හොංකොං ප්‍රහාරයෙන් ඉන්දියාව නූලෙන් බේරෙයි | දිනමිණ

හොංකොං ප්‍රහාරයෙන් ඉන්දියාව නූලෙන් බේරෙයි

පාකිස්තානයේ උපන් 26 හැවිරිදි නිසාකට් ඛාන් සහ හොංකොං ජාතික 20 හැවිරිදි නායක අන්ෂුමාන් රාත් එක්ව පළමු කඩුල්ලට ඕවර 34 කුත් එක් පන්දුවකදී ලකුණු 174ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් දැඩි පීඩනයට හසුවූ සිටි ඉන්දීය පිල පරාජයේ අවමානයෙන් ගලවා ගත් පන්දු යවන්නෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං පිලට එරෙහිව පෙරේදා රාත්‍රී ඩුබායි නුවර පැවැති තරගයෙන් සිය කණ්ඩායමට ලකුණු 26ක නොතිබූ ජයක් ගෙනදීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ හොංකොං පිලේ නායක අන්ෂුමාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 285 හඹායාමට පිටියට පිවිසි හොංකොං පිලේ නායකයා සහ නිසාකට් ඛාන් ඉන්දීය ක්‍රීඩකයන් දැඩි පසුබෑමකට හා පීඩනයකට ඇද දැමුවේ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.

පන්දු 115කට මුහුණ දුන් නිසාකට් ඛාන් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමග ලකුණු 92ක් රැස් කරද්දී ඔහුට නොදෙවැනි පිතිහරඹයක නිරතවූ නායක අන්ෂුමාන් පන්දු 97කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග ලකුණු 73ක් රැස් කිරීමට සමත්විය. එහෙත් ලකුණු 85ක් ඇතුළත සෙසු පිතිකරුවන් 6ක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවු ඉන්දීය පන්දු යවන්නෝ තරගයේ වාසිය සියතට ගත්හ. ඒ අනුව නියමිත ඕවර 50 අවසානයේ හොංකොං පිලට රැස් කිරිමට හැකිවූයේ කඩුලු 8කට ලකුණු 259ක් පමණි.

තරගයෙන් පරාජයට පත්වූවත් සියළු ගෞරව දිනාගත් හොංකොං පිල ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ප්‍රබලතම කණ්ඩායම්වලට එල්ල කළේ දරුණු අනතුරු ඇඟවීමකි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දිය පිල ඉනිම අවසානයේ කඩුලු 7කට ලකුණු 285ක් රැස් කළේ ශිකර් ධවාන්ගේ ශතකයකට පින්සිදු වන්නටය. මේ පරිණත පිතිකරුවා පන්දු 120කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි. ඔහුට අගනා සහයක් ලබා දුන් අම්බති රායිදු ලකුණු 60ක් රැස් කළේය.

ආසියානු කුසලානය ජයගැනීමේ වාසිය අතැතිව ඩුබායි නුවරට සේන්දු වූ ප්‍රබල කණ්ඩායම් අතරට එක්වී සිටි ශ්‍රී ලංකා පිල මූලික වටයෙන්ම ඉවතට තල්ලු කළ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අද තරග බිමට එක්වීමට නියමිතය.

ඉන්දීය පිල - 285/7 (ඕවර 50) ශිකර් ධවාන් 127, අම්බති රායිදු 60, දිනේෂ් කාර්තික් 33 ( කින්ෂිට් ෂා 39/3)

හොංකොං පිල - 259/8 (ඕවර 50) නිසාකට් ඛාන් 92, අන්ෂුමාන් රාත් 73 ( යුස්වෙන්දර් චාහල් 46/3, කාහිල් අහමඩ් 48/3)

 

නව අදහස දක්වන්න