සම්මානයේ දුගී බව | දිනමිණ

සම්මානයේ දුගී බව

පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණේ 1901 වසරේදී ය. ඒ ප්‍රංශයේ Sally prudhomme ටය. රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි මියගියේ 1910 දීය. එනම් පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමෙන වසරේ ඔහු ජීවත්ව සිටි බවය. එහෙත් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා තොල්ස්තෝයිගේ නම අසලකටවත් ගෑවී තිබුණේ නැත. නොබෙල් සාහිත්‍ය සම්මානය සඳහා වන විවේචනයක් විරෝධයක් ලෙස අදත් එය පවතී. එපමණක් නොවේ, ඉබ්සන්, සෝලා, මාර්ක් ට්වේන්, ඇන්ටන් චෙකොෆ් යන කිසිවකුට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණේ නැත. ප්‍රාමාණික ලේඛකයන්ගේ ප්‍රාමාණික කෘතිවලට සම්මාන හිමිවීම (ඩේවිඩ් පින්කොත් - ග්‍රැමිටිස් රේන්බෝ) හැරුණුවිට ප්‍රාමාණික ලේඛකයන්ගේ ප්‍රාමාණික නොවන කෘති සම්මාන සඳහා තෝරාගැනීම (අර්නස්ට් හෙමින්වේගේ මහල්ලා සහ මුහුද) ප්‍රාමාණික නොවන ලේඛකයන්ගේ ප්‍රාමාණික නොවන කෘති (මාර්ග්‍රට් මිචෙල් ගෝන් විත් ද වින්ඩ්) කෘතිවලට සම්මාන හිමිවීමත් නිරන්තරයෙන් සිදුවන බවට ලොව ඇතැම් සම්මාන සඳහා එල්ලවන චෝදනාවක් තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල අජිත් තිලකසේන යනු සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සැපයූ එහෙත් සාහිත්‍ය සම්මාන ඇගයීම් මණ්ඩලවල නිසි අවධානයක් යොමු නොවුණු ලේඛකයෙකි. අජිත් තිලකසේන මෙරටදී තොල්ස්තෝයි, මාර්ක් ට්වේන්, ඉබ්සන් හෝ ඇන්ටන් චෙකොෆ්ගේ ඉරණමට ලක්වූ ලේඛකයා ලෙස හඳුන්වාදීමෙහිද වරදක් නැත.

මේ වනවිට මෙරට ප්‍රධානකොට සැලකිය හැකි සම්මාන උත්සව කිහිපයක් පවතී. ඉන් මූලික ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයයි. දිගුකාලයක් තිස්සේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයක් වීමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම හේතුවෙන් නිල පිළිගැනීමක් තිබීමත් වැඩිම ශානර ප්‍රමාණයකට සම්මාන පිරිනමන උත්සවය වීමත් හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උළෙල මෙරට අනෙකුත් සම්මාන උළෙල අතරින් විශේෂිත වේ. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ‍උළෙලේදී ශානර විස්සක් යටතේ කෘති අගයා සම්මාන පිරිනමා තිබුණි. රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී පිරිනැමුණු සමස්ත සම්මාන සංඛ්‍යාව විසි දෙක අතරින් එකක් හොඳම පිටකවරය සඳහා ය. පිටකවරය යනු කලාත්මක අර්ථයෙන් ද නිර්මාණාත්මක වශයෙන්ද කෘතියෙහි අන්තර්ගතය හුවාදක්වන හා කෘතිය කෙරෙහි පාඨක අවධානය හා ආකර්ෂණයට බලපවත්වන නිර්මාණාත්මක මෙහෙයුමක් හෙයින් හොඳම පොත් කවරයට සම්මානයක් දීම අගය කළයුතු වුව, නිර්දේශිත වැඩිම පොත් ප්‍රමාණයක් මුද්‍රණය කළ ආයතනයට සම්මානයක් ලබාදීම වැදගත් වන්නේ කවර ආකාරයෙන් ද යන්න වෙනම විමසා බැලිය යුතුය.

රාජ්‍ය සාහිත්‍ය උළෙල හැරුණුවිට වැඩිම ශානර ගණනක් සඳහා සම්මාන පිරිනැමෙන උළෙල වන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලයි. නවකතා, යොවුන් නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසින් දෙමළ බසට පරිවර්තිත නවකතාව, තීරු ලිපි, ප්‍රශස්ත ශාස්ත්‍රීය සංග්‍රහය, දෙමළ බසින් සිංහල බසට පරිවර්තිත කෘතිය, පරිවර්තිත නවකතාව, දෙමළ මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය නවකතා, කෙටිකතා, කාව්‍ය සහ නවක නිර්මාණ වශයෙන් සම්මාන විසි එකක් ගොඩගේ සම්මාන උළෙලේදී මෙවර පිරිනමා තිබුණි.

ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක එක් කෘතියක් සඳහා වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන සම්මානය වන නමුත් ඔවුනගේ ඇගයුමට පාත්‍රවන්නේ නවකතා සහ කෙටිකතා පමණි. ඉදිරියේදී ඊට කවියද එකතු කර ගන්නට සාකච්ඡා කෙරෙමින් පවතින බව නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබේ. එය සතුටට කරුණකි.

ෆෙයාර්වේ සම්මානයද නවකතාවට පමණක් ‍සීමා වන්නකි.

සාහිත්‍යය යනු නවකතාව, කෙටිකතාව, කවිය, යොවුන් නවකතාව, ළමා සාහිත්‍ය, පරිවර්තන, ශාස්ත්‍රීය, තිරනාටක ආදිය පමණක් ද යන ගැටලුව මෙරට සාහිත්‍ය සම්මාන දෙස බලන කල්හි පැනනඟී. සාහිත්‍ය යනු එපමණක් නොවේ, ෆැන්ටසි, රොමාන්තික, ත්‍රාසකතා, රහස් පරීක්ෂක කතා, මාරකකතා ආදි වශයෙන් හැඳින්වෙන නොයෙක් සාහිත්‍ය අංග වෙනත් රටවල සාහිත්‍ය අතරටත් සම්මාන අතරටත් මේ වනවිට එක්ව තිබේ. ඒ ඒ අංශ සඳහා වන වෙනම සම්මාන පවා පවතී. එහෙත් මෙරට සාහිත්‍ය උත්සවවල ක්‍රයිම්, ඩිටෙක්ට්ව්, හොරර්, ෆැන්ටසි, රොමැන්ස් යන වචනවත් අසන්නට ලැබෙන්නේ නැත. මෙරට සාහිත්‍යකරුවන් ද එවැනි ශානර සලකන්නේ අතපල්ලෙන් වැටුණු සාහිත්‍යාංග කොටසක් වශයෙන් බව පෙනේ. අවම වශයෙන් චරිතකතා හෝ ‍අපේ සාහිත්‍ය සම්මානවලට අදාළ නැත. සවර්ණ පුස්තක විසින් මෙරට නවකතාවට එල්ලකෙරුණු ආලෝකධාරාව අනුව ගත් කල්හි ඉහත සාහිත්‍යාංග පෝෂණයට සම්මාන උළෙලකින් සැපයිය හැකි අනුබලය අනුමාන කරන්නට පුළුවන.

සාහිත්‍ය විනිශ්චය සරල කටයුත්තක් නොවේ. වසරකට මෙරට මුද්‍රණය කෙරෙන කවි, කෙටිකතා, නවකතා සංඛ්‍යාව කොපමණ ද, අදාළ විනිශ්චය මණ්ඩලවලට එකී සංඛ්‍යාව මුළුමනින්ම ග්‍රහණය වන්නට නම් එක් අයකු වසරකට පොත් කීයක් කියැවිය යුතු ද? වසර පුරා ක්‍රියාත්මක වන සාහිත්‍ය විමර්ශන ක්‍රියාවලියක් එකඳු සාහිත්‍ය සම්මාන ව්‍යාපාරයකට හෝ නොමැති තත්ත්වයක කඩිමුඩියේ කියවා හදිසියේ ලබාදෙන සම්මානවල ප්‍රමිතිය පිළිබඳ ඇතිවන්නේ කුහුලකි.

මෙරට සම්මාන විනිශ්චය මණ්ඩලත් ලේඛක මඩුළුත් බොහෝවිට දෙකක් නොව එකකි. ගියවර සම්මාන ගත් ලේඛකයා මෙවර විනිශ්චය මණ්ඩලයක් නියෝජනය කරනු ඇත. ලේඛකයන් හා විනිසුරු මඩුළු අතර පෞද්ගලික සබඳතා, දැනහැඳුණුම්කම්, විනිශ්චය සඳහා බලපාන ආකාරය කුමක්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. ඇතැම් විටෙක එකම සම්මානය දෙකට බෙදා දෙන්නට සිදුවන රහස පෞද්ගලික සම්බන්ධතාහි බලපෑම විය හැකි ද? නොවිය හැකි ද?

එක්තරා සාහිත්‍ය උළෙලක කවිපොත් තේරීමේ කටයුත්තකට සහභාගී වන්නට වරෙක මට ඇරයුම් ලැබුණි. ඒ සඳහා සලකා බැලීමට ඒවා තිබුණු එක් කෘතියක් වූයේ ප්‍රකට ලේඛකයකුගේ එකතුකළ ගීත සංග්‍රහයකි. එපමණක් නොව එහිදී කියවන්නට ලැබුණු කාව්‍ය කෘති පරිශීලනයේදී මට හැඟී ගියේ පොත් තෝරා දීමේ යෙදී සිටි තැනැත්තනට සිය කාර්යය පිළිබඳ මූලික වැටහීමක් හෝ නොතිබුණු බවයි. ප්‍රකාශන ආයතනවලින් සම්මාන සඳහා පොත් ‍තෝරා එවන ආකාරය පවා ගැටලුසහගත බවයි මා ඉන් අදහස් කළේ.

වඩාත්ම හාස්‍යජනක තත්ත්වය උදාවූයේ නිර්දේශිත කෘති අතරින් එකක් සම්මානය සඳහා තෝරා ගැනීමේදීය. ඇගයුම් මණ්ඩලයේ ඇතමකු යෝජනා කළ කෘතිය තිබුණේ අදාළ කර්තෘවරයාගේ අතීත කෘතිවලට සහ එම වසරේ ප්‍රකාශිත කෘතිවලට සාපේක්ෂව ඉතා පහළිනි. එහෙත් එකී කෘතියට සම්මානය දෙන්නට යෝජනා විය. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ, කෘතියේ තත්ත්වය නොව කර්තෘගේ අසාධ්‍ය අසනීප තත්ත්වයයි. මගේ තර්කය වූයේ කර්තෘගේ රෝගී තත්ත්වය සලකන්නේ නම් කළයුතු වන්නේ කෘතියට සම්මාන දීම නොව ලේඛකයාට විශේෂ ත්‍යාගයක් ලබාදීම බවය.

ඉන් පසුව ඉතිරිවූයේ කෘති තුනකි. ඉන් එකක් ආධුනික ලේඛකයකුගේය. ඉති‍රි දෙක ප්‍රවීණයන් දෙදෙනකුගේ ය. ප්‍රවීණයන්ගේ කෘති දෙක ඔවුන්ගේ පෙර කෘතිවලට සාපේක්ෂව අසාර්ථකත්වයක් පෙන්නුම් කළ නමුත් ආධුනිකයාගේ කෘතිය ඔහුගේම පෙර කෘතිවලට සාපේක්ෂව මෙන්ම ප්‍රවීණයන්ගේ කෘතිවලට සාපේක්ෂව ද ඉදිරියෙන් තිබුණි. නමුත් අවසානයේ තීරණය කෙරුණේ ප්‍රවීණයන් දෙදෙනාට සමව සම්මානය බෙදාදීමටය. මෙරට සාහිත්‍ය ඇගයීම් මණ්ඩලවල මනස වැඩකරන ආකාරයට එකී තීරණය සාක්ෂියකි.

රැඩිකල් සහ ගතානුගතික චින්තනය අතර ගැටුම සාහිත්‍ය සම්මානවලදී ඉස්මතුවන ප්‍රධාන ප්‍රශ්නයකි. අජිත් තිලකසේනයන්ට බලපෑවේද එයයි. සාහිත්‍ය ඇගයීම් මණ්ඩලවලට තරුණ නියෝජනය වැඩිපුර යොදාගතයුතු බවට ලොරේ මුවර් වැන්නන් යෝජනා කරන්නේ ද එහෙයිනි. අවධාරණය කෙරෙන තවත් කරුණක් වන්නේ සම්මාන ඇගයීම් කමිටුවල කාන්තා නියෝජන අනුපාතය කෙසේද යන්නයි. අතිශය සීමිත ලේඛක විචාරක පිරිසක් සහිත ශ්‍රී ලංකාව වැනි රටකදී සාහිත්‍ය ඇගැයීම වඩාත් ගැටලු සහගත වන්නේ, ඇගැයුම් මණ්ඩල ලේඛක විචාරක පෞද්ගලික සබඳතා සහ දැන හැඳුණුම්කම්වල සමීපතාවය හේතුවෙනි. එම ගැටලුව ජයගැනීමට හොඳම විසඳුම දියුණු රසික පර්ශදවල දායකත්වය ද ඇගැයුම් මණ්ඩලවලට එකතු කරගැනීම බව යෝජනා කළ හැකිය.

අනුර කේ. එදිරිසූරිය


නව අදහස දක්වන්න

Or log in with...