හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහජන මතයට ගරුකළ ජනහිතකාමී නායකයෙක් | දිනමිණ

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහජන මතයට ගරුකළ ජනහිතකාමී නායකයෙක්

උදුලා පීරිස්
ජේ.ආර් ජයවර්ධන ජන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය කේ.ඩී. පරණවිතාන

රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා ගේ ලේඛන එකතුවෙහිද වැදගත්කමක් ඇති දිනපොත් සටහන් ලියුම් කියුම් සහ ප්‍රකාශයට පත් නොවු ලේඛනද සුරක්ෂිතව ඇත. ඒවා සංරක්ෂණය කොට ප්‍රකාශයට පත්කිරීම මේ ආයතනයේ විෂය පථයට ඇතුළත්ය. තම පුස්තකාලය සහ එහි පොත පත පිළිබඳ ඔහුට තිබුණේ පැහැදිලි මතකයකි. තම පුස්තකාලය ජනාධිපති ලේඛනාගාරයට පැවරීමෙන් පසුව වුවද අවශ්‍ය වු විට අදාළ පොත් පත් ඉන් ගෙන්වා ගෙන පරිශීලනය කළ අවස්ථා බොහෝය.

හිටපු ජනාධිපතිවරයකුවු ජේ.ආර්. ජයවර්ධන මහතා අඩසිය වසරක දේශපාලන ඉතිහාසයේදී මහජන මතයට ගරුකළ ජනහිතකාමී ජනනායකයෙක් බව මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ පෙරේදා (17) ජේ.ආර්.කේන්ද්‍රයේ පැවැති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ 112 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මුණුබුරෙකුවූ අම්රිත් ජයවර්ධන මහතා විසින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට මල් දමක් ඵලදවනු ලබනු අතර ජේ.ආර් ජයවර්ධන මහතාගේ චරිතාපදානය පිළිබඳ චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කෙරිණි.

මහාචාර්ය කේ.ඩී.පරණවිතාන මහතා මෙසේද කීය.

හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ ස්ථාපනය කරන ලද ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරය භාර ලේඛනාරක්ෂකවරයා වශයෙන් දශකයක් පමණ කාලයක් කටයුතු කිරීමේදී එතුමාගේ දේශපාලන ක්‍රියාවලියට අමතරව එතුමා විසින් ජේ.ආර්. කේන්ද්‍රය පිහිටුවීම අගය කරමි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවිධ අංශවලින් විග්‍රහ කර බැලිය හැකි මුලාශ්‍ර ඔහු අපවෙත ලබාදී ඇත්තේ විනිවිද භාවයකිනි.

ප්‍රථම වතාවට 1977 දෙසැම්බර් 12 වැනිදා කොළඹ 07 රීඩ් මාවතේ පිලිප් ගුණවර්ධන මහතාගේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදීය. මම එවකට එහි ලේඛනාරක්ෂකවරයකු වශයෙන් සේවය කළෙමි. එවක එතුමා රටේ අග්‍රාමාත්‍යවරයාව සිට එතුමාගේ වෝඩ් පෙදෙසේ තිබූ පෙෘද්ගලික පුස්තකාලයේ ලේඛනවලින් කෙටසක් පොදු යහපත සඳහා ජාතික ලේඛනාගාරයට පැවරීමට ගෙන තිබූ තීරණය පිළිබඳව එවකට සිටි ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂතුමා සමඟ සාකච්ජා කිරීමටය. නමුත් එය ක්‍රියාත්මක වුයේ 1978 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුවය. විධායක ජනාධිපතිධුරය දැරූ සම්පූර්ණ කාලයෙන් පළමු වසර හැර ඉතිරි දස වසරක කාලයක් ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරය භාර ලේඛනාරක්ෂකවරයා වශයෙන් කටයුතු කිරීමේදී මා ලද අත්දැකීම් ඇසුරෙන් එතුමා ශාස්ත්‍රයට ලැදි විචාර බුද්ධියෙන් යුතු චරිතයක් ලෙස හඳුනාගැනීමට හැකිවිය.

ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරයෙන් ආරම්භවී වර්තමාන ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය දක්වා වැඩි දියුණුවී පසුගිය වසර තිස්හතට ආසන්න කාලයක් තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරය ව්‍යවස්ථාපිත කිරීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වර්ගයේ ආයතන හයක පමණ පැවැත්ම පිළිබඳ අධ්‍යයනය කිරීමට අපට සිදුවිය. ඒ මෙරටට ඔබින ආකාරයේ ආයතනික ව්‍යුයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූර්වාදර්ශ ලබා ගැනීමටය. එම නිරීක්ෂණ අනුව මේ ආයතනයට දෙයාකාරයකින් ප්‍රභවය ලත් ලේඛන ඇතුළත් කළ හැකි බව පැහැදිලි විය. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්ය භාරය ඉටු කිරීමේදී බිහිවුණු නිෂේධනයකින් තොරව ප්‍රසිද්ධ ලේඛන බවටත් ස්ථාවර රාජ්‍ය දේපළ බවට පත්වූ සියලු ලිපි ලේඛන පලමු ඝනයටත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේඛන හා පොත්පත් දෙවෙනි ඝනයටත් ඇතුළත්විය. ඒවා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ආරක්ෂා කර තැබීම සඳහා මේ ජේ.ආර්.කේන්ද්‍රය බිහිකරන ලදි.

ආරම්භක අවස්ථාවේදී එතුමා විසින් තමා සතුව පැවති පොත්පත් හා ලේඛන කොටස් වශයෙන් තෝරා ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරයට භාරදෙනු ලැබිණ. රාජ්‍ය නායකයා වශයෙන් එතුමාට විවිධ රාජ්‍යවලින් ද ආයතන වලින්ද පුද්ගලයන්ගෙන්ද ත්‍යාග වශයෙන් ලැබුණු දේවල්ද එක්කෙරුණු නිසා මේ ආයතනය කෞතුකාගාරයක ස්වරූපයක්ද ඉසිලුවේය. මෙසේ 1978 වන විට එතුමා සතුව තිබු ලේඛන විශාල සංඛ්‍යාවක්ද ඡායාරූප පොත්පත්,හඬ පටි ,තෑගි භාණ්ඩ හා රජයේ ප්‍රකාශන ආදියද එක්වීම නිසා මේ ආයතනයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. මේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ සංශෝධිත පනතක්වන 1981 අංක 30 දරන ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාර පනත යටතේ පිහිටුවන ලදි. මේ ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරය ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථාන පනත ශ්‍රි ලංකා පාාර්ලිමේන්තුවේ සම්මතවී ව්‍යවස්ථාගත කොට පොදු ජන සමාජයේ භාවිතය සඳහා විවෘතවන පරිදි රාජ්‍ය අනුග්‍රහය ලබන ස්වාධීන ආයතනයක් බවට පත්වූයේ 1993දිය. එම ආයතනය ස්වකීය පරම්පරාවට අයත් කොළඹ ධර්මපාල මාවතේ ආක 191 දරන වෛජයන්ත මන්දිරය සුදුසු බව එතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලදි.වසර හතළිහක පමණ කාල පර්ච්ජේදයක් තුළ දැනුම් ගවේෂණය සඳහා මෙහි පැමිණෙන සාමාන්‍ය පොදු පාඨක ජන සමාජයට මහගු සේවාවක් ඉටුකරන මේ ජවවර්ධන කේන්ද්‍රය ජේ.ආර්. ජයවර්ධන නම් ජනහිතකාමී ශාස්තෲවරයාගේ තීක්ෂණවූත් දූරදර්ශී වූත් දැක්ම සටහන් කෙරෙන ස්වර්ණමය මුද්‍රිකාවකි.

ඉතිහාසය ලේඛනගත කිරීම පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ ජයවර්ධන ජනාධිපතිතුමා සිය ලේඛන සමුච්චය ඇසුරු කරගෙන තමා පිළිබඳ චරිතාපදානයක් සකස් කිරීමෙන් දිවයිනේ දේශපාලන ඉතිහාසය ගැන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට අනුබල දීම ප්‍රබල කරුණක් ලෙස මම දකිමි.

ජේ.ආර්.ජයවර්ධන චරිතාපදානය සම්පාදනය කරන ලද්දේ පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කේ.එම්.ද සිල්වා මහතාත් ඇමරිකාවේ නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොවාඩ් රිගින්ස් යන මහත්වරුන් තෝරා ගත්තේය. ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතිව බොහේ විද්වතුන් ජනාධිපති ලේඛන සුරක්ෂිතාගාරයේ පර්යේෂණ කටයුතුවල නිරත වුවද මේ මහාචාර්යවරු දෙදෙනා ජේ.ආර්.ජයවර්ධන චරිතාපදානය ඵලදායි වෙළුම් දෙකකින් සම්පාදනය කර ඇත. ඒ සඳහා ලේඛනාරක්ෂකවරයකු වු ආචාර්ය සරත් වික්‍රමනායක මහතාගේ සහභාගිත්වය නොමදව ලැබිණි. අපි දෙදෙනා සපයන ලද තොරතුරු පිළිබඳව ජේ.ආර්. චරිතාපදානයේ පළමු කොටසේ ආරම්භයේ ඒ කතුවරුන් විසින් අප අගයා ඇත.

සමකාලීන ඉතිහාසය හදාරන්නට මෙබදු මූලාශ්‍රයක් සකස්කර තැබීම තුළින් එතුමාගේ අදහස් ක්‍රියාත්මක කරවීම මඟින් එතුමාගේ ශාස්තෘවන්ත භාවය ප්‍රකට වේ. ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය සකස් කිරීමේදී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මේ මහාචාර්යවරුන් දෙදෙනා විසින් සම්පාදනය කරන ලද ජේ.ආර්. ජයවර්ධන ඔෆ් ශ්‍රී ලංකා,VOL'I AND II ඉතා ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි. දැනට මේ වෙළුම් දෙකම සිංහලට පරිවර්තනය කර ඇත.

මින් නොනැවතුනු ඔහු දහනවන සියවසේ මුල් භාගයේ සිිට ලාංකේය ඉතිහාසය හා බැදී පවත්නා වු තමන්ගේ මුතුන් මිත්තන් සහ ඔවුන්ගේ දේපළ පිළිබඳව රාජ්‍ය ලේඛන ඇසුරෙන් පර්යේෂණ කර අප තොරතුරු රැස් කිරිමට අප උනන්දු කරවූවා පමණක් නොව ඒවා තමා වෙත ගෙන්වාගෙන පෞද්ගලිකව ම කියවා බැලීමට උනන්දු වුයේය. ඒ අනුව පිළියෙළවු පළමු කෘතිය the life and career of Don Adrian Wijesinghe Jayewardene නම් වූ වෙළුම් දෙකකින් යුත් ලේඛන එකතුව බව මෙහිදි විශේෂයෙන් කිව යුතුය.

රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා ගේ ලේඛන එකතුවෙහිද වැදගත්කමක් ඇති දිනපොත් සටහන් ලියුම් කියුම් සහ ප්‍රකාශයට පත් නොවු ලේඛනද සුරක්ෂිතව ඇත. ඒවා සංරක්ෂණය කොට ප්‍රකාශයට පත්කිරීම මේ ආයතනයේ විෂය පථයට ඇතුළත්ය

තම පුස්තකාලය සහ එහි පොත පත පිළිබඳව ඔහුට තිබුණේ පැහැදිලි මතකයකි. තම පුස්තකාලය ජනාධිපති ලේඛනාගාරයට පැවරීමෙන් පසුව වුවද අවශ්‍ය වු විට අදාළ පොත් පත් ඉන් ගෙන්වා ගෙන පරිශීලනය කළ අවස්ථා බොහෝය. පරාජයකදී එතුමාගේ කල්‍යාණ මිත්‍රයා ලෙස ආශ්‍රය කළේ ස්වකිය පුස්තකාලයයි. 1956 සිට 1959 දක්වා යුගයේදී දැඩි අවනතියකට ලක්විය එයින් ගොඩ ඒමට සිය බුද්ධිය මෙහෙයවා කටයුතු කළේය. 1970 විපක්ෂ නායකයා විය. එය පක්ෂයේ රාජ්‍ය නායකත්වයේ ද දිනුම් කණුව කරා සමගාමිව ගිය ගමනක ආරම්භය විය. 1972 දී පක්ෂයෙන් ඉවත් කිරීමට තරම් සාහසික උත්සාහයක් පැවතිණ. එසේ වුවද 1973 අප්ප්‍රේල් මාසයේ දී ඔහුට පක්ෂයේ නායකත්වය හිමිවිය. 1977 ජූලි මස එතුමා ජයග්‍රහණය කරා ළඟාවන විට සැත්තෑ එක්විය සපුරා සිටියේය.

ජයග්‍රහණය කරා ළඟාවන විට එතුමා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධම අගමැතිවරයා විය බුද්ධිමතකු වශයෙන් එතුමා කොතරම් ඉවසීම ප්‍රගුණකර තිබු නායකයෙක්ද විය. බුදු දහම පිළිබඳව ඔහුගේ ප්‍රායෝගික අධ්‍යයන ඇරැඹුණේ ඔහු පාසල් යන සමයේදීය එතුමා සිය මෑණියන් සහ මිත්තනියන් සමඟ කැලණි විහාරයට ගිය ගමන් ගැන දිනපොත්වල පවා සටහන් තැබිය. පසුව බුද්ධාගමේ විවිධ අංශ අළලා පුවත්පත්වලට ලිපි සැපයුවේය. 1942දී Essayon Buddhism නම් කෘතිය ප්‍රකාශයට පත්කළේය. එම කෘතිය තුළින් අපි දකින්නේ එතුමා දේශපාලනඥයකු නොව ප්‍රඥාවන්ත බෞද්ධ විද්වතෙක් ලෙසයි.බෞද්ධාගමික විෂය ක්ෂේත්‍රය තුළ එතුමා ඒවන විට රැස්කර ගෙන තිබූ බෞද්ධාගමික විෂය ක්ෂේත්‍රය තුළ ඒවන විට රැස්කර ගෙන තිබූ දැනුම් සම්භාරය ඒ තුළින් ප්‍රකට වේ. ඉංග්‍රිසි සරල බසින් ලියවී ඇති ඒ පොතෙන් බුද්ධිමත් දේශපාලනඥයෙකුට තම කාර්ය සාඵල්‍යය සඳහා බුදුදහම උපකාරීවන ආකාරය මෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව පැහැදිලිව සාකච්ජා කර ඇත. සියලු දානයකන්ට වඩා ධර්ම දානය උතුම්ය යන්න ලොව හඩනගා කීමට වෙනත් කිසිම රටකට වඩා ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බව එතුමා 1938 සරවා 02 දා සිලෝන් ඔබ්සර්වර් පත්‍රයට ලිපියක් සපයමින් ප්‍රකාශකර සිටියේය. එතුමා ගේ බුද්ධ ධර්මාධ්‍යයනය තව දුරටත් ඉදිරියට ගෙන යමසින් 1950දී Buddhism and Marxism නම් කෘතිය ප්‍රකාශයට පත්කළේය.

විපක්ෂ නායක ආර් .සම්බන්ධන් මහතා - ජේ.ආර්. ජයවර්ධන කියන්නේ මේ රටේ හිටපු බුද්ධිමත් නායකයෙක්. එතුමා මේ රටේ දියුණුවට විශාල සේවයක් කර තියෙනවා. ඒ කාලයේ රටේ සාමයක් තිබුණානම් එතුමාට රටට තවත් සුවිශාල සේවයක් කරන්න හැකියාව තිබුණා.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල,පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක,හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක , ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඥාතීන් ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න