වහල් දූපතක; නිවහල් කතාවක් | දිනමිණ

වහල් දූපතක; නිවහල් කතාවක්

රන්ජන් අමරරත්න
මොහාන් රාජ් මඩවල

ඔහු අත දිග හැර ලිය යි. භාෂාව නමයි. ආකස්මික සිද්ධි මවයි සුරංගනා කතා ගොතයි අතුරු කතා එකතු කරයි බලාගෙන යන විට අපූරු ආඛ්‍යාත රටාවකි. එහෙත් මේ සියල්ල යට ඇත්තේ ප්‍රීතිය නොව; ශෝකයයි! ඛේදය යි!

කයිරෝ නගරයේ නම භාවිත කරමින් නවකතා රාශියක් රචනා වී ඇත. එහෙත්, එම ප්‍රබන්ධවලින් මතුවන සාකච්ඡාව, කයිරෝවට පමණක් සීමා වන්නේ නැත. ඇතැම් කෘතියකට පාදක වන්නේ, අරාබිවරුන්ගේ පොදු ජීවිතය යි. නව කෘතියකට තේමා වන්නේ, ඇලෙක්සැන්ඩ්‍රාවයි. තවත් කෘතියකින් සංවාදයට ලක් කරන්නේ, නයිල් ශිෂ්ටාචාරය යි. නැතහොත් පුරාණ ඊජිප්තුව යි. මේ දිනවල කතාබහට ලක්වන එබඳු නවකතාවක් ලෙස “ලයිව් ෆ්‍රොම් කයිරෝ” කෘතිය දැක්විය හැකි ය. 2017 දී පළවූ එම ප්‍රබන්ධයෙන්, අරාබි ලෝකය විඳවන ත්‍රස්තවාදය, යුද්ධය, සූරාකෑම, දිළිඳුකම, ප්‍රචණ්ඩත්වය හා දූෂණය ගැන කියැවෙයි. සංක්ෂේපයෙන් ගතහොත් මේ නවකතාවෙන් සංවාදයට ලක් කෙරෙන්නේ, අරාබි ශිෂ්ටාචාරයේ බිඳවැටීම යැයි කියන්නට පුළුවන. එම කෘතිය රචනා කළ අමෙරිකන් ලේඛකයා , ලෝක අවධානය ට ලක් විය යුතු වැදගත් දේශපාලන විවරණයක් ඉදිරිපත් කර ඇති බව පෙනෙයි.

මොහාන් රාජ් මඩවල මහතාගේ “කොළොම්බු” නම් අභිනව ප්‍රබන්ධය ගැන අපට කිව හැක්කේ ද ඒ ටිකම ය. කොළොම්බු යනු සමස්ත ශ්‍රී ලංකාවම ය. රත්නදීප, සිහලදීප ආදී ලෙසින් හඳුන්වන අපේ රට ය. විජාතික ආක්‍රමණ, නිදහස් අරගල, දේශපාලන පෙරැළි මැදින් මේ රට ගමන් කර ඇත්තේ කොතැනකට ද? දැන් අපට තහවුරු වී ඇත්තේ නිවැරැදි ආස්ථානයක ද? යන වැදගත් දේශපාලන සංවාදය ඔහුගේ කතාවේ යටි පෙළින් මතු වෙයි. එය දීර්ඝ හා බුද්ධිමය සංවාදයකට මුලපුරන මාතෘකාවෙකි. මෙබඳු කුඩා තීරුවකින් එවැන්නක් ඉටු කිරීමට යෑම එක්තරා විහිළුවෙකි. එබැවින් රචකයාගේ කතා කලාවේ උපායමාර්ගික පාර්ශ්වය සංක්ෂිප්ත ලෙස දැක්වීමට පමණක් මේ ලිපිය සීමා වෙයි.

කතා කලාවේ උපායමාර්ගික පාර්ශ්වය යනුවෙන් අප අදහස් කරනුයේ, නවකතාවේ සාම්ප්‍රදායික හා නූත ශිල්ප - ධර්ම සංකලනය කරමින් වින්දනය හා සමාජ විඥානය මතුකිරීම සඳහා කතුවරයා දරන වෑයම යි. එහිදී අපට කතුවරු හතර දෙනෙක් සම්මුඛ වෙති. ඒ මොහාන් රාජ් මඩවල යන තනි පුද්ගලයා තුළ ය.

(I) සමාජ විවේචකයා

(II) විස්මිත මැවුම්කරුවා

(III) දේශපාලන විශ්ලේෂකයා

(IV) භාෂාවේදියා

ඕනෑම සාහිත්‍යකරුවකු තුළ සමාජ විශ්ලේෂකයකු සිටිතැ’යි තර්කයක් මතු කළ හැකි ය. මන්ද යත්; සාහිත්‍යකරුවා සමාජ ක්‍රියාකාරකම් විනිවිද දැක , ඒවායෙහි නව අරුත් නිරූපණය කරන බැවින් ය. එහෙත්, අප කියන සමාජ විවේචකයා ඉන් ඔබ්බට ගමන් කරයි. ඔහු මේ ක්‍රියාකාරකම්වල ඇත්ත නැත්ත, ව්‍යාජය - අව්‍යාජය පෙන්වා දෙයි. වර්තමානයට වැදගත් වන සේ එය ගළප්පවයි. මොහාන් රාජ් එවැන්නකු බව කිව යුතුයි.

මේ කතාවේ හත පරිච්ඡේදයේ 112 -113 පිටුවලින් විදුහල්පතිවරයකු ගැන වග විස්තර කියැවෙයි. ඔහු එළිසබෙත්ගේ ඡවි වර්ණය දෙස බලා, ඇය ඉංග්‍රීසිකාරයකුගේ දරුවකු ලෙස තීන්දු කරයි. ඒ අනුව ඇය සිංහල පාසලට ඇතුළත් කර‍ගත නොහැකි බව කියයි. අමු සිංහල මාපියන්ට දාව උපන් මේ දරුවා, පාසලට ඇතුළත් කර ගැනීමට සිදුවන අතර, දෙවනුව ඔහු ඒ ආශ්‍රයෙන් ගොඩනඟන තර්කය පුදුම සහගත ය.

“ගෙවල්වල ගෑනු විශ්වාස කරන්ඩ නරකයි

සීයට - සීයක්ම” (පිටුව > 113)

“අපි නැතිවෙලාවට අපේ ගෙවල්වල වුණත් මොනව සිද්ධ වෙනවද කියල කවුද දන්නෙ” (පිටුව < 113)

විදුහල්පතිවරයා ඉනික්බිති පළමු දරු ප්‍රසූතියට සූදානම් වන තම බිරිය නිවෙසින් පලවා හරින්නේ, ඇය සුද්දකු හා අනියම් සබඳතාවක් පවත්වා ඇතැ’යි චෝදනා කරමින් ය. බිරිය සිය මහ ගෙදරට යන අතර, දස මස් ඇවෑමෙන් දුඹුරු සමක් සහිත පුත්‍රයකු ප්‍රසූත කරයි. තම වරද වටහා ගන්නා විදුහල්පති, බිරියගෙන් සමාව ගෙන, නැවත තමන් හා වාසයට එන ලෙස ඇරියුම් කරයි. බිරියගේ පිළිතුර වන්නේ, පිස්සන් සමඟ ජීවත් වීමට තමන් අකැමැති බව ය. පසුව විදුහල්පතිවරයා ඇත්ත පිස්සකු බවට පත්ව , සිය සේවයෙන් ද ඉල්ලා අස් වෙයි.

උගතුන්, පරිණත පුද්ගලයන්, සමාජ නායකයන් හා උපදේශකයන් ලෙසින් සමාජයේ බුහුමනට ලක්වන ඇතැම් පුද්ගලයන්ගේ ඇතුළාන්තය, මේ අතුරු කතාවෙන් හෙළිදරව් වෙයි. මෙබඳු සමාජ විවේචන රාශියක් කතාව පුරා ව්‍යාප්තව පවතී. කතුවරයාට පුළුල් සමාජ නිරීක්ෂණයක් ඇති බව ඉන් ප්‍රකට වෙයි.

නවකතාකරුවා කතා ගොතන්නකු, සිද්ධි හා චරිත මවන්නකු හා ඒවා රඟදක්වන්නකු ලෙස හැඳින් වේ. මොහාන් තුළ මේ ගුණය හොඳින් ම පවතී. ඔහුගේ චරිත - සිද්ධි - පසුබිම් යන සියල්ල ජීවමාන ය. නවකතාවේ ආරම්භයේ පටන් අවසානය තෙක් ම එම ජීව ගුණය රැක ගැනීමට ඔහු සමත් වෙයි. කතාවක ආරම්භක වාක්‍ය පෙළ කෙතරම් වැදගත් ද යන්න, මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් සිය අගනා කෘතිය වූ “හව්ටු රයිට් අ සෙන්ටන්ස්” හි පෙන්වා දෙන්නේ, එහි අට වැනි පරිච්ඡේදය ඒ සඳහා වෙන් කරමින් ය. පළමු වාක්‍යය සඳහා ලොව ප්‍රකට ලේඛකයන් දක්වන විලාස එහිලා විවරණය කෙරේ. මෙහි අවධාරණය වන්නේ, ආරම්භක වාක්‍යය ඉතා වැදගත් බව ය.

මොහාන් සිය නවකතාව ආරම්භ කරන්නේ, මුළු මහත් පාඨකයා තිගැස්මකට ලක් කරමින් ය.

“කන් අඩි පුපුරණ සද්දෙට දෙවන පිපුරුම

ඇසෙන විට, ඇයට මතක් වූයේ ඇගේ අප්පුච්චා කුඩා කාලයේ දී කියූ විශ්වාස කළ නොහැකි ඒ සුරංගනා කතාව ය.”

“ඒක අහසින් යන කළුපාට නැවක්”

“ඒ සුරංගනා කතාව හැම රාත්‍රියකම ඔහු පටන්ගත්තේ එසේ ය. “

(පිටුව < 11)

සුරංගනා කතා, ජනකතා, සමාජ කතා, මිථ්‍යා කතා, ගොතන කතා, බේගල් යන සියල්ලෙන් ම වැඩ ගැනීමට කතුවරයා දනී. ඇතැම් තැනෙක දී මාර්කෙස් සිහියට නැගෙන්නට පුළුවන. එහෙත්, මොහාන් කොපිකාරයෙක් නොවේ. කතුවරයාගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, පුද්ගල චර්යා හා පුද්ගල මනෝ වෘත්තීන් උත්කර්ෂයට නංවා පාඨකයා උණුසුම් හැඟීමක් වෙත සමීප කිරීම ය. එළිසබෙත් හා හෙලේනා සම්මුඛ වීම ඔස්සේ ද මෙය දැක ගත හැකි ය. පළමුව හෙලේනා විසින් එළිසබෙත් ආදරයෙන් පිළිගනු ලැබේ. “මං ආදරෙයි ඔයාට” යනුවෙන් ඇය වැළඳ ගනී. සුද්දාගෙන් රට බේරාගැනීම සඳහා දියසෙන් කුමාරයා එන බව ඇය කියයි. දෙවන සම්මුඛ වීමේදී හෙලේනා එළිසබෙත්ට පහර දෙයි.

“තෝ නේද දියසෙන් කුමාරයා

මට පෙන්නන්ඩ බෑ තෝව”

(පිටුව <161)

හෙලේනාගේ චෛතසිකය මෙලෙස වෙනස් වන්නේ, ඇය පිස්සන් කොටුවේ සිටි නිසා ම නො‍ වේ. එය අප සියල්ලන්ට ම පොදු තත්ත්වයක් සේ සැලැකිය හැකි ය. මේ නිරූපණ ඔස්සේ පාඨකයා ගෙන යන්නේ, විකෘති වූ මනස් නිරාකූල තත්ත්වයක් කරා පත් කරන්නේ කෙසේද යන කාරණය වෙත ය.

කතුවරයා සීබල් නම් පාරුකාරයාගේ දෙවැනි බිරිය වන අඩප්පරගම නිමලාගේ දරුවන්ගේ නම් මතකයට නඟාගන්නේ, මාළුන්ගේ නම්වලට අනුව ය.

“ඒ අනුව සාලයා නමින් සාමෙල් ද, තෝරා නමින් තෝමස් ද, පුලුට්ටා යන නමින් පුෂ්පා ද, මගුරා යන නමින් මල්ලිකා ද ආදී වශයෙන් ඔහු නම් මතක තබා ගත්තේය. ළඟ දී අවසන් වරට ඉපදුණු පිරිමි දරුවාට ඔස්ටින් යන නම තබන්නට ඇය සූදානම් වන විට, ඒ නමේ මුල් අකුරට ගැළපෙන මාළුවකු ඔහුගේ මතකයට නො ආ බැවින්, ඔහු එයට එකඟ වූ‍යේ නැත. අන්තිමට කනයා යන නමට ගැළපෙන ලෙස කරෝලිස් යන නම තබන්නට ඔහු එකඟ වුණේ ය.”

(පිටුව - 38)

බැලූ බැල්මට පිස්සුවක් සේ පෙනුන ද , කතුවරයා වෑයම් කරන්නේ එකිනෙක පුද්ගලයා සතු මනෝ වෘත්තීන් සියුම් ලෙස නිරූපණය කිරීමට ය. එය චරිත නිරූපණයේ සුවිශේෂ කාර්යයක් සේ සැලැකිය හැකි ය.

කොළොම්බු නවකතාවෙන් මතු වන තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, මොහාන්ගේ දේශපාලන දෘෂ්ටිය යි. ඔහු සිය ශිල්පීය හරඹ, සුවිශේෂ ආඛ්‍යාන අතරින් ඔසවා තබන බුද්ධිමය සාධකය ද එය ම වන්නේ ය. ඔහුගේ දේශපාලන දෘෂ්ටිය අපට පෙන්වා දෙන වැදගත් ම නිගමනය වන්නේ, යුග ගණනාවක් පසු කළ මාතෘභූමිය විවිධ සම්ප්‍රදායයන් අත්හදා බලා, එක ම තැනෙක පල්වෙමින් සිටින බව ය. ආර්ථික වශයෙන් ගතහොත් එය මන්දනයකි. දේශපාලන වශයෙන් ගතහොත් එය මහා අවුලකි. සමාජමය වශයෙන් ගතහොත් වහල් භාවයකි. ඔහුගේ අවධාරණය වන්නේ අතීතයේ මෙන්ම අදත් ශ්‍රී ලංකාව වහල්භාවයේ ගිලී පවතින බව ය. අනාගතයේ පවා එහි වෙසක් දැකිය නොහැකි බව ය.

නිදහස ලබාගන්නා විට අපේ රට ආර්ථික වශයෙන් පැවැතියේ ආසියාවේ ඉහළම තැනෙක ය. නිදහස ලබා දසක හතකටත් වැඩි කාලයක් ගෙවී ගිය තැන, අප ආර්ථික වශයෙන් පසුවන්නේ ආසියාවේ පහළම ආර්ථිකයත් සහිත රාජ්‍යයක් හැටියට ය. මෙහි භයානක තත්ත්වය කෙතරම් ද යත්; වත්මන් අගමැතිවරයා වරක් කියා සිටියේ, අප දැන් ඇෆ්ඝනිස්ථානයේ තත්ත්වයට ඇද වැටෙන්නට ළඟ බව ය. වාම දේශපාලනය ක්‍රියාත්මක විය. ධනවාදය ක්‍රියාත්මක විය. මැද මාවත ක්‍රියාත්මක විය. දැන් ධනවාදයේ නූතන විලාසය වූ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙයි. එහෙත් රට එතැන ම ය. අපත් එතැනම ය.

මේ කතාවේ එන ලෙනින්, එළිසබෙත් වැනි චරිත දේශපාලන සංකේත ලෙස ගත හැකි ය. කතාව පුරාආධිපත්‍යය පිහිටුවන්නේ එළිසබෙත් ය. එළිසබෙත් චරිතයේ එක් පාර්ශ්වයකින් නියෝජනය වන්නේ විජාතික චින්තනය යි. විජාතික ආර්ථික සම්ප්‍රදාය යි. අපේ ආර්ථිකය, සමාජ ක්‍රමය ලිබරල්කර‍ෙනයට නතුවී හමාර ය. එය ලෝක යථාර්ථයක් ලෙස ගතහොත්, එකිනෙක රටවල් ලිබරල් ක්‍රමය යටතේ ගොඩනඟා ගත් අනන්‍යතා පවා අප ගොඩනගාගෙන නැත. ස්වදේශික චින්තනය යටතේ සිදු කරන්නට ගිය සියලු වෙනස්වීම් අසාර්ථක වී ඇත. නැතහොත් අතරමඟ නැවතී ඇත.

මොහාන් රාජ් මඩවල නම් චරිතයෙන් ඉස්මතු වන භාෂාවේදියා ද කිසි විටෙකත් බැහැර කළ නොහැකි ය.

නවකතාවේ එන සංවාද, ආඛ්‍යාන රටා, පදලාලිත්‍ය ඊට සාක්ෂ්‍ය ලෙස පවතී.

‘ඒක අහසින් යන කළු පාට නැවක්!”

(පිටුව - 11)

කොළඹ කියන්නෙ මහ අමුතු රටක්, මැරිච්චි මිනිස්සුන්ටත් පණ එනවලු කොළඹ පස් පෑගෙනකොට”

(පිටුව - 22)

“මිනිහෙක්ට මූණු කීපයක් තියෙනව වගේ ආදරේටත් මූණු ගොඩක් තියෙනවා”

(පිටුව - 72)

මොහාන් වචන හා අර්ථ ගළපා අලුත් යෙදුම් සකසා ගනී. ඒවා යටි පෙළක් සහිත ය.

මේ සියල්ල අතර මොහාන්ගේ ප්‍රධාන දුර්වලතාවක් ද පවතී. එනම්; තමන් ගොඩනඟන ආඛ්‍යානයෙහි සීමා - මායිම් හරි - හැටි හඳුනා නො ගැනීම ය. මේ නිසා ම, අර්ථ විග්‍රහයේ දී පාඨකයා අවුලකට වැටෙයි. කතාවේ විකාශය ද, ඉලක්ක ද විස්තාරණය වෙයි. ඔහුට සංස්කරණයක් අවශ්‍ය වෙයි. කතුවරයාගේ ප්‍රශස්ත කෘතිය තව ම එළි දැක නැත. එබැවින් ඔහු නවකතාකරණයට තිත තබන්නේ නම්, එය බලවත් වැරැද්දකි.


නව අදහස දක්වන්න

Or log in with...