දේශාභිමානී කෘති පාඨකයාට වඩ වඩාත් ළං කළ යුතුයි | දිනමිණ

දේශාභිමානී කෘති පාඨකයාට වඩ වඩාත් ළං කළ යුතුයි

ප්‍රශාන් ඉන්ද්‍රජිත්

ප්‍රශාන් ඉන්ද්‍රජිත් විසින් රචිත “ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණෝ” නම් කෘතිය , ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වැනි ගුණ සැමරුමට සමගාමීව, මේ මස 20 වැනිදා පෙ.ව. 9.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

• මෙවැනි කෘතියක් ලිවීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක්ද?

මම අලව්ව ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයාව සිටි කාලයේ, දහම් පාසලක පැවැත්වුණු අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ගුණසැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය කිරීමට මට ආරාධනාවක් ලැබුණා. බොහෝ කරුණු අධ්‍යයනය කිරීමෙන් එදා දේශනය මම ඉතා සාර්ථකව කළා. ඒ දේශනය පටිගත කළ හඬපටය මම නැවත අහලා බලනකොට , ඒක යම් මට්ටමක හොඳ දේශනයක් කියලා මට හිතුණා. වර්තමාන සමාජ පරිසරය දිහා විමසා බලද්දි, මේ චරිතයේ තිබෙන සුවිශාල බව, ගම්‍ය වුණු දැක්ම, උපදේශනය, දූරදර්ශී නායකත්වය ආදී සියලු ම දේ නැවත සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවක් කියලා මට හිතුණා.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය සහ ඒ චින්තනය කොතරම් දුරට වර්තමාන සමාජයට සහ මතු අනාගතයේ දැයේ දරුවන්ට බලපානවාද කියන කාරණාව ඉස්මතු කිරීම, මේ කෘතිය රචනා කිරීමෙන් මා බලාපොරොත්තු වුණා. ඒ වගේ ම, අනගාරික ධර්මපාල චින්තනය , ඒ නාමය යටපත් වෙලා තියෙන යුගයක, එතුමාගේ චින්තනයත්, දූරදර්ශී මඟ පෙන්වීමත් පිළිබිඹු කිරීම සහ වර්තමාන සමාජයට එතුමන්ගේ දැක්ම උචිතයි කියන පණිවිඩය ලබා දෙන්නත් මම මේ හරහා උත්සාහ කළා. ලෝක ප්‍රකට දාර්ශනිකයකු හා බුද්ධිමතකු වුණු ක්‍රිස්ටෝපර් බොර්ල කියා තිබුණේ , “පොත්පත්වල නියම කාර්යය විය යුත්තේ, පුද්ගල සිතට ස්වකීය චින්තනයක යෙදීමට සැලැස්වීම” කියලයි. ඒ කියමන අර්ථගන්වමින්, වත්මන් සමස්ත සමාජය තුළම, ස්වකීය චින්තනය ඇති කිරීම වෙනුවෙන්, කලට උචිත පූර්වාදර්ශයක් ලබා දෙන්න හිතාගෙන, මෙවැනි උත්තම පුරුෂයකුගේ ජීවන චින්තනය ගෙනහැර දැක්වීම, මගේ අපේක්ෂාව වුණා.

• මේ සඳහා ඔබ තොරතුරු රැස් කරගත් මූලාශ්‍ර මොනවාද?

මේ කෘතිය ලිවීමේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය, ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ලැබුණු තොරතුරු, මඟපෙන්වීම සහ උපදේශනය බොහෝ වශයෙන් මේ කෘතියට පාදක වුණා. ඒ වගේම, මම පාසල් අධ්‍යාපනය ලබන කාලයේ මා සන්තකයේ ගොනු කරගෙන තිබුණු සටහන් හා ලිපි ලේඛන සියල්ල, මේ කෘතිය රචනයේදී පාදක කර ගත්තා. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවො විසින් මට ලබාදුන්, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉදිරිපත් කළ “ජාතික පනත” නම් කෘතියෙනුත් මම මේ කෘතිය සඳහා තොරතුරු ලබා ගත්තා.

• මේ, ධර්මපාලතුමාගේ දර්ශනය නැවත සමාජගත කිරීමට ගත් වෑයමක්ද ?

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කියන්නෙ, මගේ අධ්‍යයනයේ හැටියට නම් ජාතියේ පියා . එතුමා පුළුල් පරාසයක දූරදර්ශී දැක්මක් තිබුණු නායකයෙක්. දැනට අඩසිය වසරකටත් කලින් එතුමා ජාතික නිදහස් සටනට නායකත්වය ලබා දෙද්දි, වර්තමානයේ සිංහල ජාතියට වෙන මේ සියලු පරිවර්තන, එතුමා කල්තියා දැක්කා. එතුමාගේ දැක්මෙන් , අනාගතයේ උඹලට මේ මේ දේවලට මුහුණ දෙන්න වෙනවා, ඒ නිසා උඹලා මේ මේ විදිහට කටයුතු කරපල්ලා කියලා අපට පෙන්නලා දුන්නා. එතුමාට හොඳ දුරදැක්මක් තිබුණා. මේ, එවැනි නායකයො රටට බිහි විය යුතු යුගයක් . එවැනි යුගයක එතුමන්ගේ ඒ දර්ශනය නැවත සමාජගත කිරීම කළ හැකි නම් , එය ඉතාම වටිනා දෙයක් විදිහටයි මම දකින්නෙ.

• මේ කෘතියේදී ඔබ, සරල බස් වහරක් උපයෝගී කරගෙන තියෙන්නේ. ඒ ගැන කතා කළොත්?

අනගාරික ධර්මපාලතුමාගේ භාෂාව මම කිසි විටෙක විකෘති කරලා නෑ. බොහොම සරල, සුගම, සුමට භාෂා විලාශයක් එතුමන්ට තිබුණා. සරල භාෂාවකින් ම එතුමා ජනතාවගේ හදවතට කතා කළා. ඒ භාෂාව මේ කෘතියේදිත් මම ඒ ආකාරයෙන් ම පාවිච්චි කළා. ඒ හැරුණහම, සිංහල භාෂාවෙ ඇති නීතිරීති එයාකාරයෙන්ම අනුගමනය කරමින්, භාෂාවට කිසි විටෙක හානියක් නොවෙන්නට මා වග බලාගත්තා. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ලබාදුන් සහයෝගයෙන්, කාටත් වටහා ගත හැකි සරල , සුගම බසකින් මම මේ කෘතිය රචනා කළා.

• ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගෙන් ඈත්ව යන රට, ජාතිය, ආගම පිළිබඳ හැඟීම් යළි පුබුදුවාලීමට, මෙවැනි කෘතිවලින් හැකි වේවිද?

කෘතියකින් ඒ දේ කළ හැකියි. දැයේ දරුවන්ට පොතපත කෙරෙහි ඇල්ම නැවත ඇති කිරීම, මේ රටේ වගකිව යුතු, වැඩිහිටි සියලු දෙනාගේ වගකීමක් . ඒ වගේම, පොතපත මඟින් නිවැරැදි, සත්‍ය, විකෘති නොවුණු සැබෑ ඉතිහාසය කියාදෙමින්, ජාත්‍යාලය ඇති කරවනසුලු හැඟීම් ළමා මනසට කාවැද්දිය යුතුයි. ජංගම දුරකථනය කියන්නේ, ළමයින් පොතපතින් දුරස් වෙන්න බලපාන ප්‍රධානම හේතුවක්. මේ නිසා, එදා තිබුණු රසාස්වාදය අද දරුවන්ගෙන් ඈත්වෙලා. බුද්ධිමත් චින්තනය වියැකිලා. ළමයා ආකල්පමය වශයෙන් පිරිහිලා. එයට ප්‍රධාන හේතුව, අම්මලා තාත්තලා පොත වෙනුවෙනට දරුවාට ජංගම දුරකථනය අරගෙන දීමයි.

අපේ කාලයේ, ජංගම දුරකථන තිබුණෙ නෑ. පොත පත තමයි අපි ඇසුරු කළේ. ඒ මඟින් අපේ දැනුම වර්ධනය වුණා. සමාජ අවබෝධය ලැබුණා. ජීවිතය හැඩගස්වා ගත හැක්කේ කොහොමද කියලා තේරුම් ගත්තා. ආත්ම ශක්තිය, දරාගැනීමේ ශක්තිය, සමාජයට මුහුණ දෙන ආකාරය, අන්තර් සම්බන්ධයක් ඇති කර ගන්නා ආකාරය, ජාත්‍යාලය පුබුදුවීම වැනි සියලු දේ අද වන විට සමාජයේ වගකිව යුතු අයගෙන් ගිලිහිලා තියෙන නිසාත්, ගිලිහෙන්නට මඟ පාදමින් සිටින නිසාත්, මම උත්සාහ කළා මේ කෘතිය මඟින් යම් පමණකට ඒ සද්කාර්යය ඉටු කරන්න. ඒ වගේ ම, මගේ ඊළඟ කෘතිය, “දෙස බස රැක රට දැය සමය ඔපවත් කළ හෙළ මහ විරුවො” කියන කෘතිය හරහා, මම මේ කාර්ය මීටත් වැඩිය හොඳින් ඉටු කිරීමට උත්සාහ කරනවා.

• වත්මන් තරුණ පරපුර තුළ , දේශාභිමානී හැඟීම් ජනිත කරන කෘතිවලට ඇති ඉල්ලුම කෙබඳුද?

එවැනි ඉල්ලුමක් ඇති වෙන්න නම්, සන්නිවේදන මාධ්‍ය මඟින් මෙවැනි කෘති කෙරෙහි ඇස යොමු කළ යුතුයි. තරුණ අයට හෝ වෙනයම් වයස් කාණ්ඩයකට මේ දේ ළං කරන්න පුළුවන්කම ලැබෙන්නෙ , ප්‍රචාරණ මාධ්‍යයත් එක්කයි. ජාතියේ අභිමානය සහ ප්‍රෞඪත්වය වත්මන් තරුණ පරපුරට කාවැද්දීම, මේ රටේ වගකිව යුතු මාධ්‍ය ආයතනවල සියලු දෙනාගේ යුතුකමක් . බොහෝ විට සමාජය තුළ ඇත්තේ විකෘති කරන ලද ඉතිහාසය, සංස්කෘතිය සහ භාෂාවයි. එසේ නොවන්නට කටයුතු කිරීම, ලේඛකයන්ගේ වගකීමක්.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...