මොහාන් රාජ් මඩවල විභාගය | දිනමිණ

මොහාන් රාජ් මඩවල විභාගය

මඟ හැරුණු මිනිසා 78

නිදහස් කළ පසුව නැවත වරක් ඔහුව මුණ ගැසුණු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා, එක්සත් ජාතික පක්ෂ රජයට එකතු වන්නැයි ඔහුට ආරාධනා කළේය. ලයනල් බෝපගේ එය නැවතත් ප්‍රතික්ෂේප කළේය. කලෙක තමා නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් පැරණි කේඩරයන් මෙන් නොව ලයනල් බෝපගේ එබඳු වරයන්වලට අවනත නොවිය යුතු බව ඇදහීය. හමුවීමෙන් අනතුරුව ඇමතිවරයා සහ ඔහුගේ බිරිය ශ්‍රීමනී ඇතුළත්මුදලි මහත්මිය සිය නිවසේ වවන ලද බිම්මල් පෙට්ටියක් ලයනල් බෝපගේට පිරිනැමුවෝය.

ලයනල් බෝපගේ අත්අඩංගුවට ගන්නා විට ඔහු දින කිහිපයකින් පවත්වන්නට තිබුණු කාර්මික ඉංජිනේරු විද්‍යා විභාගයේ අවසාන පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතව සිටියේය. ඔහුගේ දෑස් නිරාවරණය කරන ලද අවස්ථාවේ පළමුවෙන්ම ඔහු අධ්‍යක්ෂවරයා හමු වී කතා කරන්නට අවශ්‍ය බව අවධාරණය කළේය. ඔහු තම පොත් සහ සටහන් ද ඉල්ලා සිටියේය. ඒ අනුව ටෙරන්ස් පෙරේරා මහතා එදින ම රෑ ඔහු හමුවන්නට පැමිණියේය. තමා රඳවා තබා ගෙන සිටින්නේ මන්දැයි බෝපගේ ඇසූ විට ඔහු ප්ලොට් සාමාජිකයකු මුණ ගැසී ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසීය. එවැනි සාකච්ඡාවක් සිදු වුණා දැයි ජාතික රහස් ඔත්තු බියුරෝවේ අධ්‍යක්ෂවරයා බෝපගේ ගෙන් ඇසුවේය. ප්ලොට් සාමාජිකයකු සමඟ සාකච්ඡාවක් කළ බවත් ඕනෑම කෙනකුට තමා සමඟ කතා කරන්නට අවශ්‍ය නම් තමා ඔහු හෝ ඇය සමඟ කතාකරන බවත් ඔහු කියා සිටියේය.

“ටෙරන්ස් පෙරේරා මහතා මට කිව්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව සිරගත කරන්නට එය ප්‍රමාණවත් සාක්ෂියක් බව. දින තුනක් චිත්‍රා මා කොහේ ගෙන ගියා දැයි තොරතුරක් දැන ගන්න නැතුව ඉඳල තියෙනවා. චිත්‍රාට මා රඳවා ගෙන සිටින තැන දන්වන්න කියලා ඒ වෙන කොටත් මා රඳවා ගෙන සිටි පොලිස් නිලධාරින්ගෙන් මම ඉල්ලීමක් කර තිබුණා. මුලින්ම චිත්‍රා පිලියන්දල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ පැමිණිල්ලේ සදහන් කළේ පොලිසියෙන් කියූ කණ්ඩායමක් මා රැගෙන ගිය බව. ඊට පස්සේ මා ගැන කිසිදු තොරතුරක් නොමැති බවට. ඔවුන් ඒ ගැන කිසිවක් නොදන්නා බව පිලියන්දල පොලීසිය කියා තිබුණා. චිත්‍රා ආරක්ෂක අමාත්‍යාංශයටත් කොළඹ පොලිස් මූලස්ථානයටත් ගොස් මා ගැන විමසලා තිබුණා. චිත්‍රා කියල තිබුණේ මා රඳවා ගෙන ඉන්න තැනක් එයාට කියන්න කියලා. මා හමු වන්නට අවශ්‍ය බවත් ඇය දන්වා තිබුණා. මේ අතරේ ජාතික රහස් ඔත්තු බියුරෝවේ අධ්‍යක්ෂවරයා මාව විභාගයට ගෙන යන්නට බැරි බව කිව්වා. මට කෙසේ හෝ විභාගයට පෙනී සිටින්නට අවශ්‍ය බව මම කිව්වා.

“මාව රඳවා ගෙන සිටින ස්ථානය පසුව ඒ අයම චිත්‍රාට දන්වා තිබුණා. ඒ කොළඹ 7, ලොන්ඩන් පෙදෙසේ ගුවන් විදුලි සංස්ථාව අසල තිබුණු තට්ටු දෙකේ නිවසක්. ලොන්ඩන් පෙදෙසෙ රඳවල ඉන්දෙද් දී නිදා ගන්න කොටත් මගේ අත්, කකුල් ඇඳට තියල මාංචු දාල තිබුණෙ. චිත්‍රා මාව බලන්නට එතෙන්ට ආවා. මගේ විභාගයේ අවසාන පරීක්ෂණයට සූදානම් වෙන්න අවශ්‍ය පොත් සහ සටහන් ද චිත්‍රා බ්‍රිටිෂ් කවුන්සිල් (British Council) ආයතනයෙන්ගෙනැවිත් තිබුණා. ජාතික රහස් ඔත්තු බියුරෝවේ අධ්‍යක්ෂවරයා මාව විභාගයට ගෙන යන්නට බැරි බව කී වැයි මම චිත්‍රාට කිව්වා. ඇය ඒ බව රාධාක්‍රිෂ්ණන් මහතාට දැන්නුවා. විභාගය පවත්වන්නට නියමිත ව තිබුණේ මරදානේ සහිරා විද්‍යාලයේ. රාධාක්‍රිෂ්ණන් මහතා කළමනාකරණ සේවා ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ආධාරය ද ඇතිව මාව කෙසේ හෝ විභාගයට ගෙන ආ යුතු බවට රජයේ අධිකාරීන් සමඟ නිර්භයව සාකච්ඡා කොට තිබුණා. අවසානයේ මා විභාගයට ගෙන යන බව NIB අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා මහතා මට දැන්වුවා. මට මගේ ඉගෙනීමේ වැඩ කරන්නටත් ඉඩ ලබා දුන්නා. රාධාක්‍රිෂ්ණන් මහතා පසුගිය දිනවල ලංකාවේ දී අභාවප්‍රාප්ත වුණා. අපට වෘත්තිකයන් (professionals) අතර එවැනි මිනිසුන් හමුවන්නේ කලාතුරකින්.”

“මගේ අත්වලටත් කකුල්වලටත් මාංචු දමලා වෑන් එකකට නංවා ගෙන මා මරදානේ සහිරා විද්‍යාලයට විභාගයට ගෙන ගියා. හැම දෙනාගෙම ඇස් යොමු වෙලා තිබුණෙ මේ පුදුම සිද්ධිය ගැන. විද්‍යාලයේ ක්‍රීඩා භූමියේ සිටි බොහෝ දෙනා විමතියෙන් මා දෙස බලා සිටිනවා මා දුටුවා. මම උත්තර ලියද් දී රහස් පොලිස් නිලධාරීන් මගේ ළඟම හිටිය. මුළු ශාලාවම වට කරල ආරක්ෂක නිලධාරීන් යොදවල තිබුණා. පොලිසිය ශාලාව වටේට මුර වළල්ලක්ම දැම්මා. විභාග ශාලාවට මා ගෙන ගියාම එතන සිටි අපේක්ෂකයනුත් පුදුමයට පත් වෙලා හිටියා. මාංචු ගලවපු නිසා මට විභාගයට ලියන්න පුළුවන් වුණා. මොන තරම් ප්‍රශ්න මැද වුණත් මම විභාගයට හොඳින් මුහුණ දුන්නා. ඒ වසරේ එංගලන්තයේ කළමනාකරණ සේවා ආයතනයේ විශිෂ්ට ශිෂ්‍යයා හැටියට මාව තෝරා ගෙන තිබුණා. විභාගය අවසානයේ නැවතත් මා ලොන්ඩන් පෙදෙසට ගෙනාවා. මා ඇවිද ගෙන යන විට පහළ තට්ටුවේ මේස කකුල්වලට අත්-පා තබා මාංචු දමන ලද තරුණයන් දහ දොළොස් දෙනකු දකින්නට ලැබුණා. ඔවුන් හිටියේ බිම වැතිරිලා. රාත්‍රි කාලයේ ඇතමුන්ට පහර දෙන හඬ ද ඔවුන් වේදනාවෙන් කෑ ගසන හඬ ද මට නිතරම ඇහුණා.”

ලොන්ඩන් පෙදෙසේත්, කොළඹ කොටුවේ රහස් පොලිස් මූලස්ථානයේත් බොරැල්ලේ නව මැගසින් බන්ධනාගාරයේත් මාස 7 ක් පමණ කාලයක් බෝපගේ රඳවා තබා තිබුණි.

“ලොන්ඩන් පෙදෙසේ ටික කලක් රඳවා තැබීමෙන් පසුව මා කොළඹ කොටුවේ රහස් පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට අරන් ගියා. මට ඉන්නට සිදු වුණේ 4 වැනි තට්ටුවේ විශේෂයෙන් තනා තිබුණු කුඩා යකඩ කූඩුවක. ඒකෙ වහලය බොහොම පහත්. හිටගෙන ඉන්න බැහැ. ඒ නිසා ඒ කූඩුව ඇතුලෙ රඳවා සිටි මුළු කාලය පුරාම මට ඉන්නට සිදු වුණේ දෙකට නැවිලා. ගුලි ගැහිලා. 2011 සැප්තැම්බර් 11 වන දා කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රසිද්ධියට පැමිණි කියුබාවේ ඇමෙරිකානුවන් පවත්වා ගෙන යන ගුවන්තනාමෝ හිර කඳවුරේ පිටපත 1985 වන කොටත් ලංකාවෙ තිබුණා. සති කීපයකට පස්සෙ මාව එතැනින් මැගසින් බන්ධනාගාරයට ගෙන ගියා. මම මුලින්ම හිටියෙ ‘G’ මැදිරියේ හුදකලා කුටියක. ඒක ‘P’ වාට්ටුවට ළඟයි.

“ඒකෙ තමයි 1971 අප්‍රේල් අරගලයේ කාලෙ දී අපි රඳවල හිටියෙ. කොහොම නමුත් කාලයක් යද් දී පරීක්ෂණයට ගෙනත් වධ හිංසාවට ලක් කරපු අනික් දේශපාලන හිරකරුවෝත් ‘G’ වාට්ටුවටයි, ‘H’ වාට්ටුවටයි ගෙනැවිත් දැම්මා. සමහරු ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ක්‍රියාකාරිකයන්. අනික් අය කොමියුනිස්ට් පක්ෂෙ පැරණි සාමාජිකයන්. සමන්ත, කුමාරසිංහ, සිල්වා, ජයතිලක ද සිල්වා, සිරිසේන වැනි බොහෝ සහෝදරවරු මාත් සමඟ හිර ගෙදර ඒ කොටසෙ රඳවා තිබුණා. ඒඅතර උන්න ඉන්දික ගුණවර්ධන සහෝදරයා හිර ගෙදරට ගෙනාවේ නැහැ. ඔහුව නිවාස අඩස්සියෙ තබා තිබුණා. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් හිතා ගෙන හිටියේ මම ඔවුන්ගේ නායකයා කියල. මම ඔවුන්ව ඒ හීනයෙන් මිදෙව්වා. 1971 අප්‍රේල් අරගලයේ සංවත්සර දිනය වන අප්‍රේල් 5 දා අවස්ථාවේ අප හිටියේ මැගසින් බන්ධනාගාරයේ. ඒ අවස්ථාව සනිටුහන් කරන්නට අපේ සිර මැදිරි ඉදිරිපිට තනා තිබුණ මඩුවට මම සියලු දෙනා කැඳවල කතාවක් පැවැත්වූවා. මම ඊළාම්වලට සහාය දෙන කෙනෙක් නොවන බවත්, මම ඔවුන්ගේ නායකයා නොවන බවත්, මම වෙනම රාජ්‍යය කියන සංකල්පයට එකඟ නැති බවත් ඒ කතාවෙන් මම ඔවුන්ට පැහැදිලි කළා.”

ලයනල් බෝපගේ සිරගත කර සිටිය දී එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඔහුට පණිවිඩ එවමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුවහොත් ඔහු නිදහස් කරන බව පැවසීය. එය ප්‍රතික්ෂේප කළ බෝපගේ ‘ජේ. ආර්. ගේ ආණ්ඩුව සමඟ සම්බන්ධ වනවාට වඩා සිරගෙයි සිටීම හොඳයි.’ කියා කීවේය. ලයනල්ව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීම සඳහා චිත්‍රා හේබයෙස් කොර්පස් අභියාචනයක් ගොනු කළාය. නමුත් ඔහුගේ නඩුව උසාවියේ දී විභාග වීමට පෙර කිසිදු දඬුවමක් හෝ කොන්දේසියක් නොමැතිව ඔහුව නිදහස් කෙරුණි. එලෙස නිදහස් කිරීමේ කාරණය සරලය. ඒ රජයට විරුද්ධව ඔහුට කිසිදු චෝදනාවක් නොතිබුණු බැවිනි.

නිදහස් කළ පසුව නැවත වරක් ඔහුව මුණ ගැසුණු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා, එක්සත් ජාතික පක්ෂ රජයට එකතු වන්නැයි ඔහුට ආරාධනා කළේය. ලයනල් බෝපගේ එය නැවතත් ප්‍රතික්ෂේප කළේය. කලෙක තමා නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් පැරණි කේඩරයන් මෙන් නොව ලයනල් බෝපගේ එබඳු වරයන්වලට අවනත නොවිය යුතු බව ඇදහීය. හමුවීමෙන් අනතුරුව ඇමතිවරයා සහ ඔහුගේ බිරිය ශ්‍රීමනී ඇතුළත්මුදලි මහත්මිය සිය නිවසේ වවන ලද බිම්මල් පෙට්ටියක් ලයනල් බෝපගේට පිරිනැමුවෝය. යම් කිසි උපකාරයක් අවශ්‍ය නම් තමාව ඇමතීමට නොපැකිළෙන්නැයි ඇතුලත්මුදලි ඇමතිවරයා ඔහුට දැන්වීය.

සිසිර යාපා

හෙට - හිර ගෙදර ගී හඬ


නව අදහස දක්වන්න

Or log in with...