බඩුමිල - සූත්‍රය! | දිනමිණ

බඩුමිල - සූත්‍රය!

නිදහස් වෙළෙඳපොළ තුළ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කරන්නේ කවුද? නිෂ්පාදකයා, සමාගම් හා ව්‍යාපාරිකයා යැයි කියන්නට පුළුවන. රජයකට මේ සම්බන්ධයෙන් කළ හැකි බලපෑම අල්පය. බදු පැනවීම, අණපනත් මඟින් නිර්දේශ ඉදිරිපත් කිරීම හා මිලපාලනය එබඳු බලපෑම් කිහිපයකි. හැම භාණ්ඩයක් සම්බන්ධයෙන් ම මිල පාලනයක් කළ නොහැකිය. ඒ හැරත් නිෂ්පාදකයා හා සමාගම් එකඟ නොවන මිල පාලනයක් ඇති කළහොත් භාණ්ඩ සැඟවීමට හෝ නිෂ්පාදනය නැවැත්වීමට හෝ පුළුවන. මේ අනුව මිල සම්බන්ධයෙන් තීරණ ගැනීම අතිශය සංවේදී කාරණයක් ලෙස පවතියි.

ප්‍රීමා සමාගම පිටි මිල රු.5/=කින් ඉහළ දැමීමට තීරණය ගෙන තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. තීරණය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පරණ පිටි තොග පවා රු. 5/= ක් වැඩි කර අලෙවි කරනු දක්නට ලැබිණි. ව්‍යාපාරික ආයතන හැමවිටම උත්සාහ කරන්නේ ස්වකීය ලාභය උපරිම කර ගැනීමටය. මේ අනුව මිල ඉහළ දැමීමට අදාළ ඕනෑම සාධකයක් ඔවුහු තම වාසිය සඳහා ඉතා හොඳින් භාවිත කරති. ප්‍රීමා සමාගමේ තීරණය ව්‍යාපාරිකයන්ගේ මනදොළ සපුරන්නකි. එහෙත් එම තීරණය ගෙන ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව ය. සිද්ධිය හැම අතින්ම විවේචනයට ලක් වෙයි.

පාරිභෝගික ජනතාවට නීති - අණ - පනත්, ආයතන ආදිය වැදගත් නැත. ඔවුන්ගේ අපේක්ෂාව සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ මිලට ගැනීම ය. පිටි අපගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන බැවින් එහි මිල නැංවීමේ දී බෙහෙවින් සැලැකිලිමත් විය යුතු ය. සමාගම මේ තීරණය ගෙන ඇත්තේ පොදු එකඟතාවලට පිටින් බව පෙනී යයි. ඒ හැරෙන්නට පාරිභෝගික සේවා අධිකාරිය මෙහිලා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද හොඳ දෙයක් නොවේ. කැබිනට් සාකච්ඡාවේදී ඉහත සිද්ධිය දැඩි විවේචනයට ලක් වී ඇත. රුපියල් පහකින් වැඩිකළ පිටි මිල යළි පෙර මිල දක්වා ආපස්සට ගෙනයෑමට ද කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

ජීවන වියදම ඉහළයෑම සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයක් රට තුළ පවතී. ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම නිසා එකවර භාණ්ඩ හා සේවා සමූහයක මිල ඉහළ යයි. මෙය මුළු ‍ලෝකය ම මුහුණ දෙන ගැටලුවකි. ඉන්දියාවේ ඉන්ධන මිල දවසින් - දවස වෙනස් වෙයි. ඒ ඉන්දීය රජය හඳුන්වා දී ඇති තෙල් මිල සූත්‍රයට අනුව ය. එරට ජනතාව තෙල් මිල සූත්‍රයට එරෙහිව පෙළපාළි හා විරෝධතා දැක්වූහ. එහෙත් ඉන්දීය රජය මිල සූත්‍රය අහෝසි කළේ නැත. හේතුව එම කර්මාන්තය ගෙනයා හැකි එක ම ආර්ථික උපාය මාර්ගය එය නිසා ය. ශ්‍රී ලංකාවේ මිල සූත්‍රයට ද විරෝධතා හා විවේචන පවතී. එහෙත් ඉන්ධන මිල සූත්‍රය හකුලා ගතහොත් තවත් ආර්ථික ගැටලු සමූහයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පාලනය වී ඇත්තේ සුබ - සාධක රාජ්‍යයක් හැටියට ය. නොමිලේ සහල් නොමිලේ බෙහෙත්, දුප්පතුන්ට සමෘද්ධිය ආදී වශයෙන් ය. රජයෙන් නොමිලේ බොහෝ දේවල් අපේක්ෂා කිරීම අපේ ජනතාවගේ පුරුද්ද බවට පත්වී ඇත. ආණ්ඩු වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ද සහනාධාර පවතී. සුබ - සාධක රාජ්‍යයන් ආර්ථික අතින් සමෘද්ධියක් ලබන්නේ නැත. ඒ රටවල්වලට සිදුවන්නේ ජගත් ආයතනවලට හා දියුණු රටවලට ණය වෙමින් දුර්වල ආර්ථිකයන් පවත්වාගෙන යෑමට ය. ශ්‍රී ලංකාව නිදහස ලබා දසක හතකට වැඩි කාලයක් ගෙවා දමා ඇතත් ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත් නොවූයේ සුබ - සාධක ක්‍රමය නිසා යැයි කියන්නට පුළුවන.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී බලයට පත් වූ සැණෙන් කියා සිටියේ තමාගේ එකම ඉලක්කය රටේ තරුණ පරම්පරාවට වැඩි - වැඩියෙන් රැකියා සම්පාදනය කිරීම බව ය. ඒ අනුව නිදහස් වෙළෙඳ කලාප බිහිවිය. නිදහස් වෙළෙඳාම ආරම්භ විය. ජනතාවගේ අතමිට ද සරුවිය.

සුබ - සාධක ආර්ථිකයක් නො ව; නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට අප පියවර‍ ගත යුතුය. නිෂ්පාදනයක් නැති රටකට ජීවන වියදම නම් අභියෝගයට මුහුණ දීම අපහසු ය. දැනට අපේ අපනයන දුර්වල ය. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය දුර්වලය. මේ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක් ආනයනය කිරීමට සිදු වේ. අපනයන දුර්වල වී ආනයන වැඩි වන විට එය රුපියලේ අගය බිඳවැටීමට හේතුවක් වෙයි. මේවා පාලනය කිරීම සඳහා බුද්ධිමත් තීරණ ගත යුතුව තිබේ. එක අතෙකින් බඩ ඉරිඟු වගාව දිරිගන්වන අතර තව අතෙකින් බඩ ඉරිඟු ආනයනයට පහසුකම් සලසන්නේ නම් දේශීය ගොවියා අසීරුවට පත්වනු ඇත.

ආර්ථිකය පිළිබඳ උපදේශන සැපයීමට විද්වත් මණ්ඩලයක් සිටිති. මේ මණ්ඩලය අඛණ්ඩව රැස් වී සංවාද - සාකච්ඡා පවත්වන බව පෙනී ගියත් වැදගත් නිර්දේශ සපයන බවක් පෙනෙන්නට නැත. එක්කෝ මේ උපදේශන රජයේ ඉහළ බලධාරීන් නොපිළිගන්නවා විය යුතු ය. ආර්ථික තීන්දු ගැනීමේ දී රාජ්‍ය අංශයේ පොදු එකඟතාවක් තිබීම ඉතා වැදගත් ය. එසේ නො වන විට රජය තුළම ආර්ථික විසංවාද මතුවන්නට පුළුවන. ඒවා තවදුරටත් වර්ධනය වන්නේ විපක්ෂ කණ්ඩායම්වල විවේචන ද ජනගත වීම නිසා ය. රටේ පවතින බදු විවේචනය සමාජගත වී ඇත්තේ බදු පැනවීම අයුක්තියක් හැටියට ය. එහෙත් එය ඇත්ත නොවේ. අපේ බදු අයකිරීම් කලාපයේ අනෙක් රටවලට වඩා අඩු ය.

රටක ආර්ථිකය හැසිරවීම අතිශය සංකීර්ණ කාරණයකි. අන්තර්ජාතික වශයෙන් බලපාන ආර්ථික සාධක, රටේ අනාගතය සඳහා ඇති කරනු ලබන ආර්ථික උපාය මාර්ග, වර්තමාන ජිවිතය සඳහා බලපාන ජීවන වියදම, සංවර්ධන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති යන සියල්ල කළමනාකරණය කරගැනීමට රජයකට සිදු වේ. ඒ අතර දේශපාලන වශයෙන් මතු වන විවේචනවලට පිළිතුරු සැපයීමට ද රජයකට සිදු වේ. ආර්ථික ක්‍රියාවලිය සංකීර්ණ වන්නේ ඒ නිසා ය. තත්ත්වය කෙසේ වුව ජනතාවගේ පාර්ශ්වයෙන් නැ‍ඟෙන ඉල්ලීම් හා විවේචන ගැන ද සොයා බලන තැනකට රජය තල්ලු විය යුතුය.

 


නව අදහස දක්වන්න

Or log in with...