කොපමණ ආර්ථික ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා | දිනමිණ

කොපමණ ආර්ථික ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා

චමීර ඇල්ලදෙණිය

කෙටි කලක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් මේ තරම් විශාල මුදලක් වෙන් කළ කිසිදු ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නොතිබූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මරදාන මාලිගාවත්ත දාරුස්සලාම් විදුහලේ ඉදිකළ සිවු මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (19) පැවැති උත්සවයට එක්වෙමින් අගමැතිවරයා එසේ පැවසීය.

තවදුරටත් අදහස් දැක්වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

කොපමණ ආර්ථික අර්බුද තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් අඩු කෙලේ නෑ. වසරින් වසර එම මුදල් ආණ්ඩුව වැඩි කළා. පසුගිය වසර තුන තුළ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මුළු රට පුරාම පාසල්වලට ගොඩනැගිලි හයදහසකට වඩා ලබා දී තිබෙනවා.

දාරුස්සලාම් පාසලේ සිවු මහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට මට ආරාධනා කිරීම ගැන ස්තුති වන්ත වෙනවා. රුපියල් මිලියන 40ක් වැය කරමින් මේ ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. දාරුස්සලාම් විදුහලට ඉතා කුඩා භූමි ප්‍රමාණයක් තිබෙන්නේ. ඒ නිසා මේ පාසලට තට්ටු ගොඩනැගිලි වුවමනායි. මේ පාසලේ භූමි ප්‍රමාණය වැඩි කරන්න අපි ඉදිරියේදි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉඩකඩ අඩු වුණාට මේ පාසලේ දියුණුවක් තිබෙනවා. මේ පාසල මුස්ලිම් පිරිමි පාසලක් හැටියටත් අනෙක් පාසල මුස්ලිම් ගැහැණු පාසලක් හැටියටත් සිංහල බාලිකා විද්‍යාල තුනක් මේ ප්‍රදේශයේ දියුණු කිරීමට අප කටයුතු කරනවා. මුජුබුර් මන්ත්‍රීතුමා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් හැටියටයි මේ ගොඩනැගිල්ල ඉදි වුණේ. එතුමා වැල්ලවත්තේ මුස්ලිම් පාසලක් ආරම්භ කරන්න වුවමනා ඉඩම් සොයාගෙන තිබෙනවා. එම මුස්ලිම් විදුහල කොළඹ දකුණ ජනතාව වෙනුනේ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සොයා ගන්නා ලෙස මා මන්ත්‍රීතුමාව දැනුවත් කළා. එමඟින් මොකද උතුරු කොළඹ ,මැද කොළඹ, දකුණු කොළඹ වෙසන මුස්ලිම් ජනතාවට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. දැනට මුස්ලිම් ජනතාවට අධ්‍යාපනය ලබා ගැනීමට කොළඹ තිබෙන මුස්ලිම් පාසල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එම පාසල් ඇති කිරීමට අපේ අරමුණයි.

ඒ වගේම රටේම පාසල් දියුණු කිරීමට අපි පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. අකිල කාරියවසම් අධ්‍යාපන ඇමැතිතුමාගේ මූලිකත්වයෙන් ළඟම පාසල හොඳම පාසල ව්‍යපෘතිය කරගෙන යනවා. ඒ යටතේ පාසල් ගණනාවක ගොඩනැගිලි හා වැසිකිලි පහසුකම් ලබාදී තිබෙනවා. මේ කෙටි කාලය තුළ ගොඩනැගිලි 6000ක් පමණ ලබා දී තිබෙනවා. මේ වැනි කෙටි කාලයක් තුළ මේ තරම් ගොඩනැගිලි පාසල් පද්ධතියට ලබාදුන් එකම ආණ්ඩු වර්තමාන ආණ්ඩුවයි. අපි සෑම සිසුවකුම රක්ෂණය කර තිබෙනවා. විදුහල්පතිවරු 4000ක ඇබෑර්තු අපි පුරවාගෙන යනවා. නව ගුරුවරු බඳවා ගන්නවා. ගුරුවරු පුහුණු කරනවා. සෑම ශිෂ්‍ය, ශිෂ්‍යාවකටම වසර දහතුනාහමාරක අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. මේක විශාල වැඩකොටසක්. සෑම කෙනකුටම අවශ්‍ය වෙන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අධ්‍යාපනයට වෙන් කරන මුදල් ඒ වර්ෂය තුළම වියදම් කරන්න කියා මා ඉල්ලා සිටිනවා. සමහර තැන්වල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල් වියදම් වෙලා නැහැ. එහෙම වුණොත් ඊළඟ වසරේ කරන්න තිබෙන දේවල් ප්‍රමාද වෙනවා. අපි කොපමණ ආර්ථික ප්‍රශ්න තිබුණත් අධ්‍යාපනයට ලබා දෙන මුදල් කප්පාදු කර නැහැ. කිසි වේලාවක අඩු කර නැහැ. කොපමණ ප්‍රශ්න තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් කවදාවත් අඩු කර නැහැ. වැඩිකරගෙන යන්නේ. විශේෂයෙන් අපි ගෝලීය ආර්ථික අර්බුදයකට හිර වෙලා තිබෙනවා. ඩොලරයේ වටිනාකම් වැඩි වුණා. අනෙක් රටවල මුදල් ඒකක බිඳ වැටුණා. සමහර ව්‍යාපාරිකයින් තමන්ගේ වැඩිපුර මුදල් අමෙරිකාවට යවා තිබෙනවා. අපේ සෑම බැංකුවකම තිබෙන මුදල්වල වටිනාකම මේ නිසා අඩු වෙනවා. සෑම රටකටම මේ තත්ත්වය තිබෙනවා. මේ නිසා බඩු මිල වැඩි වෙනවා. තෙල් මිල වැඩි වෙනවා. නමුත් අමෙරිකාවට ඒ ප්‍රශ්න නැහැ. අනෙක් හැම එක්කෙනාටම ප්‍රශ්න තිබෙනවා. අමෙරිකාවයි චීනයයි, අමෙරිකාවයි කැනඩාවයි, අමෙරිකාවයි තුර්කියයි වැනි සෑම රටක් සමඟ තීරු බදු අර්බුද තිබෙනවා. එතනත් විශාල හානියක් ජාත්‍යන්තර වෙළඳාමට සිදු වෙනවා. මේ ප්‍රශ්නවල බලපෑම වැඩිපුර දැනෙන්නේ දුප්පත් රටවලටයි. මෙය අපිටත් වඩා අද ඉන්දියාවට බලපා තිබෙනවා. ලංකාවේ එකක් තිබෙනවා. ලංකාවේ ජනතාව කොච්චර ප්‍රශ්න තිබුණත් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. රන් ආභරණ විකුණා හෝ ඉඩම් උකස් තබා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න දෙමාපියන් කටයුතු කරනවා. ඒ නිසා අපිත් ආණ්ඩුවක් හැටියට අපිට කොපමණ අමාරුකම් තිබුණත් අධ්‍යාපනයට ලබාදෙන මුදල් අපි අඩු කරන්නේ නැහැ. අධ්‍යාපනයට මුදල් ලබාදෙනවා කියන්නේ අනාගතයට කරන ආයෝජනයක්. ඒ ආයෝජනය කැඩුවොත් ආර්ථිකය දියුණු වුණත් අවාසියක් තිබෙන්නේ. ඒ නිසයි මා කියන්නේ අධ්‍යාපනයට ලබාදෙන මුදල් කලට වේලාවට වියදම් කරන්න කියා ඉල්ලන්නේ. එහෙම වුණොත් ඊළඟ වසරට මුදල් අපට ලබා දිය හැකියි. අධ්‍යාපනයට ලබාදෙන මුදල් කලට වේලාවට වියදම් නොකරනවා නම් කරන්නේ පාපයක්. අපි මේ අර්බුදයට මුහුණ දෙන්න ක්‍රියා කරගෙන යනවා. සමහර භාණ්ඩ මිල වැඩි වෙලා තිබෙනවා. සමහර ජනකොටස් ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි ඒවා දන්නවා. මේ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ අපි ඊට මුහුණ දෙන්න කටයුතු කරනවා. අධ්‍යාපනයට තිබෙන වටිනාකම ගරු කරමින් තමයි සෑම තීන්දුවක්ම ගන්නේ. මේ අර්බුදය හමුවේ ජනතාවට සහන දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා-

දාරුස්සලාම් විදුහල ළඟ ම පාසල හොඳම පාසල බවට පත් කිරීම සඳහා නව සිවු මහල් ගොඩනැගිල්ලක් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිතුමාට මාගේ ස්තුතිය පළ කරන්න කැමැතියි. මීට වසර දෙකකට ඉහත දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ ගොඩනැගිල්ලට මුල් ගල තැබුවේ. අධ්‍යාපන ඇමැතිතුමා මේ පාසලේ භෞතික සම්පත් දියුණු කරන්න සහයෝගය ලබා දෙන්න කැමැත්ත පළ කර තිබෙනවා. මැද කොළඹ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් දාරුස්සලාම් විදුහල, විජයබාහු විදුහල, හේමමාලි විදුහල, මහාබෝධි විදුහල ළඟම පාසල හොඳම පාසල ලෙස සංවර්ධනය කරනවා. මේ ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් වුණත් නාගරික ප්‍රදේශයේ දරුවන්ට ලැබෙන වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. අපේ ජනතාව දිගු කාලයක් මේ ප්‍රදේශයේ ජීවත් වුණත් කොළඹ නාගරික වරප්‍රසාද සුපිරි වරප්‍රසාද ලැබෙන්නෙ නැහැ. 1994 පෙර මැද කොළඹ ජනතාව වෙනුවෙන් සැම පාසලක්ම සංවර්ධනය වුණා. 1994 පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යුගය නිමා වුණාට පස්සේ අපේ පාසල් පද්ධතිය කඩා වැටුණා. අපේ සමාජ තත්ත්ය බිඳ වැටුණා. අපේ ජීවන තත්ත්වය බිඳ වැටුණා. දශක දෙකකට පසු 2015 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නැවත ආවා.ඒ නිසා අපේ ප්‍රදේශයේ ආර්ථික තත්ත්වය සමාජ තත්ත්වය නැවත ගොඩ නැගිය යුතුයි. අපේ ආණ්ඩුවක් යටතේ තමයි අයවැය මඟින් සියයට 5ක් අධ්‍යාපනය වෙන් කෙළේ. වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කෙළේ වර්තමාන යහපාලන ආණ්ඩුවයි. වසර 13ක අධ්‍යාපනය වෙනුවෙන් මැද කොළඹ ආසනයට පමණක් කොටහේන ජාතික පාසල හා කෙසෙල්වත්ත අල්මා පාසල සංවර්ධනය කර තිබෙනවා. දරුවාට නිසි අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන්ටත් වගකීමක් තිබෙනවා. ඔවුන්ට වසර දහතුනක අධ්‍යාපනයක් ආණ්ඩුව අනිවර්ය කර තිබෙන්නේ ඒ නිසයි. සුහුරු පන්තිකාමර නවීන තාක්ෂණ සහිත පන්තිකාරම ඉදිවෙමින් පවතිනවා. වසර 25ක් තිස්සේ මේ අසානයේ අධ්‍යාපනය පසු පසට ගිය යුගය නිමා කරමින් අපි පරිවර්තනීය යුගකයක් ඇති කිරීමටත් එමඟින් හොඳ අධ්‍යාපනයක් අපේ ජනතාවට ලබාදීමටත් කටයුතු කරනවා. අපි ඇගට දැනෙන සංවර්ධනයක් කරනවා. අභියෝග හමුවේ පැන දුවන්නේ නැහැ. එයට සාර්ථකව මුහුණ දෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරු, කොළඹ නගරසභා මන්ත්‍රීවරු හා දාරුස්සලාම් විදුහලේ විදුහල්පති කේ. එම්. එම් . නලීර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න

Or log in with...