අවුරුදු 53 කට පෙර හයේ පන්තියේ දවසක් | දිනමිණ

අවුරුදු 53 කට පෙර හයේ පන්තියේ දවසක්

දිනය හරියටම 1965 සැප්තැම්බර් මස 23 වෙනිදාය. සුමිත්‍රආරච්චි සර් චිත්‍ර පාඩමට සූදානමිනි. චිත්‍ර මෙතරම් බැරෑරුම් දැයි මට සිතුණේ මේ පාසලට ඇතුළත් වීමෙන් පසුවය. මේ අලුත් පාසලට මා ඇතුළු කළේ මේ වසරේ ජනවාරි මුලය. පාසල රජයට පවරාගෙන තවම වසර තුන හතරකට වඩා නැත. පවරා ගැනීමට පෙර පාසල පාලනය වූයේ යාබදව පිහිටි පල්ලියෙනි.

තවමත් පල්ලිය හා පාසල අතර ගේට්ටුවට ඉබි යතුරු දමා නැත. දහවල් 12 පල්ලියේ සීනුව නාද වන විට ඇන්ටන් නාසරත්, කීත් වැන්ඩවට් වැනි බර්ගර් ළමුන් මෙන්ම ලෙස්ලි බ්ලෙයාර්, ලක්ෂ්මන් පෙරේරා, ක්‍රිස්ටෝපර් පින්ටෝ, සීමන්ස් වැනි අපේ හය වසර බී පන්තියේ ළමුන්ද නැගිට කුරුසිය ලකුණු කරති. ඒ වන විට පන්තියේ ගුරුවරයා හෝ ගුරුවරිය කුරියාකෝස් මිස් හෝ මැන්චෙස්ටර් සර් නම් ඔවුන්ද එලෙසම කුරුසය ලකුණු කරති. ඒ මොහොතට මුළු පාසලම නිහඬ වේ. එවිට ඇසෙන්නේ පල්ලිය පාරේ මිරිස් මෝලේ හඬ පමණි. කුරියාකෝස් මිස් අපේ ඉංග්‍රීසි ගුරුතුමියයි. ඈ බර්ගර් කාන්තාවකි. මහත දෙහෙතය. සැරය. නිතරම අප වැනි ඉංග්‍රීසිවලට අදක්ෂ ළමුන්ට වේවැලෙන් තලා පන්තියෙන් ඉවතට දමයි. මැන්චෙස්ටර් සර් සැර නැත. එහෙත් ළමුන් ඔහුට මැන්චා යැයි කියති.

කුරියාකෝස් මිස් අපේ ප්‍රින්සිපල්ගේ බිරිඳය. ප්‍රින්සිපල්ගේ නම අසන්නෝ ඒ කවර නමක්දැයි විමසති. එස්.කුරියාකෝස්, සමහරු ඒ නමට සිනාසේ. එතුමා ඉන්දියාවේ කේරලයේ ඉපිද බොහෝ කලකට පෙර ලංකාවට ආ මලයාලම් ජාතිකයෙකැයි අපේ තාත්තා කියයි. ඔහුගේ පාට පාට විශාල කුඩය කුමන හෝ පාසල් ක්‍රීඩා උළෙලකදී සීවලී පිටියේ දුර ඈතකදී වුව අපට හඳුනා ගැනීමට පුළුවන. ඒ කුඩය ඇලයට ඇන ඇල ගැසුණු කුඩයේ මිටට සිරුර බර දී සිටින බැවිනි. බොහෝ කුඩ හිසට සෙවණ කළත් අපේ ප්‍රින්සිපල්ගේ කුඩයට සිදුව ඇත්තේ තරමක මහත දෙහෙත එතුමාගේ සිරුරට කර ගසන්නටය.

සුමිත්‍රආරච්චි සර් චිත්‍ර පාඩම පටන් ගැනීමට පෙර ඊට අප සූදානම් දැයි සොයා බලයි. චිත්‍ර පොත, සායම් පෙට්ටි, සායම් ටියුබ්, අඩිරූල්, මකන කෑලි, කටර්, පැන්සල් ද මේ සියල්ල විමසා අඩුපාඩු ඇති ළමුන්ට අඩිරූලෙන් පාරක්ද ගසා පන්තියෙන් එළියට දමයි. ඔහු පන්තියේ බුද්ධ ධර්මය ගුරුවරයාද වේ. ධම්මපදය පාඩම් නැතිනම් ඔහු අපට දෙන්නේද එම දඬුවමමය. අපේ පන්තියේ ඇන්ටන් නාසරත්, ජයන්ත පතිරණ සහ දයානන්ද චිත්‍ර ඇඳීමට රුසියෝය. දයානන්දගේ පියා හංගමුවේ සයිමන්ය. සෑම වසරකදීම රත්නපුර මාර්කට් එක ඉදිරිපිට වෙසක් තොරණ අඳින ඔහු තොටලඟ තොරණද අඳින බව දයානන්ද පවසන්නේ ආඩම්බරයෙනි. මට ඔවුන් තරමට චිත්‍ර අඳින්න බැරි වුණත් සර් හැමදාම 5/10 ට උඩ ලකුණු ලබා දෙයි. සුමිත්‍රආරච්චි සර් රත්නපුර දවස පත්‍රයේ වාර්තාකරුවාය. විවිධ උත්සව පින්තූර ගනී. ඒ කළු සුදු පින්තූරය.

සර් පන්තියට පැමිණි මුල් දිනයේම උෂ්ණ හා සීත වර්ණ පාඩම පටන්ගත්තේය. අප ලවා වර්ණාවලිය චිත්‍ර පොතේ පිටුවක් පුරා ඇඳීමට දී ඔහුම පින්සලය ගෙන අඩු වැඩිද බැලුවේය. තද උෂ්ණ වර්ණයේ සිට ලා පැහැති සීත වර්ණය දක්වා වර්ණාවලිය විකාශනය වන අසිරිය අප පළමු වරට දුටුවේ එදාය. මූලික වර්ණ මුසු කොට වෙන් වෙන් වර්ණ සකසක අයුරු පහදා දීමට ඔහු දැන් සූදානම් වේ.

මේ ඉන්ටවල් එකට පෙර පීරියඩ් එකය. තව ටික වෙලාවකින් පල්ලියේ 12 සීනුව නාද වනු ඇත. අම්මා හැමදාම පාසලට ගෙන යාමට හදා දෙන දොඩම් වතුර බෝතලය උදේ 10 වන විටත් දෙවරකට බී අවසන් කළෙමි. අලුත් පාසලට ඇතුළත් වීමට පෙර අම්මා මට පොත්පත් ද සියල් තීන්ත පෑනක්ද නිල් පාට පාකර් තීන්ත කූඩුවක්ද කවකටු පෙට්ටියක්ද මිලට ගෙන දුන්නාය. පොත් ගෙන යාමට පොඩි FORD සූට් කේසයක්ද, තොප්පියක්ද, මේස් කූට්ටමක් සහ බාටා සපත්තු කූට්ටමක්ද අම්මා මිලට ගෙන දුන්නේ රත්නපුර මහ වීදියේ පියදාස සාප්පුවෙනි.

රණවීර සර්ගේ සිංහල පාඩම අද උදේ පැවතිණි. සර් අද නැවත වරක් සිංහල 6 පොතේ මායා රංජන්ගේ නෙල්ලිකැලේ පාඩම කියා දුන්නේය. රචනා පාඩමේදී රණවීර සර් මගේ රචනා අගය කරයි. ළඟකදී මගේ රචනාවකට ලකුණු 9/10 ක් ලබා දී සෙසු ළමුන්ට ඇසෙන සේ රචනාව කියවන්නට ද කීවේය.

අපේ පන්තිය පාසලේ වේදිකාව උඩ පවත්වාගෙන යයි. වේදිකාව ලෑලිවලින් සැදූ එකකි. එහි පසෙක විශාල පෙට්ටියේ ඇත්තේ කඩා බිඳ දැමූ වටිනා පියානෝවකැයි ළමෝ කියති.

පාසලේ රැස්වීම් පැවැත්වෙන දිනවල අපේ පන්තියේ ඩෙස්ක් පුටු දෙපසට ඇද වේදිකාවට ඉඩකඩ සපයා දිය යුතුය. ඒ අතර ප්‍රධාන ශාලාවේ පන්ති වෙන්කර ඇති ස්ක්‍රීන් ඒ ඒ පන්තිවල ළමුන් පාසල පසෙක දිග සඳළුතලයට ගෙනයා යුතුය. ඉන් පසු පන්ති කාමරවල පුටු වේදිකාව දෙසට හරවා ගැනේ. දැන් ඉතින් ශාලාව හා වේදිකාව අංගසම්පූර්ණය. 6 B අපිදු වේදිකාවෙන් බැස ශාලාවේ කොතැනක හෝ පුටුවක අසුන් ගන්නෙමු.

බුක් ෂොප් එක ඇත්තේද වේදිකාවේ පසෙක වෙන් වූ තවත් කුඩා කුටියකය. පොත් පත් කවකටු පෙට්ටි වැනි පාසල් උපකරණද පාසලේ බැජ් ද එහි අලෙවි කෙරේ. ඊට අමතරව අලෙවි කරන්නේ අයිස්පලම් පමණය. අයිස් පලමක් ශත 10 කි. අයිස් චොක්ස් නමින් හඳුන්වන මිටක් රහිත ඇළුමීනියම් පැහැ දවටනයේ ඇති පලමක මිල ශත 25කි. අද ඉන්ටවල් එකේදී අයිස්චොක් එකක් කෑමට මා සිතා සිටිමි. අම්මා උදෑසන දුන් ශත 25 කාසිය තවමත් කලිසම් සාක්කුවේ ඇතිදැයි වරින් වර මා කලිසමට අත දමා කීප වරක්ම විපරම් කළෙමි.

මා දොඩම් වතුර රැගෙන යන්නේ හිස් පරණ ග්‍රයිෆ් වෝටර් බෝතලයකය. උදෑසනක් පාසා එම බෝතලය දොඩම් වතුරින් පුරවන අම්මා එහි මූඩිය තද කරන්නේ පරණ පත්තර කොළ ඇබිත්තක්ද මූඩියට හිර කරමිනි.

ඉහිරුවා ගන්න එපා පොත් නාස්ති වෙයි. අම්මා අනතුරුව කියයි. එහෙත් වරින් වර බෝතලයේ මූඩිය අරිමින් වහමින් දොඩම් වතුර කටේ දමා ගන්නා මා අතින් මූඩිය හරිහැටි තද නොවේ. අදත් එසේමය. මම සූට් කේසය වසා දමා එයත් තොප්පියත් අතට ගෙන ඇන්ටන් නාසරත්ගේ මුහුණ දෙස බලමි. ඔහු අපේ පන්තියේ මොනිටර්ය. ඔහුගේ නම ඊට යෝජනා කළේ කුරියාකෝස් මිස්ය. නාසරත්ට මිස් අමතන්නේ නැසරත් කියාය. ඔහු මෙන්ම කීත් වැන්ඩවට් ද බර්ගර් ළමුන්ය. පහුගිය වාරයේ පන්තියේ පළමු වෙනියා ඔහුය. ගණිතය උගන්වන දෙගම්බඩ සර් දෙන වීජ ගණිතය ජ්‍යාමිතිය මෙන්ම අංක ගණිතයද ඔහුට කජු කනවා වාගේය. ළමුන් සඳහන් කරන්නේ එෆ්.ආර්. ජයසූරිය මහතාටවත් ඇන්ටන් නාසරත්ට තරම් ගණන් බැරුව ඇති කියාය. ජයසූරිය මහතා එම ගණන් පොත් තුනේම කතුවරයාය.

ඊයේ ගෙදරදී හදාගෙන ඒමට දුන් ගණන් ටික අද උදයේම පැමිණ ඇන්ටන් නාසරත්ගෙන් කොපි කරගත්තත් හිතට බයය. දෙගම්බඩ සර් පොඩ්ඩ බැරි වුණාම අඩි කෝදුවේ පටු පැත්තෙන් ඇඟිලිවලට ගසා පන්ති කාමරයෙන් එළියට දමයි. ගුටි කෑමටත් වඩා දුක මේ එළියට දැමීමය. පාසල් කාර්යාලයේ සිට එහා කෙලවරේ ගුරු විවේකාගාරය දක්වා දිගු පැසේජයේ සිටගෙන සිටීමට එවිට සිදු වේ. සිසුන් මෙන්ම ගුරුවරුනුත් මේ ගණන් බැරි ළමුන් දෙස බල බලා යති.

කළු හීන්දෑරි දෙගම්බඩ සර්ගේ දත් ඇන්ද නම් සුදුම සුදු පාටය. ඔහු අඳින්නේද සුදු පැහැති කලිසම් සහ කමිසය. කලිසම ඇඟටම හිරවෙන පරිද්දෙනි. ඔහුගේ උල් සපත්තු දෙක මූණ බැලීමට තරම් පොලිෂ් කරලාය. දෙගම්බඩ සර්ගේ මුහුණේ ලේ කඳුළක්වත් නැත. ඔහු ගෙදරදී හදාගෙන ඒමට දෙන වීජ ගණිතය හෝ අංක ගණිතය කියා දීමට ගුරුවරියක වුවත් අපේ අම්මා නොදනී. ගල්ලෑල්ලේ ඉස්කෝලේ අපට ඉගැන්නුවේ අංක ගණිතය විතරයි. අම්මා දුකෙන් කියයි.

දෙගම්බඩ සර් අපට දයාවක් නොපෙන්වයි. ඒත් අන්තෝනී දකින විට ඔහුගේ මුහුණට කලඑළිය වැටේ. අන්තෝනි අපේ පාසලේම දෙමළ පන්තියක ඉගෙනුම ලබයි. පාසලේ ඝන්ටාරය හඬවන සෙබස්තියන් හෙවත් සෙබ්බාද අන්තෝනිද විදුහල්පතිතුමාගේ නිල නිවසේ සිට දිනපතා පාසලට පැමිණේ.

පාසල පල්ලෙහා ඌරු කොටුවටත් බොහෝ දුර පට්ටිඕවිට නිල නිවසේ සිට හතිලලා එන කුරියාකෝස් මිස්ගේ පසුපස වැටී අන්තෝනි ඇගේ අඩුමුකුඩුම මල්ල ඈ පසුපස වැටී අන්තෝනී රැගෙන එයි. එහෙත් ප්‍රින්සිපල් නම් මේ ගමන එන්නේ මිටෙන් හළ කුරුල්ලකු ලෙසිනි. ඇගේ පෙරමගට යන කපිල නාඔටුන්න, කීන්, පින්ටො, ලක්ෂ්මන් පෙරේරා වැන්නන් ගුඩ් මෝර්නින් මැඩම් කියති. ඇයද පෙරලා ඔවුන්ට සමාචාර දක්වයි. ආචාර සමාචාරයෙන් නොනවතින, රොඩ්නි, බ්‍රයන්, සුනිල් මාලවන වැනි ලොකු පන්තිවල අයියලා මිස් සමඟ හරි හරියට ඉංග්‍රීසියෙන්ම කතා කර කර ඈ පසුපස වැටේ. පෙරමඟට ගොස් ඇයට ගුඩ් මෝර්නින් කීමට හැමදාම හිතුවත් මට ඒ සඳහා දිරියක් නැත. ගුඩ් මොර්නින් යැයි නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකිව ඇගෙන් දඬුවම් විඳීමට සිදුවේ යැයි මට බිය සිතේ. ZOO උච්චාරණය මට කියා දීමට ඈ කීවරක් උත්සහ කළාද.. එහෙත් මට මෙන්ම බොහෝ දෙනෙකුට කියවෙන්නේ SOO කියාය.

අපේ පන්තියේ හැමෝගේම පැන්සල් උල්කර දෙන්නේ තිස්ස අංගම්මනය. ඔහු එම කාරිය කරන්නේ ඉතා කැමැත්තෙනි. ඊට අමතරව ඔහු රැජින මාර්ක් කුඩ මිටවලින් සහ පබලු ඇටවලින් කදිමට මුදු සාදයි. තිස්සගේ පියා දොලොස්වල වලව්වේ අංගම්මන අප්පෝය. ඔවුන් සතු දැවැන්ත හෝල්ඩන් කාර් රථය මුළු රත්නපුරයටම අති හෝල්ඩන් කාරය වුවත් තිස්ස අංගම්මන කිසි විටෙකත් පුරසාරම් නොදොඩයි. අපේ තාත්තා කියන්නේත් ඔහුගේ පියා වන ඇල්ෆ්‍රඩ් අංගම්මන අප්පෝ යනු නිරහංකාර රදලයෙකු බවය.

මම පාසලට එන්නේ ඉන්ද්‍රපාල මාමාගේ මොරිස් මයිනර් රථයෙනි. 3 ශ්‍රී 7539. ඉන්ද්‍රපාල මාමාගේ පුතා මට වඩා ඉහළ පන්තියක ඉගෙනුම ලබයි. සමන් දේවාලය අසල බැවින් අපේ ගමට කියන්නේ දේවාලේ ගාවා කියාය. තවම පාසලට කොඩියක් වත් නැත. පාසලට කොඩියක් ළඟදීම මැසිය යුතු යැයි අම්මා ඊට මුල පිරුවේ පසුගිය දවස්වලය.

අප වඩාත් බය කුස්සි අම්මාටය. දැලි කුණු සහිත වහන්තරා අඳින ඈ කෙසඟ ගැහැනියකි. කොතෙක් රණ්ඩු වූ ගමන්ය. පාසලේ ළමුන්ට ලොකු සාස්පාන්වල ඇදිහැස කිරිපිටි සාදා දෙන්නේ ඇයයි. සමහරු එම කිරිපිටිවලට කෙයාර් පිටි කියාද කියති.

ෆර්ගසන් විදුහල අසල ටොකුගහ පාමුල මෙසේ දැරියන් රැගෙන එන තිරික්කල් රැසකි. තිරික්කල්වලින් බසින දැරියෝ එතැන් සිට කඳුගැටේ පිහිටි පාසලට පා ගමනින් යා යුතුය. කුඩා දැරියන් මෙන් නොව වැඩිහිටි දැරියන් තිරික්කලවලින් බසින්නේ බොහෝ සීරු මාරුවටය. පළමුව තිරික්කලය තුළම කුදු ගැසී සිටගන්නා ඔවුහු සුදු ගවුමේ පොඩි වූ රැළි දිගහැර වටොර දෙස හැරී බලති. අනතුරුව අනිත් පයත් පා පුවරුවේ තබා කලවා නිරුවත් නොවන්නට ඉතිරි පාදයද පා පුවරුවේ තබන්නේ අපූරු රිද්මයකටය. මේ කාරිය කෙතරම් සකසුරුවමට සිදු කළද විටෙක වියපත් දැරියකගේ ඇත් දළ පැහැ දෙකලවා කළුවර රැයක විදුලියක් සේ පෙනී නොපෙනී යයි. පාසල් නිමවා දැරියන් පැමිණෙන තුරු ඔවුන් පැමිණි තිරික්කලවල එක් එක් හැඩයට ටොකු ගස පාමුලය. දිගේලි කල ගවයෝ ඒ අසල තණ උලා කති. ඇතැම් ගොනුන් විට කමින් නිදි කිරා වැටෙති.

විවේක කාලය තුළ පාසල ඇරඹීමට සහ අවසන් වීමට පෙරත් සී. දයාරත්න ඇතුළු ටික් බෝලකරුවන්ට පල්ලියේ විසල් මිදුලේ සෙවණැති අහුමුළු තවමත් විවෘතය. සී. දයාරත්නගේ එක් සාක්කුවක ටොයියෝ ය. අනෙක් සාක්කුවේ කබ්බෝය. කබ්බන් හෙවත් පතුරු ගැලවුණු ටික් බෝල දෙකකට හෝ තුනකට එක කිරි ටොයියෙක් සී. දයාරත්නගේ ටික් බෝල බැංකුවෙන් හුවමාරු කරගත හැක. ඔහු හත්වන පන්තියේ ඉගෙනුම ලබයි.

පාසල වෙතත්, පල්ලිය වෙතත්, වෙන වෙනම පියගැට පෙළ දෙකකි. ඒවා ඇරඹෙන්නේ හද්දා පාළු පල්ලිය පාරේ එකිනෙකට මද දුරක් ඈතින්ය. මැල්පීඥයානු සමරු ගොඩනැගිල්ල එම පිවිසුම් දෙමංසලට මැදිව හිස් අහස දෙස බලා හිඳී. සිලින්ඩරාකාර උස් ගොඩනැගිල්ලේ වීදුරු ගලින් නිර්මිත යෝධ කුරුසය අපට අදහාගත නොහැකි විශ්මයකි.

පියනමක් අවු රශ්මිය නොතකා ශාන්ත පෝල් සහ පාවුලු පල්ලිය වෙත වැටී ඇති පියගැටපෙළ නැග ගොස් කෙටි බිත්තියකට දෑත වාරුදී අවු රශ්මියෙන් දිදුලන රත්නපුර නගරය දෙස බලා හිඳී. ඉතාලි ජාතික එම පිය නම තව නොබෝ දිනකින් දිවයිනෙන් පිටත්ව රෝමය බලා යාමට නියම වූවෙකි.

ර/ ශාන්ත ඇලෝසියස් විදුහල මේ සතියේ සිය 120 වෙනි සංවත්සරය සමරයි.

සුනිල් ලීලානන්ද පෙරේරා

නව අදහස දක්වන්න