තාවෝ දහම සහ ශ්‍රී ලංකාවේ කුඩාම පොත | දිනමිණ

තාවෝ දහම සහ ශ්‍රී ලංකාවේ කුඩාම පොත

ධම්මික සෙනෙවිරත්න

සිංහල, චීන, ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවලින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමු කෘතිය වශයෙන් ‘තාවෝ පිළිබඳ හැඳින්වීම’ නිකුත් විය. එම කෘතිය පිළිබඳ එහි පරිවර්තක එස්. එච්. පෙරේරා මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“තාවෝ දහම ආරම්භ කළේ” ලාඔට්සු විසින්. ක්‍රි. පූ.6 වැනි සියවසේදී. මෙය බුදු දහමට සමගාමීව පැවැති දහමක්. එය මුලින් චීනයේත්, පසුව ක්‍රමයෙන් හොංකොං, තායිවාන් ආදී බෞද්ධාගම පවතින රටවලට ගමන් කළා. තාවෝ දහම පිළිගන්නා අය පංචශීලයේ පිහිටා ජීවිත ගත කරන බවක් දක්නට ලැබෙනවා. ඔවුන් බහුතරය නිර්මාංශයි.

තාවෝ දහම කතා කරන්නේ විශ්වය ගැන. මෙහි එක නිකායක් තමයි “තුන්වෙනි ඇස විවෘත කිරීම” මෙන්න මේ සිද්ධාන්තය මම මේ පොත පරිවර්තනය කිරීමටත් පෙලඹවූවා.”

එය එක් ගුරුවරයකුගෙන් තවත් එක් ශිෂ්‍යයකුට ලැබී, අනතුරුව ක්‍රමයෙන් ගලා යන්නකි. 1905 සිට වඩාත් පුළුල් පිරිසක් අතට පත්ව , ගුරුකුල ගණනාවක් ද ඇති විය. ඒ වනවිටත් චීනයේ පැවැති මහායාන බුදු දහමට සමගාමීව පසුගිය සියවස පුරා එය විකාශනය විය.

“තෙවැනි ඇස විවෘත කිරීම 1905 සිට මේ එක් ගුරුකුලයක් විසින් මූලිකත්වය දී ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙය නිසි ලෙස ක්‍රියාවට නැංවීමෙන්, ඊළඟ ආත්මයේදී අපායට නොගොස් , දිව්‍ය තලයක උපත ලැබිය හැකි බව ඔවුන් පිළිගන්නවා. ඊට සාක්ෂියකුත් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ එවැනි මට්ටමකට ළඟා වූ පුද්ගලයකු මියගිය පසු, එම මළ සිරුර සාමාන්‍ය අයකුගේ මෙන් දැඩි නොවී, මෘදුව පවතින බව විද්‍යාවෙන් පැහැදිළි කළ හැකි කාරණයක් නෙමෙයි. මේ කෘතියෙන් මේ කාරණා ගැනත් අවධානය යොමු කරනවා.” තාවෝ දහම විවිධ ආගම් හා දර්ශන පිළිබඳ ඉගෙනීමේදී මෙරට හමුවන දහමකි. එහෙත්, ඒ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට පොත - පත විරළ ය.

“විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා, තාවෝ දහම හැදෑරීමට සිංහල පොත - පත නැති තරම්. මේ ගැනත් මම අවධානය යොමු කළා. කාට හෝ මේ සිංහල පරිවර්තනය ගැන සැකයක් තියෙනවා නම්, එතැනදීම මෙහි ඉංග්‍රීසි පරිවර්තන කියවා බැලීමට පුළුවන්. ඒ වගේම, මුල් චීන කෘතියක් මෙහි අන්තර්ගතයි. මම මේ පරිවර්තනය කළේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට තමයි භාෂා 3කින්ම මෙවැනි කෘතියක් එළිදැක්වුණේ.”

එය භාෂා අධ්‍යයනය කරන අයට ප්‍රයෝජනවත් ය. සන්සන්දනාත්මකව විමසා බලමින්, එය හැදෑරීමට ද හැකියාව ලැබේ.

“තාවෝ කියන විෂයය සපුරා බැහැර කළත්, භාෂා අධ්‍යයන කෘතියක් වශයෙන් පමණක් වුණත් මෙය කියැවීමටත්, හැදෑරීමටත් පුළුවනි. චීන භාෂාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත්.”

එස්. එච්. පෙරේරා මහතා සිය ලේඛන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන්, මගේ රට නමින් පිටු 24කින් සමන්විතව පළල අඟල් 0.75ක් හා දිග අඟල්1කින් ද ග්‍රෑම්1.59ක බරකින් ද යුතු කුඩා ම කෘතියක් ද නිකුත් කර ඇත. මේ පොත වර්ණයෙන් මුද්‍රිත පිටු ලැමිනේටඩ් කළ කුඩාම ‍ෙපාත වශයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් උසුලනවා. මේ පොත වෙළෙඳ පොළට නිකුත් කළේ කුඩා පෙට්ටි ඇසුරුමකයි. විශාල පොතක තිබෙන බොහෝ ගුණාංග මේ පොතෙත් තිබෙනවා. මෙරට හා විදේශ රටවල මුද්‍රිත මෙවැනි කුඩාම පොත්වලට වඩා, මෙහි ඇති විශේෂත්වය සෙසු පොත් පියවි ඇසින් කියැවීමට අපහසු වුණත්, ‘මගේ රට’ පොත පියවි ඇසින් කියැවීමට හැකිවීමයි.”

මේ පොතේ ඇතුළත් වන කාරණා ගැන විමසීමේදී කතුවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ගැන පාසල් සිසුන්ට ලබාදෙන ආදර්ශ වැකි යන රූප රාමුවලින් එය සමන්විත බවයි.

“ලෝකයේ කුඩා ම ග්‍රන්ථවල ඉතිහාසය දශක කිහිපයක් ඈතට දිවයනවා. 1950 දී ජර්මනියේ ගුටෙන්බර්ග් හි කෞතුකාගාරයට ආධාර පිණිස මිලි මීටර 3.5 x 3 . 5 ප්‍රමාණයේ කුඩා ග්‍රන්ථයක් පළ කළා. ඉන් පිටපතක් දැනට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තිබෙනවා. දෙවියන්වහන්සේගේ යාඥා අමෙරිකන්, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ, ඕලන්ද, ස්පාඤ්ඤ හා ස්වීඩන් භාෂාවලින් එහි මුද්‍රිතයි.

දැනට ලොව කුඩා ම පොත ලෙස වාර්තාවී ඇත්තේ, කැනේඩියානු සමාගමක් පළ කළ රොබෙට් චැප්ලින්ගේ Tenny Ted from Turnip කෘතියයි. එය ළමා පොතක්. ගිනෙස් වාර්තාවට හිමිකම් කියන්නේත් මේ පොතයි. කෙස් ගසක් තරම් ඝනකම ඇති පිටු 30 කින් සමන්විත මේ පොතේ ක්‍රිස්ටල් සිලිකන්වල අකුරු කොටා තිබෙනවා. පොතේ ප්‍රමාණය මයික්‍රෝ මීටර් 70 x 100 කි. මිළ ඇ. ඩොලර් 15,000ක්.

ශ්‍රී ලංකාවේ මුද්‍රිත පිරුවානා පොත් වහන්සේ නම් 2006දී ප්‍රකාශිත කෘතිය අඟල් 1 පළල අඟල් 1.5ක් දිග කෘතියක්. 2014 වර්ෂයේදී පබිලිස් සිල්වාගේ කර්තෘත්වයෙන් රාජකීය ආහාර වට්ටෝරු නමින් නිකුත් වූ කෘතිය සෙ. මී. 1 x 1 ප්‍රමාණයේ මිලි ග්‍රෑම් 5ක් බරැති කෘතියක්. ඊට ආහාර වට්ටෝරු 42ක් ඇතුළත්. කතුවරයාගේ 77 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් වූ මේ කෘතිය, මෙරට මුද්‍රිත කුඩා ම කෘතිය වශයෙන් ද වාර්තා වෙනවා. මේ සියලු කෘති මුද්‍රණය කර තිබෙන්නේ, තනි කළු වර්ණයෙන්.’’

 

නව අදහස දක්වන්න