නාය­ක­ත්වය හොඳ­නම් ආය­තන වැටෙන්නේ නෑ | දිනමිණ

නාය­ක­ත්වය හොඳ­නම් ආය­තන වැටෙන්නේ නෑ

ඇල්ක­ඩුව වැවිලි සමා­ගමේ සභා­පති  නාලක දේවින්ද මඩ­වල

කෘෂිකාර්මික සංචාරක ව්‍යාපාරය සේම පාරිසරික සංචාරක ව්‍යාපාරය වර්තමාන ලෝකයේ අතිශය ආකර්ෂණයට පත් ව්‍යාපාරයන් දෙකකි. පසුගිය වසරේ දකුණු ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතරට ‘ඇල්ල’ ප්‍රදේශය එක්වී තිබෙන්නේ ඒ ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය ස්වභාවික පිහිටීම් මෙන්ම භූවිද්‍යාත්මක සෞන්දර්ය සේම ගැමි ජනජීවිතය නිසායි. එබඳුම සෞන්දර්යකින් යුතු ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන රාශියකින් අනූන මනස්කාන්ත ස්ථානයකි. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සෙම්බුවත්ත ප්‍රදේශ‍ය. එම ප්‍රදේශය සංචාරක පුරයක් ලෙස දියුණු කරමින් වැවිලි කර්මාන්තය නව මානයකට ඔසවා තැබීමට කටයුතු කරන බවත් වැවිලි කර්මාන්තයේ සාම්ප්‍රධායික ගැටලු විසඳීමට නව ප්‍රවේශයක් ගන්නා බවත් පවසමින් දිනමිණ ‘කප්රුක’ සමඟ සංවාදයට එක්වූයේ ඇල්කඩුව වැවිලි සමාගමේ නව සභාපති නාලක දේ‍වින්ද මඩවල මහතායි.

 

 රජයේ වැවිලි සමාගමක සභාපති බවට පත්වීමට අභියෝගයක්. ඔබ කොහොමද ඊට සාර්ථකව මුහුණදෙන්නේ?

වැවිලි ක්ෂේත්‍රය මට ආගන්තුක දෙයක් නොවෙයි. 1995 වසරේ සිටම මම කටයුතු කළේ පෞද්ගලික අංශයේ වැවිලි සමාගම්වල මම මුලින්ම සහකාර වතු අධිකාරි ලෙස බගවන්තලාව වැවිලි සමාගමේ කටයුතු කළා. ඉන් අනතුරුව ලලාන් වැවිලි සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස කටයුතු කළා. මෙහි සභාපතිත්වය භාරගැනීමට පෙර කටයුතු කළේ කෑගල්ල වැවිලි සමාගමේ වතු අධිකාරිවරයකු ලෙසයි. මේ සෑම වැවිලි සමාගමක්ම මනා කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන වාර්ෂිකව ආදායම් ඉලක්ක පසුකරන ආයතන වසර 23ක් පුරා එවැනි ආයතනවල කටයුතු කළ මට මෙම කටයුත්ත කිසිසේත්ම අභියෝගයක් නොවෙයි. මා මෙම තනතුරට පත්කළ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාගේ ඉල්ලීම වූයේ මෙම සමාගමට අයත් වතු ලාභදායී මට්ටමට ඔසවා තැබීම සඳහා කටයුතු කරන ලෙසයි. පෞද්ගලික අංශයේ වැවිලි සමාගමක සිට මෙවන් ආයතනයක් භාරගැනීම ඇත්තෙන්ම සුවපහසු කටයුත්තක් නොවෙයි. නමුත් මම කැමැතියි මේ අවස්ථාව රට වෙනුවෙන් සේවය කිරීමට ලද අවස්ථාවක් ලෙස සලකා මෙම ආයතන තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන තත්ත්වයෙන් මුදා, රජයට ආදායම් ලබාදෙන ආයතන බවට ඔසවා තැබීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීමට.

එබඳු තත්ත්වයකට දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ඔබ ආයතනය සතුද?

ඇල්කඩුව වැවිලි සමාගම සතුව ඉඩම් හෙක්ටයාර් 4053 පමණ තිබෙනවා. ඒවායේ තේ, රබර්, පොල් මෙන්ම ගම්මිරිස් කොකෝවා වැනි සුළු අපනයන භෝග පවතින ඉඩම් මෙන්ම වගානොකළ ඉඩම් රාශියක් පවතිනවා. වගාකළ ඉඩම්වලින් ලැබෙන ආදායම පහළ වැටී ඇත්තේ දශක ගණනාවක් පුරා පවතින වගාවන් නිසා වගාබිම් නිසරුවීම නිසයි. ඇතැම් වතුවල තවමත් තිබෙන්නේ සුදු ජාතිකයින් විසින් වගාකළ ‘තේ’ තේ බීජවලින් පැළලබාගෙන වගාකළ එම වගාබිම්වලින් ලැබෙන ආදායම් රිකිලි තේවලින් ලැබෙන ආදායමට වඩා වෙනස් නමුත් මේ බීජ තේ සඳහාත් වෙළෙඳ පොළක් පවතිනවා. අපි උත්සාහ ගතයුත්තේ පළදායී බව වැඩිකර ගැනීමටයි.

දැනටමත් මුඩුබිම් ලෙස පවතින ඉඩම් සඳහා විශේෂ ව්‍යාපෘති හඳුන්වාදීමට කටයුතු කරන බව ඔබ පැවසුවා?

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම් සියල්ලම වාගේ පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය ආශ්‍රිතවය. මේ ප්‍රදේශයේ ඇති කිරිහරක් කර්මාන්තය සඳහා ඉතාමත් ඔබින දේශගුණය පවතින්නේ, කිරිහරක් කර්මාන්තය දියුණු කිරීමට පශු සම්පත් අමාත්‍යාංශය මෙන්ම දෙපාර්තමේන්තු ආශ්‍රිතව වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කෙරෙනවා. එවැනි ආයතන සමඟ සම්බන්ධවී සමාගම සතු ඉඩම් එවැනි නව ආදායම් උත්පාදන කාර්යන් සඳහා යොමු කිරීම වැදගත් වෙනවා. අප සමාගමට අයත් සෙම්බුවත්ත ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කිරීම වැවිලි සමාගම දියුණු කිරීමේ කාර්ය ලැයිස්තුවේ මූලිකව අංගයයි.

පසුගිය දිනෙක ඔබ සෙම්බුවත්ත ප්‍රදේශයේ සංචාරයක නියැලී තිබුණා. එහිදී ගත් තීන්දු තීරණ කෙබඳු ද?

ඇල්කඩුව වැවිලි සමාගමේ ලාභ ලබන එකම වත්ත ‘සෙම්බුවත්තයි’ ඊට හේතුව නකල්ස් කඳුවැටියේ සොඳුරුතම ඉසව්වක පිහිටි මේ වතුයායේ ඉහළ කොටසේ ඉදිකර ඇති වැවයි. වැවට ඉහළින් ඇති වනාන්තරයේ සිට ගලාඑන දිය දහරාවන්ගෙන් පෝෂණය වන වැව ඊට ඉහළින් ඇති දැවැන්ත ෆයිනස් වනාන්තරයත් සරු තේ වගාවත් නිසා වියලි කාලයේ දකින වැවක සුන්දරත්වයට හාත්පසින් වෙනස් අපූරු සුන්දරත්වයකින් යුතු ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසාම මේ ස්ථානය දේශීයව පමණක් නොව ‍විදේශික සංචාරකයන් ද ආකර්ශනය දිනාගත් ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඇත්තෙන්ම වතුයාය සතු මේ සම්පත මෙම තත්ත්වයට දියුණු කිරීම සඳහා කටයුතු කර ඇත්තේ එහි වතුඅධිකාරිව කටයුතු කරන රැඩිලි දිසාගේ මහතායි. පාඩුලබන තත්ත්වයේ තිබූ වතුයාය ලාභ ලබන තත්ත්වයට පත්කර ඒ ආශ්‍රිතව නව ආදායම් මාර්ග ඇති කිරීමට ඔහු සමත්වී තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් දියුණු කිරීම සඳහා කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම ‍මගේ අරමුණය. ඒ නිසාම ඇල්කඩුව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර තිබෙනවා.

සෙම්බුවත්ත වැව හා ඒ අවට ප්‍රදේශය පෞද්ගලීකරණයට ලක්කිරීමට හෝ විකිණීමට කටයුතු කරන බවට අන්තර්ජාලය ඔස්සේ චෝදනාකර තිබුණා?

එවැනි ‍සංවිධානාත්මක ප්‍රචාරයන් පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවුණා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මේ තනතුරට මා පත්කළේ පෞද්ගලික අංශයේ මා ලත් අත්දැකීම් මෙම ආයතනය වෙත ලබාදී මෙය සංවර්ධනය කරන ලෙස ඉල්ලීමක් කරමින් මෙහි බිම්අඟලක් හෝ කිසිදු කෙනෙකුට ලබාදීමට හෝ විකිණීම සඳහා කිසිදු ආකාරයක වැඩ පිළිවෙළක් ඇත්තේ නෑ. ඇල්කඩුව වත්තට අයත් ප්‍රදේශය සංචාරක පුරයක් ලෙස වැඩිදියුණු කිරීමේදී ආදායම් ඉපයිය හැකි කටයුතු බොහොමයක් පවතිනවා. එවැනි දේ කිරීමේදී පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කිරීමට සිදුවේවි.

එලෙස පෞද්ගලික අංශය සමඟ සම්බන්ධවීමට අදහස් කරන කටයුතු මොනවාද?

වතුයායට අයත් ඉපැරණි තේ කම්හල වසාදමා තිබෙන්නේ 1949 ඉදිකළ මෙම කම්හලේ පැරණි බව සුරකිමින් මෙතැනට පැමිණෙන දහස් ගණන් සංචාරකයින්ට නව අත්දැකීම් ලබාදෙන ආපනශාලාවක් බවට පත්කළ හැකියි. ඒ සඳහා විශාල මුදලක් වැයවෙනවා. එවැනි මුදලක් වැය කළහැකි කෙනෙකුට වසර 30ක වැනි කාලයක් බදු දීමෙන් ආයතනයට බදු ආදායමක් වගේම මෙම ස්ථානය සංචාරකයන් රැඳෙන කාලය දීර්ඝ කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව වැඩිදියුණුවන වක්‍ර රැකියා ප්‍රමාණය මෙන්ම ආදායම් මාර්ග ප්‍රමාණයක් දියුණු කළ හැකි වේවි.

ඔබ පැවසුවා ක්ෂේත්‍ර චාරිකාවෙන් අනතුරුව එහි සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ක්‍රියාත්මක කළයුතු වැඩ ලැයිස්තුවක් හඳුනාගත් බව?

දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙක් පැමිණෙන්නේ වැව දැකගැනීමට මෙන්ම ඒ ආසන්නයේ විවේක සුවයේ කාලය ගත කිරීමටය. තවත් අය වැවට ඉහළින් ඇති ෆයිනස් කැලේ ඇවිදීමට මෙන්ම කුරුල්ලන් නැරඹීම සඳහාත් කාලය ගතකරනවා. ඇතැම් නිවාඩු දිනයන්හිදී ඒ කඳුකර මාර්ගය වාහනවලින් පිරී ඉතිරී යන තරම්. මේ නිසා ගමනාගමන පහසුකම් විධිමත් කිරීම මූලික අරමුණයි. වැව ඉස්මත්ත වෙත ඇතැම් දිනෙක ඇතුලුවන වාහන සංඛ්‍යාව සිය ගණන් නොව දහස් ගණන් වෙනවා.

එම තත්ත්වය යම් ආකාරයකට පාලනය කළයුතු වෙනවා. වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීමෙන් ඒ මාර්ගයේ ඇති තේ වගාව දූවිලිවලින් නැහැවී තිබෙන්නේ. වැසි කාලයට මාර්ගය ලිස්සීමට ලක්වෙන්නේ අසීමිතව වාහන ඇතුල්වීම නිසාය. මේ නිසාම වැව‍ වෙත ප්‍රවේශවීමට පෙර වාහන නතර කිරීමට වෙනත් ස්ථානයක් නිර්මාණ කළයුතු වෙනවා. එතැන සිට වැව වෙතට සංචාරකයින් ගෙනයාමට වාහන කීපයක් යෙදෙවිය හැකියි. මේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් වැව ආශ්‍රිතව සේවය කරනවා. ඔවුන් සැම ලියාපදිංචි කර නිසි ප්‍රමිතියක් ඇතිකළයුතු වෙනවා. මීටර් ක්‍රමය හඳුන්වාදී දෙස්, විදෙස් සංචාරකයින්ගෙන් අයකරන අයකිරීම් පිළිබඳව ඔවුන් අතර එකඟතාවක් ඇති කිරීම වැදගත්. එමෙන්ම වැව මෙන්ම වතුයායේ ආරක්ෂාව පරිසරය සුරැකීම මෙහි ජල මූලාශ්‍රය ආරක්ෂා කිරීම පිළිබඳව මෙන්ම සංචාරකයින් සමඟ කටයුතු කිරීම පිළිබඳව ඔවුන් වෙත යම් උපදෙස් මාලාවක් ලබාදී දැනුවත් කළයුතු වෙනවා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම ප්‍රමුඛවූවිට වතු වගාව දියුණු කිරීම අතුරු කාර්යන් බවට පත්වේවි ද?

කිසිසේත්ම එවැනි කාරණයකට ඉඩක් ඇත්තේ නෑ. අපගේ මූලික කාරණය වතු ආදායම් දියුණු කිරීමය. ඒ සඳහා උපරිම සම්පත් ප්‍රයෝජනයට ගැනීමයි සිදුවෙන්නේ. සංචාරක කර්මාන්තය දියුණු කළහැකි ස්ථාන හඳුනාගෙන ඒවා දියුණු කිරීමෙන් ආදායම් ඉහළ යනවා. ඒ ලැබෙන ආදායමෙන් කොටසක් පාඩු ලබන වතුවල දියුණුවට බැරකළ හැකිය. වසර 100කට ආසන්න වගාවන් පවතින මෙම ඉඩම් අතරින් බොහොමයක් නිසරු බවට පත්වී තිබෙන්නේ. ඒවායින් නිසි ආදායමක් ලැබීමටනම් යම් මුදලක් ආයෝජනය කළයුතු වෙනවා. ඒවාගේම වතු ආශ්‍රිතව සංචාරක කටයුතු වැඩිදියුණු වීමට වගාවන් සරුසාරව පැවතීමත් රුකුලක් වෙනවා. දැනට සංචාරක කර්මාන්තයේ ලැබෙන ආදායම සමාගමේ නඩත්තු කටයුතු සඳහායි වැය වෙන්නේ. ඒ මුදලින් සියයට ප්‍රමාණයක් වැවිලි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවිය හැකිනම් ක්‍රමානුකූලව පාඩු ලබන වතු සංවර්ධනය කළහැකි වෙනවා.

පෞද්ගලික අංශය වතුවගාව දියුණු කිරීමේදී මානව සම්පත් කළමනාකරණ වැනි සංකල්ප බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නවා?

වැවිලි කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නේ කලක් තිස්සේ පැවතෙන නිශ්චිත රාමුවකට අනුගතව. ඒ රාමුවට අනුගත නොවී වඩාත් නිර්මාණශීලී වියහැකිනම් ගැටලු අවම කළ හැකියි. එවිට කම්කරුවන් හිඟවීම වැනි ගැටලුවලට පිළියම් සෙවීමට පහසු වෙනවා.

වෘක්ෂලතා පිළිබඳ විශේෂ දැනුමකින් යුත් වන නිලධාරියකු (Forester) අපි පසුගියදා අප ආයතනයට බඳවා ගත්තේ විශේෂ සැලසුමක් අනුවයි. මධ්‍යම කඳුකරයේ වනවැස්ම ඇති ප්‍රදේශ අතර අපගේ වතුයායෙන් ඉතාමත් වැදගත් ඒවායේ ඇති වගාවන් සේම වෘක්ෂලතා ඉතාමත් වැදගත්. පරිසරයේ සමතුලිත බව රැකෙන්නේ ඔක්සිජන් ප්‍රමාණය ආරක්ෂා වෙන්නේ මේ වන වැස්ම නිසයි. වනාන්තරයක ලක්ෂණ ඇතිව මේ ප්‍රදේශවල කෙරෙන වගාව හඳුන්වන්නේ “Kandyan forest garden” යනුවෙන්. ගෝලීය වශයෙන් අප එකතුකරන ඔක්සිජන් ප්‍රමාණයට ලෝකයේ දියුණු රටවල් මුදල් ගෙවීමට බැඳීසිටිනවා. පිරිසිදු පරිසරයක ඇති වාතයට ලෝක වෙළෙඳ පොළෙහි මිලක් හිමිවෙනවා. එවැනි අංශ වැඩිදියුණු කිරීම අපගේ තවත් අදහසක්.

රාජ්‍ය අංශයේ නිලධාරීන්ට අසීමිත අත්දැකීම් තිබුණත් පවතින රාමුවෙන් ඔබ්බේ තීරණ ගැනීමට මැලිවීම නිසා අකාර්යක්ෂම බව ඇතිවී තිබෙනවා. ඔබ ආයතනයටත් මේ තත්ත්වය පොදු ඇති.

අපගේ නිලධාරී මණ්ඩලය පොදුවේ එක් අරමුණක් වෙනුවෙන් ගොණුවී සිටිනවා. සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් යුතුව කටයුතු කිරීම මගේ පිළිවෙතය. මේ වනවිට සෑම නිලධාරියෙක්ම සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ඉදිරිපත්වී තිබෙනවා. ඉදිරියේ ඔවුන්ගේ සහයෙන් අපගේ ආයතන වැඩිදියුණු කළ හැකිවේවි, අපේක්ෂා කරනවා.

වැඩපිළිවෙළ කුමක් වුවත් ආණ්ඩු මාරුවීමකදී ඒවා‍ ඇනහිටිනවා නේද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර කඩාවැටීමට එයත් හේතුවක්ද?

ඉදිරි දැක්‍මක් ඇතිව හොඳ වැඩ පිළිවෙළක් දියත් කළොත් කවුරු නායකත්වයට පත්වුවත් එය දිගින්දිගටම පවත්වාගෙන යාවි. එවැනි වැඩපිළිවෙළක් වෙනුවෙන් නායකත්වය දීමයි මගේ අරමුණ.

සටහන බුද්ධිකා බ්‍රාහ්මනගේ

ඡායාරූප - චමින්ද නිරෝෂන්


නව අදහස දක්වන්න

Or log in with...