තිමත් කරන්න අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. නියඟය, ගංවතුවර වැනි කාලගුණික, දේශගුණික විපර්යාසයන් අපේ රටට පමණක් නොවෙයි ලෝකයේ සෑම රටකටම අද බරපතළ අභියෝගයක් වී තිබෙනවා. ඒ සියල්ලටත් අපි මුහුණ දිය යුතුයි. මානව පරිණාමයේ ආරම්භයේ සිටම මානවයා ස්වභාවධර්මයාගේ අභියෝග ජයගෙන ඉදිරියට ආවා. එම අභියෝගවලට මුහුණ දෙමින් ඔවුන් තව තවත් ශක්තිමත් වුණා. බොහෝ නිර්මාණවලට පෙළැඹුණා. නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වුණා. සොයා ගැනීම්වලට පෙළැඹුණා. කිසිම කාලයකට වඩා අද කාලගුණික සහ දේශගුණික විපර්යාස බරපතළ ලෙස ලෝකයේ සෑම රටකම සංවර්ධනයට බලපාලා තිබෙනවා. අපි වගේ පුංචි රටක් ඒ කාලගුණික දේශගුණික විපර්යාසයන් නිසා අත්දැකීම් ලබලා තිබෙනවා වගේම අනාගතයේ දී ඒ අභියෝගවලට අපි මුහුණ දිය යුතු වෙනවා. මා විශ්වාස කරනවා ඒ සියලු අභියෝග අපට ජයගත හැකියි කියලා.

තම දරුවන් ක්‍රීඩා ක්ෂේත්‍රයට එක් කරන්නට පුළුල් දායකත්වය දෙන දහඩිය, කඳුළු, සුසුම්, එක් කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විශිෂ්ට සේවයක් ඉටු කරන අපේ ආදරණීය ගොවි ජනතාවට මගේ මුල්ම ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා. මේ කටයුතු සාර්ථක කරන්නට උරදුන් තාක්ෂණික සේවයේ ඉංජිනේරුවරු ඒ ඒ ආයතනවල පරිපාලකයන් ඇතුළු සෑම කෙනෙකුටම මා ස්තූතිවන්ත වෙනවා. මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්මයත්, නව අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහත්මයා ඇතුළු අනිකුත් අධ්‍යක්ෂවරු, ඒ වගේම මහවැලි කලාප 10 නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්, කොට්ඨාස කළමනාකරුවන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා උපදේශකවරුන්, පුහුණුකරුවන් ඇතුළු සෑම කෙනෙකුටම මා මේ අවස්ථාවේ මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

රජයක් විදියට වගේම පුරවැසියන් විදියට කරන්නා වූ සියලු ආයෝජන අතර වැදගත් වන්නේ දරුවන් සඳහා කරන්නා වූ ආයෝජනයි. රටක ශක්තිමත් ජාතියක් බිහි වෙන්න නම් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටිය යුතුයි. නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වගේම නිදහස් අධ්‍යාපනයට කරන පුළුල් ආයෝජනය පිළිබඳව තමයි අනාගතයේදි වඩාත් බලාපොරොත්තු තබන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ සියලු අංශ ශක්තිමත් කරන්න, පුළුල් කරන්න, ව්‍යාප්ත කරන්න, ප්‍රවර්ධනය කරන්න රජයක් විදියට අපි සැමවිටම ක්‍රියා කරනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විනිශ්චයකරුවන්, පුහුණුකරුවන්, උපදේශකවරුන්, ක්‍රීඩා නිලධාරීන් සෑම කෙනෙකුටමත් අනිකුත් සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත් තිස් වන මහවැලි ක්‍රීඩා උළෙල සාර්ථක කර ගන්න ඔබ සෑම කෙනෙක්ම ලබාදෙන දායකත්වය පිළිබඳව මා විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.

මේ ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩක ක්‍රිඩිකාවන් සඳහා මහවැලියේ ඉඩම් ලබාදෙන්න අපි තීරණය කළා. ඒ වගේම දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරෙන පාසල්වලට අවශ්‍ය සියලුම ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒවගේම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂකම් දක්වන පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමටත් අපි තීරණය කරලා තිබෙනවා.

ආසියානු දැල් පන්දු ක්‍රීඩා තරගාවලියේ දී අපේ රටට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර දුන් දැල්පන්දු ක්‍රීඩිකාවන් අපේ රටට, ජාතියට ලාංකිකයන්ට විශිෂ්ට ගෞරවයක් ලබා දුන්නා. අපේ ආරාධනය පරිදි ඒ ක්‍රීඩිකාවන් මේ ස්ථානයට පැමිණීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අපේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා අනුග්‍රහය ලබාදෙන්න ඩයලොග් ආයතනය එකඟතාවය පළ කර තිබෙනවා.

රජයක් ලෙස ඉදිරියටත් අපේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කරන බව ප්‍රකාශ කරමින් ඔබ සියලුදෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

අමාත්‍ය මහින්ද අමරවීර, තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මීට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...