හිටපු ඇමැතිගේ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන ගියේ නීතිඥවරියක්! | දිනමිණ

හිටපු ඇමැතිගේ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන ගියේ නීතිඥවරියක්!

කුමුදු හෙට්ටිආරච්චි

ත්‍රිපුද්ගල ඝාතන චෝදනාවකට වරදකරු කර මරණීය දණ්ඩනය නියමව සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු ඇමැති හසිත මුහන්දිරම් නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී තුන් වසරකට අධික කාලයක සිට ඔහු වෙනුවෙන් ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ නීතිඥවරියක් හා ඇගේ සොහොයුරියක විසින් බවට රහස් පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත දැනුම් දුන්නේය.

විත්තිකරුගේ අනුදැනුම හා උපදෙස් මත එලෙස ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කිරීම සිදුකර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා “නීතියේ අසාධාරණ වැඩට යදම් බිඳ එන්න’ වැනි වැකි ඵල කිරීම මෙන්ම අධිකරණයේ නියෝග මත විමර්ශනයක් සිදු කරමින් සිටිනවිටදී පවා බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරු අධිකරණයෙන් රැගෙන යන අයුරු පවා එම ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර ඇතැයි ද පෙන්වා දුන්නේය. අදාළ නීතිඥවරිය හා සහෝදරිය විත්තියේ ෆේස්බුක් ගිණුම එසේ යාවත්කාලීන කර ඇත්තේ ඇගේ අධ්‍යාපන කටයුතුවලට ලබාදී ඇති උදව් උපකාරවලට කළගුණ සැලකීමක් ලෙස බවත් නඩු කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට නොව එය මානුෂික වශයෙන් කළ ක්‍රියාවක් බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ පැවසීය. අධිකරණයේ ක්‍රියාදාමයන් හා රටේ පවතින නීතිය සුරකින බවට දිවුරුම් ලබාදුන් නීතිඥවරියක් මරණ දඬුවම් නියම වූ විත්තිකරුගේ ‍ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කිරීම වරදක් ලෙස නොදන්නේ දැයි මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියාය. විත්තිකරුට එරෙහිව මිනීමැරුම් චෝදනාවක් යටතේ තවත් නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින විට ඒ සම්බන්ධව මුහුණපොත ඔස්සේ විවිධ මත ඵල කිරීම නඩුවට අයුතු ලෙස මැදිහත්වීමක් ලෙස විත්තිය පිළිගන්නේ දැයි විනිසුරුතුමිය විත්තියේ නීතිඥවරයාගෙන් වැඩිදුරටත් විමසා සිටියාය. එක් ෆේස්බුක් ගිණුමට ප්‍රවේශවීමට අදාළ වාර්තාවක් අමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ පිහිටි ෆේස්බුක් සමාගමෙන් ලබාගැනීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට විනිසුරුතුමිය විසින් අවසර ලබාදෙන ලදී. නඩුව යළි කැඳවීම මෙම මස 28 වැනිදාට කල් තැබුණි.

නව අදහස දක්වන්න