'වැව් දහසක්'සංවර්ධන ව්‍යාපෘතියෙන් පුනර්ජීවය ලබන අනුරපුර එල්ලංගාව | දිනමිණ

'වැව් දහසක්'සංවර්ධන ව්‍යාපෘතියෙන් පුනර්ජීවය ලබන අනුරපුර එල්ලංගාව

''රටේ

පරිභෝජනයට

අවශ්‍ය ආහාර ආනයනය

වෙනුවෙන් විශාල මුදලක් රටින් බැහැරව යන බව සත්‍යයකි. අප රටට අවශ්‍ය ආහාර අප රටේම නිෂ්පාදනය

කරගැනීමට

හැකිවන්නේ නම් රටට භාග්‍යයක් වනු ඇත. වත්මන් රජයේ දීර්ඝ කාලීන

සංවර්ධන ව්‍යාපෘති මතු පරපුර ණය උගුලෙන් ගලවා ස්වයංපෝෂිත

ලංකාවක්

බිහිකරලීමට

හේතුවනු නොඅනුමානය''

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 'වැව් දහසක් සංවර්ධන ව්‍යාපෘතිය' සංකල්පය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එල්ලංගා වැව් පද්ධති දෙකක් ආරම්භ කිරීම ජනපතිතුමාගේ මූලිකත්වයෙන් සැප්තැම්බර් 21 දින අනුරාධපුර, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය වැව් තාවුල්ලේ දී සිදුකිරීමට නියමිතව තිබේ. රටපුරා කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට නියමිත මෙම වැඩසටහන යටතේ අප රට තුළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කර දියුණු කිරීම අරමුණ වේ.

රට පුරා කෘෂිකාර්මික ප්‍රදේශයන්හි පරිහානියට පත්ව තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කර ඒවා යළි සක්‍රීය කරමින් අපතේ යන වැසි ජලය සංරක්ෂණය කර ගොවි ජනතාවට ලබාදීම ජනපතිතුමාගේ මෙම වැඩසටහනේ පරමාර්ථය වේ. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන 'වැව් දහසක්' ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව සිදු කරන අතර ඇතැම් ප්‍රදේශවල 'එල්ලංගා වැව්' පද්ධති කීපයක් ද ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව පිහිටා තිබෙන ස්ථානය වෙත අපි ගියෙමු.

අප එහි යන විටත් නබඩගස්දිගිලිය වැව ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සකස් වෙමින් පැවතිණි. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් නබඩගස්දිගිලිය වැව ඉදිකිරීම සඳහා යුහුසුළුව සූදානම් වන ආකාරයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එම ස්ථානය අධීක්ෂණය කරමින් සිටින අයුරුත් අපට දැකගන්නට ලැබිණි. ඔවුන්ගේ කාර්යයට ප්‍රදේශවාසී ගොවි ජනතාවගෙන් අපමණ සේවයක් ලැබෙන බව අපට වැටහී ගියේ ඔවුන් නිලධාරීන්ට දක්වන සහයෝගය නිසාය.

ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත නබඩගස්දිගිලිය වැව කොළඹ - මන්නාරම ප්‍රධාන පාරට මායිම්ව පිහිටා තිබුණද බැලූ බැල්මට එය වැවක් යැයි සිතා ගැනීමට පවා අසීරු තත්ත්වයක පවතියි. වල්බිහිවී ගිය විශාල ක්‍රීඩා පිටියක ස්වරූපයක් ගත් වැව රොන්මඩවලින් ගොඩවී වියළී තිබෙනු දැකගන්නට ලැබුණි. වැව් බැම්මක් යැයි සිතිය හැකි කැඩී බිඳී ගිය පස් ගොඩැලි එකදිගට තිබීම මෙම ස්ථානයේ වැවක් පිහිටා තිබූ බවට සාක්ෂිය. ප්‍රතිසංස්කරණය කෙරෙන නබඩගස්දිගිලිය වැව ගැන තොරතුරු දැනගැනීමේ අදහසින් එහි තාක්ෂණික කටයුතු බාරව කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරු ඩී. එම්. ජයලත් මහතා සම්බන්ධ කර ගත්තෙමු.

'නබඩගස්දිගිලිය වැව අනුරාධපුර යුගයේ ඉදිවූ වැව් අතර තවත් විශාල පුරාණ වැවක්. මෙහි වැව් බැම්ම කිලෝමීටර් 2.5 ක් පමණ දිගින් යුක්තයි. පළලත් ඒහා සමානව පවතිනවා. මෙම වැව ජල අක්කර අඩි 250 - 60 පමණ ජල ධාරිතාවක් රඳවා තබාගැනීමට තරම් ප්‍රමාණවත්. දැනට මේ වැව වටා කුඹුරු අක්කර 80 ක් පමණ තිබෙනවා. වැව පිළිසකර කිරීමෙන් පසුව එය තවත් වර්ධනය වේවි. වසර ගණනාවක සිට මේ වැවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට ගොඩවෙලා. වැව් බැම්ම ගිලා බැහැලා. ඉතා අබලන් තත්ත්වයක පවතින නබඩගස්දිගිලිය වැව යළි පිළිසකර කර කෘෂිකර්මාන්තයට වගේම වෙනත් කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට ගැනීම තීරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් විශිෂ්ට තීරණයක්. එමඟින් මේ ප්‍රදේශයට ලැබෙන ප්‍රතිඵල අපමණයි. මේ වැව යටතේ තිබෙන කුඹුරුවලින් වී මෙට්‍රික් ටොන් 10,000 ට වැඩි ප්‍රමාණයක් අස්වද්දන්න පුළුවන් තත්ත්වයේ තිබෙනවා. අවසන්වරට මෙම වැව ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1956 වසරේදීයි. ඉන්පසු කාලයත් සමඟ නිසි නඩත්තුවක් නොවූ නිසා තමයි අද මේ තත්ත්වයට පත් වී තිබෙන්නෙ' යැයි ජයලත් මහතා අප සමඟ ප්‍රකාශ කළේය. වැසි ජලයෙන් පිරෙන නබඩගස්දිගිලිය වැව වසර ගණනාවක සිටම වැසි අවසන් වනවාත් සමඟම යළි හිඳී යන්නේය. ඇදහැලෙන වැසි ජලය රඳවා තබාගැනීම තරම් ප්‍රමාණවත් පිහිටීමක් නොමැති වීම එයට හේතුවයි. විශාල ගොවි පවුල් සංඛ්‍යාවක් මෙම වැවෙන් වතුර අපේක්ෂාවෙන් පැවැති රජයන් වෙත ඉල්ලීම් කළද ඒ කිසිවක් ඵලදරා නොතිබිණි. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත කරන ලද ඉල්ලීම පරිදි එතුමා මෙම වැව ගැන වාර්තාවක් ගෙන වහාම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. නබඩගස්දිගිලිය වැවට අමතරව මෙම ප්‍රදේශයේ තවත් වැව් අටක් පිහිටා ඇත. හැලඹ වැව අවට ගොවි පවුල් 80 ක් පමණ ජීවත් වෙති. එයින් කුඹුරු අක්කර 65 ක් පමණ වගාකිරීමට හැකියාව තිබෙන අතර ජල අක්කර අඩි 260 ක පමණ ප්‍රමාණයක් ජලය රඳවා තබාගත හැකිය. මහමිල්ලගොල්ලෑව වැව ආසන්නයේ ගොවි පවුල් 40 ක් වෙසෙන අතර කුඹුරු අක්කර 40 ක් පමණ වගා කළ හැකිය. අක්කර අඩි 180 ක ජල ධාරිතාවක් රඳවාගත හැකියාව තිබේ. ඉහළ හැලඹවැව ගොවි පවුල් 25 කින් සමන්විතය. කුඹුරු අක්කර 12 ක් වගා කළ හැකි අක්කර අඩි 100 ජල ධාරිතාවකට හිමිකම් කියයි. ගලහිටියාව වැව ද ගොවි පවුල් 25 කින් සමන්විතය. කුඹුරු අක්කර 30 ක ප්‍රමාණයක් වගා කළ හැකි අක්කර අඩි 140 ජල ධාරිතාවක් රඳවා තබාගැනීමේ හැකියාව පවතියි. දුණුමඩලාව වැව ගොවි පවුල් 84 කින් සමන්විතව ඇති අතර කුඹුරු අක්කර 95 ක් වගා කළ හැකි අක්කර අඩි 400 ක ජල ධාරිතාවක් එයට රඳවාගත හැකිය. ඉහළ මිල්ලගොල්ලෑව වැවට ද ගොවි පවුල් 15 ක් හිමිකම් කියනවා මෙන්ම කුඹුරු අක්කර 12 ක පමණ ප්‍රමාණයක් වගාකිරීම සඳහා අක්කර අඩි 200 ක ජල ධාරිතාවක් තිබේ. ඉහළ ඇතාවැව ගොවි පවුල් 15 ක් ද කුඹුරු අක්කර 15 ක් ද, අක්කර අඩි 100 ජල ධාරිතාවක් ද හිමිකම් කියති. පහළ ඇතාවැව සතුව ගොවි පවුල් 30 ක් වෙසෙන අතර කුඹුරු අක්කර 25 ක් ද අක්කර අඩි 150 ක ජල ධාරිතාවක් ද රඳවා තබාගැනීමේ හැකියාව ඇත. මෙම සියලු වැව් එල්ලංගා පද්ධතියක් ලෙස ඉදිකිරීමට අපේක්ෂා කිරීම විශේෂයකි.

එල්ලංගා වැව් පද්ධතියක් යනු කුමක්දැයි පැහැදිලි කර ගැනීම සඳහා නැවතත් මම වාරි ඉංජිනේරු ජයලත් මහතා වෙත යොමු වුණෙමි.

“එල්ලංගා වැව් පද්ධතියක් කියන්නෙ වැව් කීපයක් එකිනෙකට සම්බන්ධ කර ජල කළමනාකරණයක් කරමින් ජලය සුරක්ෂිත කර ගැනීම සඳහා ඉදිකරන වැව් කීපයක්. සැම වැවකටම පෝෂක ප්‍රදේශයක් පවතිනවා. මේ එල්ලංගා වැව් පද්ධතියේ තිබෙන විශේෂත්වය තමයි ඉහළ බිමේ පිහිටි වැවේ අතිරික්ත ජලය වාන් දැමූ පසු පහළ වැවට එනවා. ඒ වැවේ අතිරික්ත ජලය වාන් දැමුවාට පසු ඊට පහළ වැවට සම්බන්ධ කරනවා. ඒ වගේ මේ වැව් පද්ධතියේ වැව් නවයක් තිබෙනවා. ඒ ආකාරයට පහළ බිමේ තිබෙන වැව තමයි මේ නබඩගස්දිගිලිය වැව. මේ වැවට ලැබෙන වැසි ජලයට අමතරව ඉහළ වැව් අටේම තිබෙන අතිරික්ත ජලය මේ වැවට ලැබෙනවා. ඒ නිසා මේ වැව ඉතා විශාලව ඉදිකිරීමට සැලසුම්කර තිබෙනවා. මේ වැවටත් ජලය අතිරික්ත වුණොත් ඒවා තලාව හා මහවිලච්චිය වැව් දෙකට මුදාහැරීමට සැලසුම් කර තිබෙනවා.”

මේ ප්‍රදේශ සඳහා එල්ලංගා වැව් පද්ධති සකස් කිරීම ඵලදායක බව මෙහිදී අපට පැහැදිල විණි. එල්ලංගා වැව් පද්ධති සකස් කිරීමේ අරමුණ කවරේද යන්න පැහැදිලි කළේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ උතුරුමැද පළාත් සම්බන්ධීකරණ නිලධාරී සහකාර අධ්‍යක්ෂ සිරිසේන හේරත් මහතාය.

“එල්ලංගාවත් සංවර්ධනය කිරීමේදී ගොවිතැනම විතරක් පදනම් කරගන්නෙ නැහැ. මෙහිදී පරිසරයේ භූගත ජලය වර්ධනය කිරීමෙන් පරිසරයට අවශ්‍ය ගහකොළ සංවර්ධනය කිරීමත්, සතා සිවුපාවාට අවශ්‍ය ජලය ලබා දීමත්, පානීය ජලය ලබාදීමත් අපේක්ෂා කරනවා. ඊට අමතරව ජන ජීවිතයේ ජලය උපයෝගී කරගෙන සිදුකරන ක්‍රියාකාරකම් සඳහාත් ජල පහසුකම් ලබාදීමත් එක් බලාපොරොත්තුවක්. ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍ය මූලික කාරණා අතර ගැළපෙන භූමිය, ජලය, පරිසරය බෙහෙවින් බලපාන කරුණු වෙනවා. මේ ප්‍රදේශය ‍ඒ සියලු සුදුසුකම් සපුරා තිබෙනවා. හොඳ පෝෂ්‍යදායී පසක් සහිත වගාවන්ට හිතකර වාතාශ්‍රයක් පවතිනවා. ඊට අමතරව වන සංරක්ෂිත ගණනාවක් තිබෙනවා. ඒ අනුව බලන විට අනුරාධපුරය වැනි ප්‍රදේශවලට “එල්ලංගා වැව් පද්ධති” සකස් කිරීම ඉතා ප්‍රායෝගිකයි. ඉන් ලැබෙන ප්‍රයෝජනය අති විශාලයි.”

සිරිසේන මහතා එසේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු නබඩගස්දිගිලිය එල්ලංගා වැව් පද්ධතිය සකස් කර ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සඳහා ලැබෙන ප්‍රයෝජන ගැන විලච්චිය ප්‍රාදේශීය සභා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රිනී කාවින්දි නිමේෂා රත්නායක මෙනෙවිය අදහස් දැක්වූයේ මෙසේය.

“සකස් කිරීමට නියමිත එල්ලංගා වැව් පද්ධතියට අයත් සියලුම වැව් ඉතා පැරණි වැව්. අපේ පරම්පරා ගණනක්ම මේ ප්‍රදේශයේ පදිංචි අය. අපේ මුතුන්මිත්තන්ගෙ දෑත්වලින් තමයි අතීතයේ මේ වැව් තැනුවෙ. පැවැති කාලය තුළ ඒවා නිසි ආකාරයට ප්‍රතිසංස්කරණය වුණේ නැහැ. එන්න එන්නම වල්බිහිවෙලා ගියා. එහි ප්‍රතිඵලයක් නිසා තමයි අපි මේ වන විට දුක් විඳින්නෙ. මේ ප්‍රදේශයේ ජනතාව 100% ම ගොවි ජනතාව. ඒත් වතුර නැති නිසා මේ අය අසරණ වෙලා. වැසි වැටෙනකල් අහස දිහා බලා ඉන්නවා. හිටපු දේශපාලකයන්ට මේවා කිව්වට වැඩක් වුණේ නැහැ. පොරොන්දුවලට පමණක් සීමා වුණා. ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැතිවරණ පොරොන්දුවක් වූ මේ සංකල්පය දැන් ඉටුකරගෙන යනවා. එතුමාගේ මේ උදාරතර සංකල්පයට ප්‍රදේශයේ ගොවි ජනතාව අනේක වාරයක් ස්තූති කරනවා. පින් දෙනවා. මේ වැව් ටික නැවත ස්ථාපිත කළාට පසුව බයක් සැකක් නැතුව ගොවිතැන් කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතියෙන් ර‍ටේ සහල් නිෂ්පාදන මෙන්ම අතිරේක බෝග නිෂ්පාදනයත් වැඩි වෙනවා. එයින් රටේ ආහාර හිඟය නැති වේවි” යැයි ඇය ප්‍රකාශ කළාය.

නබඩගස්දිගිලිය ගොවි සංවිධානයේ සභාපති අනුර සමන් දිසානායක මහතා මා සමඟ එක්වුණි.

“මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාගේ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සිදුකරන “දහසක් වැව් පිළිසකර කිරීම” වැඩසටහනේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම වැව් 17 ක් ප්‍රතිසංස්කරණය වෙනවා. එම වැව් පද්ධතියේ විශාලම වැව තමයි නබඩගස්දිගිලිය වැව. මේ වැව පරිහානියට පත්වීම නිසා අපි වසර ගණනක් දැඩි ජල හිඟයෙන් දුක් වින්දා. අහස් දිය වැටෙනතුරු බලා ඉන්නවා හැර අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒත් වැස්ස නතර වෙනවත් සමඟම යළිත් ජලය නැතිවෙනවා. මොකද වතුර රඳවාගන්න ක්‍රමයක් නැති නිසා. ඒ නිසා එක් කන්නයක් කුඹුරු වගාකරන්නෙත් හරි අමාරුවෙන්. වී පැහෙනකොට වතුර නැතුව යනවා. ඉතිං ගොයම වේලෙනවා. ඒ විදියට අපේ කුඹුරු කොච්චරනම් පාළු වුණාද? අපි හරි බයෙන් තමයි වී ගොවිතැන කළේ. කොයි මොහොතෙ පාළුවෙලා යාවිද දන්නෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ ප්‍රදේශයේ මිනිස්සු ගොවිතැන නතර කරල වෙනත් ප්‍රදේශවලට ගිහින් කුලී වැඩ කරනවා. කාන්තා පිරිස් ඇඟලුම් කම්හල්වලට යනවා. ඒත් දැන් අපට බලාපොරොත්තුවක් තියෙනවා. අපේ ගොවිකම රැකගෙන ජීවත්වෙන්න පුළුවන් කියලා.”

ඔවුන් පවසන පරිදි පැවැති තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් රටේ කෘෂිකර්මාන්තයට කණකොකා හඬනු ඇති. කෘෂිකර්මාන්තය නඟාසිටුවමින් ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කිරීමට ජනපතිතුමාට සිත් වූයේ රටේ ජනතාවගේ වාසනාවකට යැයි මට ද සිතුණි.

මහවිලච්චිය ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ගොවි ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට ජනපතිතුමා ප්‍රධාන යහපාලන රජය ගත් පියවර ගැන තව බොහෝ පිරිස් අදහස් එක්කළහ. ඔවුන් අතර වී. පී. ජයරත්න, නිශාන්ත වන්නිනායක, එම්. පී. ජයවර්ධන යන ගොවි මහතුන් ඉදිරිපත් කළ ප්‍රකාශ තුළ ගැබ්වූයේ.

මේ ප්‍රදේශයේ වී ගොවිතැනට අමතරව බඩඉරිඟු, තල, කුරක්කන්, උඳු, රටකජු, කව්පි ප්‍රධාන වශයෙන් වගාකරන බවත් ඒවාට වතුර අවශ්‍ය බවත්ය. ඊට අමතරව පානීය ජල හිඟයට හා වෙනත් අවශ්‍යතාවලට මෙම වැව් පද්ධති මඟින් පිටිවහලක් වන බව ද ඔවුන්ගේ අදහස විය. තවත් විශේෂ කරුණක් ඔවුහු ඉදිරිපත් කළහ. එල්ලංගා වැව් පද්ධතිය හා ඇළවේලි ප්‍රතිසංස්කරණය කරමින් හා අලුතින් ඉදිකරමින් මේ භාරධූර කාර්යයට ප්‍රමුඛ දායකත්වය දක්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකාය නිසා ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ ජනතාව දැඩි විශ්වාස තබන බවය. “යුද හමුදාව වැඩේට අතගැහුව නම් අපට ඒ ගැන කිසිම බයක් නැහැ” ඔව්හු පවසති. මීට පෙර නොයෙක් ඉදිකිරීම් කරන ලද්දේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ය. ඔවුන් මූලිකත්වය දුන්නේ අධික ලාභයට නිසා කොන්ත්‍රාත්තුවේ ප්‍රමිතිය ඉතා පහළ මට්ටමක තිබූ හෙයින් ටික කලක් යද්දී ඒ ඉදිකිරීම් ගරාවැටී පෙර තිබූ ආකාරයටත් වඩා අබලන් වූ බව ජනතාවගේ අදහස විය.

එහෙත් මෙවර වැව් ප්‍රතිසංස්කරණය යුද හමුදාව විසින් සිදුකිරීම නිසා එහි නියම ප්‍රමිතිය අපේක්ෂා කළ හැකි බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වී තිබේ. මේ ආකාරයට වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලීන නොවන අතර මේවාහි ප්‍රතිඵල දීර්ඝ කාලීනව අපේක්ෂා කළ හැකි බව ද ජනතාවගේ විශ්වාසය වී තිබේ. රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන කෘෂිකර්මාන්තය දියුණුවට වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳවද ගොවි ජනතාවගේ ප්‍රශංසාව හිමිවීම පුදුම සහගත නොවන කරුණකි.

රටේ පරිභෝජනයට අවශ්‍ය ආහාර ආනයනය වෙනුවෙන් විශාල මුදලක් රටින් බැහැරව යන බව සත්‍යයකි. අප රටට අවශ්‍ය ආහාර අප රටේම නිෂ්පාදනය කරගැනීමට හැකිවන්නේ නම් රටට භාග්‍යයක් වනු ඇත. වත්මන් රජයේ දීර්ඝ කාලීන සංවර්ධන ව්‍යාපෘති මතු පරපුර ණය උගුලෙන් ගලවා ස්වයංපෝෂිත ලංකාවක් බිහිකරලීමට හේතුවනු නොඅනුමානය.

විශේෂ ස්තූතිය - ජනාධිපති මාධ්‍ය අංශයේ කසුන් භාග්‍ය සහ වරුණ යන මහත්වරුන්ට.

සටහන

නිශාන් මෙන්ඩිස්

ඡායාරූප-වාසිත පටබැඳිගේ


නව අදහස දක්වන්න

Or log in with...