ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 8000ක් | දිනමිණ

ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 8000ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ඊයේ (18) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ඊයේ (18) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක යි. අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත ව්‍යවාසයකත්ව හැකියාව බල ගැන්වීමේ සඳහා ණය යෝජනා ක්‍රම රැසක් ඒ යටතේ ක්‍රියාත්මක අතර සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන ඉන් ප්‍රධාන එකකි. මේ යටතේ වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන සහන ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යවසායකයන් වෙත රුපියල් මිලියන 7.5 දක්වා වූ ණය මුදලක් 8%ක සහන පොලී අනුපාත යටතේ ණය ලබා දෙනු ලබයි. සූර්ය බලශක්තිය උත්පාදනය මඟින් 2020 වසර වන විට මෙගාවොට් (MW) 200 ක හා 2025 වසර වන විට මෙගාවොට් (MW) 1000 ක විදුලිය ජනනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යපෘතිය මඟින් මෙගාවොට් (MW) 50 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන හරහා පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා සුර්ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී ඇති සූර්ය පැනල් සපයන ආයතන වෙතින් සූර්ය පැනල මිලදී ගැනීමට අවශ්‍ය ණය ලබා දෙනු ලැබේ.

නව අදහස දක්වන්න