සිංහල සාහිත්‍යයේ බෞද්ධ අනන්‍යතාව රැකගැනීමට ‍දරුවන්ට ආදර්ශයක් ලබා දිය යුතුයි | දිනමිණ

සිංහල සාහිත්‍යයේ බෞද්ධ අනන්‍යතාව රැකගැනීමට ‍දරුවන්ට ආදර්ශයක් ලබා දිය යුතුයි

අපේ සාහිත්‍ය ගොඩනැගී තිබෙන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙනයි. එනිසා ඒ අනන්‍යතාව ඇතිව අපේ දරුවන්ට ආදර්ශයක් ලබාදෙන්නට වැඩිහිටියන් ලෙස රජයේ නිලධාරීන්ගේ වගකීමක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කැස්බෑව නගර සභා රංග ශාලාවේදී ඉකුත් 14 වන දින පැවැති කැස්බෑව ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

“නිවුණු, හැදුණු, පිරුණු, සොඳුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කෙරෙන සාහිත්‍ය හා කලාව” මැයෙන් මෙම සාහිත්‍ය කලා මහෝත්සවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බල මණ්ඩලය හා ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.

මෙම සාහිත්‍ය කලා මහෝත්සවයේදී කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසු දරු දැරියන්ගේ හා අංකුර කලාකරුවන්ගේ කලා කුසලතා ඔපනැංවීමේ අරමුණින් පවත්වන ලද සාහිත්‍ය තරඟවල ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් හා සාහිත්‍ය අබිසෙස් සම්මාන ප්‍රදානය ඇතුළු කලා ක්ෂේත්‍රයට සේවය කළ මෙතෙක් සම්මානයට පාත්‍ර නොවූ කලාකරුවන් හයදෙනකුට ද උපහාර සම්මාන පිරිනැමූහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

අද දින කැස්බෑව සාහිත්‍ය උත්සවයට මට ආරාධනා කිරීම ගැන මගේ ස්තුතිය ප්‍රථමයෙන් සංවිධායක මණ්ඩලයට පුදකර සිටිනවා.

අපේ රටේ අනාදිමත් කාලයක් පැවැති අපේ අනන්‍යතාවය සහිත සංස්කෘතික මංගල්‍යය රට පුරාම ඉතාම සංවිධානාත්මකව හා උත්කර්ෂවත් ලෙස මේ මාසය තුළ පවත්වනු ලබනවා. ඒ පිළිබඳව අපි ඉ‍තාම සතුටට පත්වෙනවා.

මේ සාහිත්‍ය මාසය අපට ඉතාම වැදගත් මාසයක්. අපේ සාහිත්‍ය ගොඩනැගී තිබෙන්නේ අපේ සංස්කෘතිය පදනම් කරගෙනයි. ඒ අනන්‍යතාවය ඇතිව අපේ දරුවන්ට ආදර්ශයක් ලබාදෙන්නට වැඩිහිටියන් ලෙස රජයේ නිලධාරීන්ගේ වගකීමක්. එනිසා මෙවැනි උත්සවයක් පැවැත්වීම ඉතාම වටිනා ක්‍රියාවක්.

අද දින පවත්වනු ලබන මේ කලා උළෙල ඉතාම සාර්ථක උත්සවයක් බවට පත්වේවා යයි මම ප්‍රාර්ථනා කරනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා,

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍ර‍ාදේශීය මට්ටමින් පවත්වනු ලබන කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම සාහිත්‍ය කලා උත්සවය මම ඉතාම අගය කරනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් තිබෙනවා. ඉන් 275ක් පමණ වර්ෂයකට වරක් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පසුබිම් කරගෙන සාහිත්‍ය කලා මහෝත්සව පවත්වනු ලබනවා.

අපේ රටේ සාහිත්‍ය කලාව පිළිබඳව සම්පූර්ණ විෂය භාරව කටයුතු කරනු ලබන්නේ අපේ සංස්කෘතික කටයුතු භාර ඇමැතිතුමායි. එතුමාගේ අමාත්‍යාංශය යටතේ පවතින සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ කලා කටයුතු පිළිබඳව රජයේ නිල කාර්යය ඉටුකරනු ලබනවා. නමුත් ඊට නොදෙවෙනි කාර්යභාරයක් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය මගින් දිවයින පුරා ඉතා උසස් අයුරින් සිදු කරනු ලබනවා.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් වයි. කේ. එස්. ජීවමාලා මහත්මිය,

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව අද අප මේ පවත්වනු ලබන්නේ කැස්බෑව පුරවරයේ සාහිත්‍ය උත්සවයයි.

ශ්‍රී ලාංකික කලා කෙත නංවන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් කලාකාරිණියන් රාශියක් මේ පුරවරයෙහි ජීවත් වෙනවා. එනිසා සාහිත්‍ය පිළිබඳව කතාබහ කරද්දී කැස්බෑව පුරවරය විශිෂ්ටයි. මේ කැස්බෑව කලා පුරය තවදුරටත් කලා පුරයක් ලෙස රැකෙන්නට නම් තව තවත් කලාකරුවන් කලාකාරිණියන් මෙහි බිහිවන්නට ඕනෑ.

අද දින අප මේ සාහිත්‍ය කලා මහෝත්සවය පවත්වනු ලබන්නේ අරමුණු කිහිපයක් මූලික කරගෙනයි. කලාකරුවා ඇගැයීම රජයේ නිලධාරින් වන අපගේ යුතුකමක්. මේ ඇගැයීම තුළින් මතු දරු පරපුරට ආදර්ශයක් ලබාදීමට අප උත්සාහ කරනවා.

කැස්බෑව එජාප සංවිධායක කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක, කැස්බෑව නගර සභාවේ සභාපති දේශබන්දු ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ජන ගී ක්ෂේත්‍රය වෙනුවෙන් කළ 60 වසරක දීර්ඝ කාලීන දායකත්වය උදෙසා පිදෙන උසස්තම සාහිත අබිසෙස් උපහාර සම්මානය කලාභූෂණ පියදාස වීරසිංහ කලාකරුවාණන්ට මෙහිදී ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් පිළිගැන්වීය. ඊට අමතරව කලා ක්ෂේත්‍රයට අමිල සේවාවක් ඉටුකළ ප්‍රාදේශීය සාහිත්‍ය සම්මානයට පාත්‍ර නොවූ කලාකරුවන් හයදෙනකුට සාහිත්‍ය කලා හරසර සම්මාන පිරිනැමූ අතර පියදාස රත්නසිංහ (ජනමාධ්‍ය හා ලේඛන කලාව), ලලිත් පොන්නම්පෙරුම (සංගීතය ක්ෂේත්‍රය), තිලකා රාමනායක (නර්තන ක්ෂේත්‍රය), වසන්ත රත්නායක (චිත්‍ර - මූර්ති කලාව), ලක්ෂිකා පොන්සේකා (රංගන ක්ෂේත්‍රය), අශේක් මංජුල (රංගන ක්ෂේත්‍රය) කලාකරුවන් හා කලාකාරිණියන් මෙහිදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර යන මහත්වරුන් අතින් සිය සම්මානය හිමිකරගත්හ.

සාහිත්‍ය තරග ජයග්‍රාහකයින් වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම සෙසු ආරාධිත ප්‍රභූන් අතින් සිදු කෙරිණි.

තුෂාර, පංචාලි, ලක්මාලි, ශ්‍රීපති, සුලක්ෂා, විහඟ යන කලායතනවල සිසු දරු දැරියන් හා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නර්තන කණ්ඩායම නැටුම් ගැයුම්වලින් මෙම උළෙල වර්ණවත් කළහ.

මහා සංඝරත්නය ඇතුළු රාජ්‍ය නිලධාරින් කැස්බෑව සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරින්, ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානවල නිලධාරින් සිසු දරු දැරියන් දෙමාපියන් අතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

කැස්බෑව සංචාරක - ධර්මසිරි සුරවීර, බොරලැස්ගමුව සමූහ - එස්. කහටපිටිය

නව අදහස දක්වන්න