රණවිරු දඩයම? | දිනමිණ

රණවිරු දඩයම?

වසන්ත ප්‍රිය රාමනායක

පසුගිය දිනවල ආරක්ෂක අංශවල නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනාවලදී අදාළ බලධාරී අංශ කටයුතු කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයා සෘජු පැහැදිලි කිරීමක යෙදුණි. මෙහිදී රහස් පොලීසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන ද සඳහන් කිරීමට ජනාධිපතිවරයා පසුබට නොවීය. ආරක්ෂක අංශ ප්‍රධානීන් හා සාමාජිකයන් සැකපිට අත්අඩංගුවට ගෙන දිගින් දිගටම රඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන එතුමා තම නොසතුට පළකිරීමට පසුබට නොවීය.

අපේ ආරක්ෂක හමුදාව විනයගරුක හමුදාවක් ලෙසින් ලොව පුරා පිළිගැනීමකට ලක්ව ඇත. ඊට ඇති හොඳම ජාත්‍යන්තර සහතිකය එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට මෙරට හමුදා එක්කර ගැනීමය. ලෝකයේ සෑම රටකම හමුදාවන්ට එම පිළිගැනීම නොලැබේ.

මේ වනවිට අවස්ථා කීපයකදීම අපේ හමුදාවේ අනුඛණ්ඩ එක්සත් ජාතීන් වෙනුවෙන් වෙනත් රටවල සාමසාධක කටයුතුවල නිරතව ඇත. එය එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් පරාජය කරමින් උතුරේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව ද සිදුවිය. මෙය දෙමළ ඩයස්පෝරාව හා දැනට විදේශ රටවල මතවාදීව කටයුතු කරන එල්ටීටීඊයේ කොටස් මොනවා පැවසුව ද අපට ලැබුණු යහපත් මෙන්ම සුවිශේෂී නිල පිළිගැනීමකි; ජයග්‍රහණයකි.

කොතරම් විනයගරුක හමුදාවක් වුවද පසුගිය සමයේ ඔවුනට ලෝකයේ අතිබිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය සමඟ යුද වැදීමට සිදුවිය. ඊට එක් හේතුවක් වූයේ ඔවුන් සමඟ දේශපාලන වශයෙන් යම් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමයි. එය ද එල්ටීටීඊයේ අන්තවාදී, බෙදුම්වාදී ස්ථාවරය නිසාම සිදුවූවකි. ඔවුහු වෙනම රටක් හැරෙන්නට ඉන් මෙහා විසඳුමකට එකඟ නොවූහ.

රට රකින ආරක්ෂක හමුදාවක වගකීම රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම හා ඊට එරෙහි වන බෙදුම්වාදීන් සමඟ යුද වැදීමය. ඒ අනුව එල්ටීටීඊ බෙදුම්වාදීන්ට එරෙහිව යුද වැද රටේ ඒකීයභාවය රැකගැනීමට අපේ ආරක්ෂක හමුදාවන්ට සිදුවිය. 1983 සිට 2009 මැයි 18 වැනිදා දක්වා ඇදී ගියේ එම සටනයි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බොහෝ විචාරකයන් සඳහන් කළේ මෙවන් බෙදුම්වාදී අරගලයක් යුද්ධයකින් පමණක් සම්පූර්ණයෙන්ම අවසන් කළ නොහැකි බවයි.

පලස්තීන ගරිල්ලන්, කොලොම්බියා ගරිල්ලන්, නාගලන්ත ගරිල්ලන් ආදී සංවිධාන වුවද කාලාන්තරයක් යුද වැදීමෙන් පසු එම රටවල ආණ්ඩු සමඟ සාම සාකච්ඡා පවත්වා පැවැති යුද්ධ අවසන් කර ඇති නමුත්, අපේ රටේ ක්‍රියාත්මක වූ එල්ටීටීඊ වැනි සංවිධානයක් ඊට එකඟ නොවීය. සටන් විරාම හා සාම සාකච්ඡා පැවැති හැම අවස්ථාවකම ඔවුහු යුද්ධයම ඉල්ලා සිටියහ. අවසානයේ පිළිතුරු දියයුතු භාෂාව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා තේරුම් ගත්හ. මේ ගමනේ දී අපට සම්පූර්ණ ජයග්‍රහණයක් නැතැයි කී යුද හා දේශපාලන විශේෂඥයන් මවිත කරමින් අපේ රටේ ආරක්ෂක හමුදා බෙදුම්වාදී යුද්ධයෙන් ජය ලැබූහ.

මේ පිළිබඳ මියගිය, ආබාධිත වූ, විශ්‍රාම ගිය, මෙන්ම යුද්ධයට සම්බන්ධව තවමත් හමුදාවල සේවයේ නිරත ආරක්ෂක හමුදාවන් කෙරෙහි ගෞරව ප්‍රණාමයක් පොදුවේ මේ රටේ පුරවැසියන්ගේ හදවත් තුළ පවතී. එය ලෙහෙසියෙන් මැකී යන්නේ නැත;මකා දැමීමට ද නොහැකිය.

රාජ්‍ය නොවන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධානවල සමහර ඇත්තෝ මේ සම්බන්ධයෙන් මොන විග්‍රහයන් ඉදිරිපත් කළත් රටේ ජනතාවගේ පොදු පිළිගැනීම ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ගරු කටයුතු තැනක පවතී. අද අප පාරේ බැහැලා යන්නේ ඔවුන් නිසාය. තවමත් වසර 30ක් තිස්සේ ඇසුණු බෝම්බ හා වෙඩි හඬ නතර වූයේ ඔවුන් නිසාය යන්න ලෙහෙසියෙන් මේ රටේ ජනතාවගේ හදවත් තුළින් මැකී යන්නේ නැත.

එසේම යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැ‍ඟෙනහිර යළි ගොඩනැගීමට හා ජනජීවිතය යථාවත් කිරීමට ආරක්ෂක හමුදා කැපවීමෙන් දුන් සහාය මඟින් ඔවුන් තුළ දෙමළ ජනතාව සම්බන්ධයෙන් වෛරයක් නොමැති බවත්, සිදු කළ මෙහෙයුම මානුෂික මෙහෙයුමක් බවත් තහවුරු විය. නිවාස තනාදෙමින්, පාරවල් ඉදිකරමින්, වැව් ප්‍රතිසංස්කරණය කරමින්, පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරදෙමින් අදත් එම සහාය උතුරු නැගෙනහිර ප්‍රදේශවලට හමුදාව ලබා දෙන බව පෙනේ.

එදා මානුෂික මෙහෙයුම අද ජනජීවිතය ගොඩනඟන සංවර්ධන මෙහෙයුමක් බවට පත්ව ඇත. එම මානුෂික මෙහෙයුමේ දී ලක්ෂ 3කට අධික ජනතාවක් එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදා ගනු ලැබීය. එසේම යුද්ධය අවසානයේ වන හමුදා අත්අඩංගුවට පත්වූ 13000 පමණ එල්ටීටීඊ සැකකරුවන් පුනරුත්ථාපනය කර සමාජ ගතකර ඇත. ඒ අය අතර දරුණු ගණයේ මිනීමරු ළමා සොල්දාදුවෝ ද වූහ. ඔවුන් ළමා සොල්දාදුවන් ලෙසින් එල්ටීටීඊය ආරක්ෂක හමුදාවලට එරෙහිව සටනට යෙදවූ අයයි. මේ නිසා පුනරුත්ථාපනය ලැබූ 13000ට අගල් හෑරූ, පණිවුඩ ගෙනගිය, එල්ටීටීඊයේ කාර්යාල භාරව කටයුතු කළ සිවිල් වැඩ කළ අයම නොවේ.

මෙවන් සංකීර්ණ ක්‍රියාදාමයක යුද සමයේ හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී අතරිත් පතර වැරදි කරන කීප දෙනකු ද හමුදාවක සිටිය හැකිය. සාමාන්‍යයෙන් වෙනත් රටවල සිදුවන්නේ ඒ අය හමුදා අධිකරණ වෙත යොමු කිරීමය. අපේ රටේ එවැන්නකට පිළිගැනීමක් නොමැති විය.

අප කල්පනා කර බැලිය යුත්තේ සමස්ත චිත්‍රය දෙසය. තවමත් එල්ටීටීඊය බෙදුම්වාදය අත්හැර නැත. ඔවුන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ද කර නැත. මේ නිසා එල්ටීටීඊය තවමත් ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව ඇතුළු රටවල තහනම් සංවිධානයක් බවට පත්ව ඇත. එදා එල්ටීටීඊය තහනම් කළ කිසිදු රටක් තවමත් එම තහනම ලිහිල් කර නැත.

ධවල පත්‍රිකාව

යුද සමයේ සිදු වූ අත්වැරැද්දකින් යමක් සිදුවුණි නම් ඒ සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාකරන පිළිවෙතක් තිබේ. ඒ සඳහා ධවල පත්‍රිකාවක් මඟින් පොදු හෙළිදරව්වකින් සාකච්ඡා කර ගැටලුවලට විසඳුම් සෙවීමය. එහෙත් පසුගිය පාලනය මඟින් යුද්ධය අවසන් වූ පසු ද. අප්‍රිකාවේ මෙන් එවන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැත. එහි අඩුපාඩුවක් තිබෙන බව පෙනේ. යුද ජයග්‍රහණයෙන් ඇස් නිලංකාර කරගත් සමහර දේශපාලන කණ්ඩායම් කටයුතු කළේ ව්‍යාජ රණවිරු ප්‍රේමයකින් දැවැන්ත දේශපාලන වාසියක් ලබාගැනීමටය. මේ නිසාම සාමය ගැන කතා කළ දේශපාලන කණ්ඩායම් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමට ද ඒ අය පෙලඹුණි.

වත්මන් රජය බලයට එන්නේ මෙවන් පසුබිමකය. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරම්භයේ සිටම මැද තැනක සිට කටයුතු කිරීමට සිදුවිය. ජාත්‍යන්තරය ජයගැනීම, අපට වැටෙමින් තිබූ සම්බාධක ඉවත්කර ගැනීම, එසේම මානව හිමිකම් කොමිසමට රටක් විදිහට පිළිතුරු දීම ආදී කාරණා මෙහිදී වැදගත් ලෙසින් සැලකුණි. මේ වනවිට එතුමාගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ ඉතා සාර්ථකව එම කාර්යයන් ඉටුවී තිබෙන බව පිළිගත යුතුය. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සිටින්නේ පැහැදීමකිනි. එසේම රණවිරුවන් කිසි ලෙසකින් ජාත්‍යන්තර අධිකරණ වෙත යොමු කිරීමට ද එතුමා සූදානම් නැත. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සෘජුය; පැහැදිලිය.

මෙවන් පසුබිමක පසුගිය දිනවල ආරක්ෂක අංශවල නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනාවලදී අදාළ බලධාරී අංශ කටයුතු කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයා සෘජු පැහැදිලි කිරීමක යෙදුණි. මෙහිදී රහස් පොලීසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන ද සඳහන් කිරීමට ජනාධිපතිවරයා පසුබට නොවීය. ආරක්ෂක අංශ ප්‍රධානීන් හා සාමාජිකයන් සැකපිට අත්අඩංගුවට ගෙන දිගින් දිගටම රඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන එතුමා තම නොසතුට පළකිරීමට පසුබට නොවීය.

කටඋත්තරයක් ගෙන චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නඩු දැමීම නොකළ යුතු බවක් මින් අදහස් නොවේ. එහෙත් කටඋත්තරයක් ගැනීමෙන් පසු නිකරුණේ මාස ගණන් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවා තබාගෙන අවසානේ ඇප මත නිදහස් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. විශේෂයෙන් මේ පිරිස අපේ රටේ බෙදුම්වාදය පරාජය කරමින් රටක් රාජ්‍යයක් දිනාදුන් රණවිරුවන් බව අප අමතක නොකළ යුතුය.

චෝදනා පත්‍ර

වරදක් සිදුකර තිබේ නම් නීතිය ඉදිරියේ කාටත් විශේෂත්වයක් නැත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රහස් පොලීසිය සමහර ප්‍රභූ පිරිස්වල කටඋත්තර සටහන් කරගෙන තිබුණේ ඔවුන්ගේ නිවෙස් වෙත හෝ ඒ අයට පහසු ස්ථානවලට යමිනි. මේ ඊයේ පෙරේදා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව සාක්ෂි දුන් අයකුගේ කටඋත්තරයක් සටහන් කරගෙන තිබුණේ අදාළ සාක්ෂිකරුගේ නිවසට ගොසිනි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සම්බන්ධයෙන් එම ක්‍රමවේදය අනුගමනය නොකරන්නේ මන්දැයි කියන්න දන්නේ නැත.

මෙසේ සිදුවන විට පිටත සිට බලන පොදු ජනයාට හැඟෙන්නේ මේ සියල්ල දේශපාලනිකව සිදුවන බවකි. නැතිනම් චෝදනාව කුමක් වුවත් රණවිරු දඩයමක් ලෙසිනි. ළමයින් 11 දෙනා පැහැරගත් අයට එරෙහිව වසර 3ක් තිස්සේ පරීක්ෂණ සිදුවන නමුත් තවමත් අදාළ සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී නැත. සමහරු මාස ගණන් සිරබාරයේ තබාගෙන චෝදනා පත්‍රයකින් තොරව ඇප පිට නිදහස් කරති. එහෙත් එක් සැකකරුවකුට රැකවල් සැපයීමේ චෝදනාවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට සැරසෙති. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හෝ ආරක්ෂක ඇමැතිවරයා ලෙසින් ජනාධිපතිවරයා දැනුවත් කර නැත. නීතිය, නිදහස කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මෙවැන්නක් ප්‍රායෝගිකව රටක සිදුවන්නේ නැත. ජනාධිපතිවරයා ප්‍රශ්න කරමින් සිටින්නේ මේවා ගැනය.

ජනාධිපති මෛත්‍රී අදාළ අංශවලට තරයේ උපදෙස් දෙන්නේ මේ සඳහා යහපත්, දේශපාලනමය හැඟීමක් ඇති නොවන පරිදි රණවිරුවන්ගේ ද ගෞරවය ආරක්ෂා වන විදිහේ ක්‍රමවේදයක් සකසන ලෙසයි. වැරදි කළ අයට දඬුවම් පැමිණවීමේ පසුබිමක් සැකසීම මෙන්ම රණවිරුවන්ගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම රටක රාජ්‍ය නායකයාගේ වගකීම බවට සමහර බලධාරීන්ට නැවත නැවත පැවසීමට ජනාධිපතිවරයාට සිදුවී තිබීම කනගාටුදායකය.

 


නව අදහස දක්වන්න