වැව් දහසක් ප්‍රතිසංස්කරණය ජනපති අතින් හෙට ආරම්භ වේ | දිනමිණ

වැව් දහසක් ප්‍රතිසංස්කරණය ජනපති අතින් හෙට ආරම්භ වේ

චන්ද්‍රිකා පෙරේරා

එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය හරහා වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ අනුරාධපුර මහවිලච්චිය නාඹඩගස්දිගිලිය වැව අභියසදී හෙට (21) පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ වෙයි. ජල හිඟයෙන් පීඩා විඳින ජනතාව වෙත ලබා දෙන පානීය ජල පිරිසිදුකිරීමේ පන්සියවන පෙරණය උපකරණ (ෆිල්ටරය) ද ලබාදීම මෙම කාර්යයට සමගාමීව එදින සිදු කෙරෙන අතර එසේ ලබා දෙන ජල පෙරණ උපකරණ 500 මගින් ජලය ගෙනගොස් අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වෙත එම ජලය පූජා කිරීමද සිදු කෙරේ.

විලච්චිය නොච්චියාගම හා මහවිලච්චිය දුනුමඩලාව එල්ලංගා පද්ධතිය මේ අනුව ප්‍රතිසංස්කරණය කෙරෙන අතර එම ප්‍රදේශයේ වැව් 17ක් ඊට අයත් වේ. වැව් දහස ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ රටපුරා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

නියඟයෙන් ප්‍රයෝජනයක් ගනිමින් වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වැසි කාලයට වැව්වල ජලය එක්රැස් වීමෙන් පානීය ජලය මෙන්ම වගාවට හා දෛනික කාර්යයන් සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමට හැකිවේ. ඒ අනුව මින් ඉදිරියට නියඟයේදීද ජලය හිඟයකින් තොරව පාවිච්චි කළ හැකි බවත් කන්න දෙකක් නොව කන්න තුනක්ම වගා කිරීමට හැකිවන බවත් වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.

ජනතාවගේ අවශ්‍යතා සඳහා මෙන්ම මහ පොලවේ ජල මට්ටම අවශ්‍ය පරිදි රඳවා ගනිමින් වෘක්ෂලතා ආරක්ෂාකර ගැනීමද මෙම වාරි ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණු වන අතර වැව් ආශ්‍රිත රුක් රෝපණයත් ඒවා ආරක්ෂා කිරීමත් සඳහා ජනතාවගේ සහාය ලබාදෙන ලෙස දුමින්ද දිසානායක මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.


නව අදහස දක්වන්න

Or log in with...