සම්මාන සාහිත්‍යකරණයට දිරියක් | දිනමිණ

සම්මාන සාහිත්‍යකරණයට දිරියක්

විමල් උදය හපු‍ගොඩආරච්චි

විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර හිමි වූ‍යේ, විමල් උදය හපු‍ගොඩආරච්චි ගේ ‘යකඩ සිල්පර’ කෘතියට ය. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

සම්මාන ලබාදීම හොඳයි. සමහරවිට ඒවායේ යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒත්, මං ඒවා හොයන්න යන්නෙ නෑ. සමස්තයක් විදිහට මට හොඳයි. මං ඒ ගැන සන්තෝෂ වෙනවා. මට සම්මාන හිමිවීම පිළිබඳ විනිශ්චය මණ්ඩලයට ස්තූති කරනවා. මගේ පොත හොඳයිද? නැද්ද? කියා පාඨකයන් තීරණය කරාවි. එය ඔවුන්ට බාරයි.

• ඔබට ‍මේ සම්මානය හිමිවීම පිළිබඳ කතා කළොත්?

හොඳ ම නවකතාව වෙනුවෙන් ‘යකඩ සිල්පර’ කෘතිය සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවීම ගැන සතුටුයි. එය මා දිරිගැන්වීමක්. මම බොහොම පොඩි මිනිසෙක්. මං වගේ කෙනකුට මේ සම්මානය විශාල දිරිගැන්වීමක්.

• ඔබ මේ කෘතියට ‘යකඩ සිල්පර’ ලෙසින් නම තැබීමට හේතුව?

මෙය මම දාපු නමක් නෙමෙයි. අපේ රටේ සිටින ජනශ්‍රැති ලේඛක මහින්ද කුමාර දළුපොත මහතා තමයි මෙයට නම යෙදු‍වේ. මම පොත ලියා අවසන් කරලා, සුදුසු නමක් දාන්න කියලා ඔහුට දුන්නා . ඔහු දාපු නම තමයි මේ. මටත් එය හොඳයි කියලා හිතුණා.

• මේ කෘතිය ‍‍ඓතිහාසික නවකතා ශානරයට ඇතුළත්?

ඔව්, මෙය ඓතිහාසික නවකතා වර්ගයට ඇතුළත් වෙන්නෙ , කුරුණෑගලින් උතුරට යාපනය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳ, එහිදී ඇතිවූ සිදුවීම්, බාධක පිළිබඳ ගෙතුණු කතාවක් නිසයි.

• මෙහි ඉතිහාසය ගැන කියැවෙනවා. ඒ කිව්වෙ වසර සියයකට පමණ පෙර ඉතිහාසය?

ඔව්, මෙහි එක්දහස් නවසිය ගණන්වල මුල සිදුවීම් කිහිපයක් කියැවෙනවා. ඒ කිව්වෙ වසර 120කට පමණ පෙර කාල සීමාවක් තුළ සිදුවීම්. පළමුව කුරුණෑගල දක්වායි දුම්රිය මාර්ගය පැවතුණේ. එතැනින් එහාට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධව කිසියම් ගැටලුවක් තිබුණා. මේ නිසා ඉදිකිරීම් ඇන හිටලයි තිබුණේ. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ. අනතුරුව 1903 පමණ සිට ඉදිකිරීම් ආරම්භ වීම ආදිය පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත්.

• මෙහි ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය පිළිබඳ කියැවෙනවා. ඒ සබඳතාව පිළිබඳ කතා කළොත්?

එයට හේතුව, මං ඓතිහාසික කරුණු සොයාගෙන යද්දි, ඒ කාලයේ බොහොම තදේට මේ කුල පීඩනය කියන දේ තිබිලා තියෙන වග මට අවබෝධ වුණා. එය වැඩවසම් ක්‍රමයේදී පැවතී තිබෙනවා. ඒ ක්‍රමය මේ උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීමත් සමඟ බිඳ වැටීම තමයි මෙහි කියැවෙන්නේ. මූලික හරය එය යි.

• එදා පැවැති සමාජ, ආර්ථික ක්‍රමය පිළිබඳ මෙහි සියුම්ව විග්‍රහ කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?

ඉතිහාසගත තොරතුරුත් එක්ක මං පරිකල්පනය කරලා ගත්ත තොරතුරු තමයි මෙහි තියෙන්නෙ. පැරැණි පුවත්පත්, පොත් පත්, ඒ දිනවල තිබූ ආර්ථික ක්‍රමය ගැන ලියැවුණු පොත්, පත්තර,චරිත කතා, ‘තණ නිල්ල’ පරිවර්තන කෘතිය, මර්සිලීන් ජයකොඩි පියතුමා ලියූ එතුමාගේ ළමා අවදියේ පොත් ආදියෙන් මං බොහෝ තොරතුරු ලබා ගත්තා. ඒ වගේම, ඉතිහාසය පිළිබඳ දැනුමැති අයගෙනුත් තොරතුරු ලබා ගත්තා. මේ සෑම මූලාශ්‍රයකම අඩංගු සමාජ, ආර්ථික තොරතුරු තමයි මගේ පරිකල්පන ශක්තියත් සමඟ මුසු කරලා, නවකතාවට යොදාගෙන තිබෙන්නෙ. ඒ වගේම මෙහි, මිනිසුන්ගේ සිතුම් පැතුම් අඩංගු වෙනවා. එක් එක් පුද්ගලයන් සිතන ආකාරය මං නිරූපණය කර තිබෙනවා.

• ප්‍රභූ පංතියේ සටකපටකම්, පීඩිත පංතිය ඔවුන්ට එරෙහිව සිදු කරන කූඨෝපාය ආදිය මෙහි අන්ර්ගතයි?

මෙවැනි දේ අදටත් සිදු වෙනවානෙ. එදා සමාජයෙත් ඒ කාලයට ගැළපෙන විදිහට ඒ දේ තිබුණා. ඒවා තමයි මං දැන් සමාජයේ දේ සමඟ සංසන්දනය කරලා සහ පරිකල්පනය කරලා නිරූපණය කළේ. එකල දරිද්‍රතාව, ආහාර සොයා ගැනීමේ ගැටලුව ආදී ප්‍රශ්න දුප්පත් ජනතාවට බෙහෙවින් තිබුණා. ඔවුන් ධනවතුන්ගෙන් ආහාර ඉල්ලුවා. මේ ධනවතුන්ට තමයි ගම් බිම්වල වැඩි අයිතියක් තිබුණේ. වැඩවසම් ක්‍රමයයි එකල ක්‍රියාත්මක වුණේ.

• මෙහි ඇතුළත් චරිත මනා සබැදියාවකින් යුක්තයි. ඒ සබැඳියාව ගොඩනැගුණේ කොහොමද?

වැඩවසම් ක්‍රමය යටතේ එක එක්කෙනාට හිමි වැඩ කොටසක් තිබුණා. ඒ අනුව මෙහි එන චරිතයක් වන ‘හේනයා’ කියන්නෙ රෙදි හෝදන මිනිසෙක්. ඔවුන්ට අයිති රාජකාරිය වුණේ ගමේ ප්‍රභූ පංතියට අයත් රෙදි සෝදන එක. මළ ගෙදරකදී, මඟුල් ගෙදරකදී, කොටහළු ගෙදරකදී ඔවුන්ට විශේෂ වැඩකොටසක් පැවරෙනවා.

ඒත්, ඔවුන් විශාල පීඩනයකිනුයි ජීවත් වු‍ණේ. මොකද බලය තිබුණේ ඉහළ පැළැන්තියේ අයට. එතකොට ගවරා කියන්නෙ කොහෙටවත් අයිති නැති මිනිහෙකුට. ජීවත් වෙන්නෙ කැළයේ . ඔහු බොහොම ශක්තිවන්තයි. ඇතැම් විට බුද්ධිමත්. එතකොට ‘ඩනස්ටන්’ කියන්නෙ දුම්රිය මාර්ගය ඉදිකරන ඉංජිනේරු මහත්තයා. ‘පීටර්ස්’ කියලා තව පාලම් ඉදි කරන ඉංජිනේරුවෙක් සිටිනවා. මොවුන් දෙදෙනා එකිනෙකට පරස්පරයි. මේ චරිත දෙක අතර ගැටුමක් තිබෙනවා. ඒ වගේම ‘රම්බා’ කියා අඩු කුලේ කාන්තාවක් සිටිනවා. ඇය බෙහෙවින් ලස්සනයි. ඊට අමතරව ‘පදක්කයා, ගුරුළුමාලි, ගොරබා’ යන චරිතත් අඩංගු වෙනවා. බොහොම තරුණ කාලයේදී තමයි රම්බා පදක්කයා සමඟ සම්බන්ධයක් ඇතිකර ගන්නෙ.

ඉන් පසුව දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නවා. එතකොට එහි වැඩවලට මේ අයත් යනවා. කාන්තාවො යනවා. ඒ , උයන පිහන වැඩ සඳහා. රම්බා එහි යනවට, පදක්කයා සහ ඔහුගේ පියා වන ගොරබා කැමැති වෙන්නේ නෑ . රම්බා කොටහළු වුණ අවස්ථාවේ , ඇය අනාගතයේ එතරම් හොඳ හැදියාවකින් යුක්ත තැනැත්තියක් නොවන බව නැකැත්කරු කියනවා. මේ කතාව තමයි මෙහි ඇතුළත් වෙන්නෙ. ඒ වගේම මෙහි ඩන්ස්ටන්ගෙ බිරියත් හරි අමුතු චරිතයක්. ඇය දකුණු අප්‍රිකාවේ රන් ආකරවල සිටි කෙනෙක්. මේ ආකාරයට චරිත, ස්ත්‍රී , පුරුෂ සම්බන්ධතා, සිදුවීම් ඉතා රසවත්ව අඩංගු කිරීමට මං උත්සාහ ගත්තා.

මෙවැනි කතාවක් ඔබේ හිතේ ඇඳුනේ කොහොමද?

මම දැනට පොත් ලියැවී තිබෙන ආකාරය පිළිබඳ අධ්‍යයනය කළා. එසේ බලද්දි, එක් එක් ලේඛයන්ගේ ශෛලීන් මං දකිනවා. උදාහරණයක් විදිහට සයිමන් නවගත්තේගම ‘වන්නිය’ ගැන බොහොම හොඳ පොත් ලියලා තියෙනවා. මේවා බැලුවහම මටත් හිතුණා පොතක් ලියන්න ඕන කියලා. ඒක තමයි මේ පොත බිහි වෙන්න මූලිකම හේතුව.

• ඔබ මේ ඉතිහාසගත තොරතුරු හා අනෙකුත් තොරතුරු ලබා ගත්තේ කොහොමද?

දුම්රිය මාර්ගය ඉදි කිරීම සම්බන්ධ ඓතිහාසික තොරතුරු ලබා ගත්තෙ දුම්රිය ස්ථානාධිපතිවරයකුව සිටි මගේ මිත්‍රයකුගෙන්. ලාල් බ්‍රාහ්මණ කියලා. එතුමා මට ඒ තොරතුරු අඩංගු පොත්පත් පරිශීලනය කරන්න ලබා දුන්නා. සමහර පොත් පත් මට ගෙනවිත් දුන්නා. තොරතුරු සොයා දුන්නා. ඒවායෙන් තමයි දුම්රිය මාර්ගය ඉදි කිරීමට අදාළ තොරතුරු ලබා ගත්තෙ.

ඊට අමතරව මම සාමාන්‍යයෙන් කොතැන, කො‍හේ ගියත්, ඉතිහාසය පිළිබඳ විස්තර සොයනවා. ගමකට ගියොත් කවුරු හෝ තොරතුරු දන්න වැඩිහිටියකු හෝ තරුණයකු හෝ වේවා, මම ඔවුන් සමඟ කතාබහ කරලා, ඒ තොරතුරු අසා දැන ගන්නවා. ඒ තොරතුරු මූලාශ්‍ර තමයි මං මගේ කෘතියට ඉවහල් කර ගත්තෙ.

• ඔබ ෆෙයාර් වේ සාහිත්‍ය සම්මානයටත් නිර්දේශ වී සිටිනවා. මේ කෘතිය තවත් සම්මාන උළෙල සඳහා නිර්දේශ වුණා?

ෆෙයාර් වේ සාහිත්‍ය සම්මානයට මගේ ‘යකඩ සිල්පර’ පොත තේරුණු නිසා තමයි, පොත පාඨකයො අතරට ගියේ. ඒ සම්මාන උළෙලේ විනිශ්චයකාරවරුන්ට මං ඒ වෙනුවෙන් අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. අපේ රටේ බොහෝවිට තියෙන්නෙ සම්මාන දිනන, පොත් කියවන මානසිකත්වයක්. විමල් උදය හපුගොඩආරච්චි කියන පුද්ගලයා සහ යකඩ සිල්පර කෘතිය ඉදිරියට ආවේ, මේ සම්මාන උලෙළ හා එහි විනිශ්චය මණ්ඩලය නිසයි.

• ශ්‍රී ලංකාවේ සම්මාන ප්‍රදානය පිළිබඳ ඔබගේ අදහස?

සම්මාන ලබාදීම හොඳයි. සමහරවිට ඒවායේ යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒත්, මං ඒවා හොයන්න යන්නෙ නෑ. සමස්තයක් විදිහට මට හොඳයි. මං ඒ ගැන සන්තෝෂ වෙනවා. මට සම්මාන හිමිවීම පිළිබඳ විනිශ්චය මණ්ඩලයට ස්තූති කරනවා. මගේ පොත හොඳයිද? නැද්ද? කියා පාඨකයන් තීරණය කරාවි. එය ඔවුන්ට බාරයි.

• ඔබගේ ඉදිරි ග්‍රන්ථකරණ කටයුතු මොනවාද?

දැනට තිබෙන්නෙ නිකන් කටු සටහන් කිහිපයක් විතරයි. මට හරියටම එකදිගට ලියාගෙන යන්න හරි පාරට වැටෙන්න ඕනැ. ලියාගෙන යනකොට ඒක දැනෙනවා. දැනුණහම ලියන්න ගන්නවා. පසුව සංස්කරණ ආදිය සිදුකරනවා. ඒ මගේ යාළු හිත මිත්‍රාදීන්ගේ සහයෙන්. මේ සම්මානයත් මගේ තනි සම්මානයක් නෙවෙයි. මගේ යහළු මිත්‍රාදීන්ගේ උදව්වෙන් ලැබුණු සම්මානයක්. ‘අපේ’ සම්මානයක් කියලා කියන්න පුළුවන්. මගේ බිරිය හා දරුවනුත් මේ සඳහා උදවු කරනවා.

• අපේ රටේ සාහිත්‍යකරණය පිළිබඳ ඔබේ යෝජනා මොනවාද?

මට කියන්න තියෙන්නෙ අපේ රටේ හොඳ පොත් පත් ලියැවෙනවා. ඒ හොඳ පොත් පත් තෝරලා, ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන් නම්, ඒක හොඳ දෙයක්. එවිට මේ අපේ පොත් ජාත්‍යන්තරයට ගෙන යන්න හැකි වෙනවා. මේ හරහා තවත් අපේ රටේ ලේඛකයෝ ඉස්සරහට එයි. උනන්දුවෙන් ලේඛන කලාවට පිවිසෙයි. ඒක තමයි වෙන්න ඕන.

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න