වතු දිවිය සරු කරන පස් අවුරුදු ජාතික සැලැස්ම | දිනමිණ

වතු දිවිය සරු කරන පස් අවුරුදු ජාතික සැලැස්ම

 හරිත රන් නිවාස ව්‍යාපෘතියෙන් කඳුරට ජන දිවියට අරුණ

 ඉදිවන නව ගම්මානවලට සියලු යටිතල පහසුකම්

 ඉන්දීය රජයෙන් වැවිලි ප්‍රජාවට නව නිවාස 4000ක්

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ දැක්ම වනුයේ වැවිලි ක්ෂේත්‍රය ප්‍රජාව අනෙකුත් ජන කොටස් හා සමාන තත්වයකින් ආත්ම ගෞරවයකින් හා අභිමානයකින් හෙබි ග්‍රාමීය ප්‍රජාවක් ලෙස දියුණු කිරීමයි.

අප අමාත්‍යාංශයේ මෙහෙවර වන්නේ වැවිලි අංශයේ ජනතාවගේ සුබසාධනය ඔවුන්ගේ වාසස්ථාන ජීවන තත්වය හා සමාජ ආර්ථික පහසුකම් වැඩි දියුණු කිරීමෙන් ප්‍රවර්ධනය කිරීමයි. මෙම දැක්ම හා මෙහෙවර ඉටුකර ගැනීම සඳහා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා හා අමාත්‍යාංශ ලේකම් රන්ජනී නඩරාජා පිල්ලේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය කැපවී සිටියි.

ශ්‍රී ලංකාව සිය සමාජ හා මානව සංවර්ධන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ඉහළ මට්ටමේ දියුණුව සම්බන්ධයෙන් දිර්ඝ කාලීනව පිළිගැනීමකට ලක්ව සිටින අතර වසර 2015 වන විට තම සහස්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අවැසි නිසි මාවත කරා අවතීර්ණය වී ඇත. කෙසේ වුවද අත්කරගෙන ලැබ ඇති ප්‍රශංසනීය ප්‍රතිඵල රටේ මෙන්ම ජනවර්ග හා සමාජ කණ්ඩායම් අතර සමව බෙදී නොයෑම හේතුවෙන් තව දුරටත් අභියෝගවලට මුහුණ පෑමට සිදුව ඇත. ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජන බහුතරයකින් සමන්විත වන වැවිලි ප්‍රජාව එබදු එක් කණ්ඩායමක් වන අතර සමස්ත වශයෙන් ගත් කල එය සුවිශේෂි තත්වයකි.

තේ සහ රබර් වතු ආශ්‍රිතව ලයින් කාමර සහිත පේළි නිවාසවල වෙසෙන දිළිදු කම්කරු ජීවන රටාවකට හිමිකම් කියන ඔවුන් අඩු ආදායම් මට්ටමක් සහිතව ඉහළ ධරිද්‍රතාවයෙන් පෙළෙන පසුගාමී ජනතාවක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් පැවැති රජයන් වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරුන් කැප වී ක්‍රියාකර තිබුණේ නැත. මෙම පසුබිම මත 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන ලද යහපාලන රජය වැවිලි ප්‍රජාව නඟාසිටුවීම සඳහා නව ප්‍රවේශයකින් අවධානය යොමු කළේය. විශේෂයෙන්ම ඊට ප්‍රධාන හේතුවක් වූයේ යහපාලන රජය මෙන්ම ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සෘජුවම වැවිලිකරයේ ඡන්ද බලපා තිබූ බැවිනි. එයට කැපවී කටයුතු කළේ කම්කරු ජාතික පෙරමුණේ නායක එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පලනි තිගාම්බරම් මහතාය. ඒ අනුව වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමේ වගකීම ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවමින් පලනි තිගාම්බරම් මහතා හට පැවරීය.

වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන අපේක්ෂාව වූයේ වැවිලි ප්‍රජාවගේ වාසස්ථාන, ජීවන තත්වය හා සමාජ ආර්ථික පහසුකම් වැඩි දියුණුකර වැවිලි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඵලදායි මානව සම්පතක් සුරක්ෂික කෙරෙන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ සුබසාධනය හා අභිමානය ප්‍රවර්ධනය කිරීමයි. එම අපේක්ෂාව පෙරදැරි කරගෙන මෙහිදී දින 100 වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

1840 වර්ෂයේදී බ්‍රිතාන්‍යන් මෙරට කෝපි වගා කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගත් මෙම වතු ප්‍රජාව පසුව තේ හා රබර් කර්මාන්තය ආශ්‍රිතව කම්කරුවන් ලෙස ලයින් කාමර සහිත පේළි නිවාස සිය වාසස්ථාන කරගනිමින් ඉතා දිළිදු කම්කරු ජීවිතයක් ගත කළහ.

පලනි තිගාම්බරම් අමාත්‍යතුමා ක්‍රියාත්මක කළ දින 100 වැඩසටහන යටතේ ඔවුනට පර්චස් 7ක භූමියක හිමිකම සහිත ඔප්පු පිරිනමමින් එම භුමියේ වර්ග අඩි 550ක ඉතා මනරම් නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම වැඩසටහන හරිත රන් නිවාස යෝජනා ක්‍රමය හා හරිත රන් ඔප්පු ප්‍රධානය ලෙස නම්කර ක්‍රියාවට නැංවීය. මෙහිදි සිය මැතිවරණ දිස්ත්‍රික්කය වූ නුවරඑළිය දිස්ත්‍රික්කයට සිමා නොවු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නුවරඑළිය, මහනුවර මාතලේ බදුල්ල ගාල්ල රත්නපුර කෑගල්ල ආදි වශයෙන් ලක්ෂ 15 කට ආසන්න වූ වැවිලි ප්‍රජාව ජීවත් වන සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන ආකාරයෙන් නිවාස 411ක් දින සීය යටතේ ඉදිකර හිමිකම් ඔප්පුද සමගින් දින සීය අවසන් වන විට ජනතා අයිතියට පැවරීය.

2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මෙතෙක් පැවති වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙස ප්‍රතිනාම ගත කරන ලදි. ඒ වතු වෙනුවට නව ගම්මාන සංකල්පය කදුකරයේ ස්ථාපිත කළ යුතු බවට වූ පලනි තිගාම්බරම් මැතිතුමාගේ ඉල්ලීම පරිදියි. ඒ අනුව එම කැබිනට් අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් පලනි තිගාම්බරම් මහතා වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නැංවීමට ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි තවත් කැපවී ක්‍රියාකරමින් සිටී. අප අමාත්‍යාංශය පිහිටුවීමෙන් පසු වැවිලි ප්‍රජාව වෙනුවෙන් මෙතෙක් අත්කර දුන් මෙහෙයන් අති විශාලය.

l වැවිලි ප්‍රජාවගේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා වන (2016-2020) පස් අවුරුදු ජාතික සැලැස්මක් එළිදැක්වීම

2016 මාර්තු මස 10වන දින ගරු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දෙස් විදෙස් නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ දී මෙම පස් අවුරුදු සැලැස්ම එළිදැක්විණි. වැවිලි ප්‍රජාවගේ දිළිදු බව හා තීරණාත්මක වශයෙන් බැඳී පවතින සෞඛ්‍ය පෝෂණය අධ්‍යාපනය මුල් ළමාවිය සංවර්ධනය නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව කාන්තාවන් හා තරුණයන් සවබල ගැන්වීම නිවාස පානීය ජලය සනීපාරක්ෂක ඇතුළු මූලික යටිතල පහසුකම් සංවර්ධනය හා යහපාලනය යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමුකරමින් ඊට අදාලව මතු වී ඇති ගැටලු නිරාකරණය කොට වැවිලි ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික මට්ටමකින් ක්‍රියාත්මක වනු පිණිස අදාළ සියලුම පාර්ශ්වයන්ගේ පූර්ණ දායකත්වය ලබාගැනීම මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි මූලික පරමාර්ථය වේ.

l වැවිලි ප්‍රජාව සඳහා පර්චස් 7ක තනිනිවාස ඉදිකිරීමේ වැඩසටහන

ලයින් කාමර වල ජීවත්වන පවුල් 172700 කට පමණ නව නිවාස ඉදිකර දීම ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මේ වන විට ආරම්භකර ක්‍රියාත්මක කරමින් සිටී. විශේෂයෙන්ම ගම්මාන සංකල්පය පෙරදැරි කරගෙන මෙම නිවාස ඉදිකිරීම සිදුකරයි. ඒ අනුව වර්ග අඩි 550ක ඒකක නිවාස 1890ක් 2016 වසර අවසන් වන විට ජනතා අයිතියට පැවරීය. විශේෂයෙන්ම දැනට සිය නිවාස නායයෑමට ලක්වූවන්ට ගිනිගැනීම්වලට ලක්ව උන්හිටි තැන් අහිමි වූ වැවිලි ප්‍රජාවට නිවාස ලබාදීම සිදුකරයි. මෙහිදි සිහිපත් කළ යුත්තේ මෙම නිවාස ජනතා අයිතියට පත්කරන විට පර්චස් 7ක භූමිභාගයේ හිමිකම ද ඔවුන්ට ලබාදීමයි. විශේෂයෙන්ම අාගරපතන හුට්විල් වතුයායේ නිවාස 150ක් ද, බොගවන්තලාව කොටියාගල වතුයායේ නිවාස 184ක් ද එකම ස්ථානයක ඉදිකරමින් නව ගම්මාන සංකල්පය ක්‍රියාත්මක කර ඇත. මෙහිදි එම නව ගම්මානයට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද අප අමාත්‍යාංශය මගින් සම්පාදනය කරයි. එය වැවිලිකරයේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයකි. අවුරුදු 200කට ආසන්න කාලයක් ලයිමේ ජීවත් වූ ඔවුන්ට නව ගම්මානයක ජීවත්වීමට සැලැස්වීම යහපාලන රජයේ මෙන්ම පලනි තිගාම්බරම් මහතාගේ ඒකායන අරමුණයි. 2017 වසරේ නිවාස 2551ක් ඉදිකිරීමට අයවැයෙන් මුදල් වෙන්වූ අතර එම නිවාස මේ වසර අවසන් වන විට ඉදිකර ජනතා අයිතියට පත් කළ හැකිය.

විශේෂයෙන්ම ඉන්දියානු රජයේ සහාය ඇතිව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකිරීමට අවශ්‍ය පියවර මේ වන විට අප අමාත්‍යාංශය මගින් ගෙන ඇත. ඒ අනුව නිවාස ඉදිකිරීමට අදාළ ගිවිසුම 2016.04.01 දින අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා හා එවක ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා අතර අත්සනක් තැබිණි.

මේ වන විට නිවාස 1134ක් ඉදිකිරීම සිදුකරගෙන යනු ලබයි. මෙම නිවාස 4000 විශේෂයෙන්ම නායයෑමෙන් පීඩාවට පත්වූවන් හා නායයෑමේ අවදානමට ලක්විය හැකි අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වැවිලි ප්‍රජාව ඉලක්ක කරගෙන නුවරඑළිය බදුල්ල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා අවශ්‍ය පානීය ජල පහසුකම්, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු අනිකුත් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සිදුකරයි.

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මස 12 වන දින මෙරට සංචාරය කළ අතර, එහිදි අමාත්‍යාංශය මගින් හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී ජන රැළියක් සංවිධාන කර තිබිණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේ මෙරට වැවිලි ප්‍රජාව වෙනුවෙන් තවත් නිවාස 10,000ක් තම රජය ප්‍රධානය කරන බවයි. එම නිවාස 10,000 ද අප අමාත්‍යාංශය මගින් ඉදිකිරීමට නියමිතය.

විශේෂයෙන්ම අප අමාත්‍යාංශය මගින් සහ ඉන්දීය රජයේ ආධාර මත, අමාත්‍යාංශය ඉදිකරන සියලුම නිවාස ඉදිකරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අදාළ භූමියේ නිවස ඉදිකළ හැකි බවට සහතික කළ පසුවයි.

ඒ අනුව අප අමාත්‍යාංශය මගින් නිවාස 5000ක් ඉදිකර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඒකායන අරමුණ 2020 වන විට නිවාස 50,000ක් ඉදිකර වැවිලි ප්‍රජාවට තිළිණ කිරීමයි.

l වැවිලි ප්‍රජාවට නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහන

විශේෂයෙන්ම “අපටම අයිති ඉඩමක් - අපටම අයිති නිවසක්” යන්න තේමාව කර ගනිමින් ක්‍රියාත්මක වන අමාත්‍යාංශය මේ වන විට වැවිලි ප්‍රජාවට ලබා දී ඇති සහ ඉදිරියේ දී ලබා දෙන සියලුම නිවාස සඳහා එම පර්චස් 7 ද ඇතුළුව නිරවුල් හිමිකම් ඔප්පු ලබාදීම සිදු කරයි.

එහි පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු පිරිනැමීම ජනාධිපතිතුමාගේ සුරතින් 2017.02.09 දින සිදු කෙරිණි. දෙවන අදියර ලෙස මාතර හුලන්දාව වතුයායේ ඉදිකළ නිවාස සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.08.17 දින සිදු කෙරිණි.

එහි තෙවන අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථමවරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාස ලාභීන්ට තිළිණ කිරීමේ උත්සවය 2017.10.29 දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

වැවිලි ප්‍රජාව වෙනුවෙන්, මෙම නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහන බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර වැනි දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වෙන උත්සවවල දී ලබාදීමට නියමිත අතර මෙලෙස නිරවුල් ඔප්පු හිමිවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවටය.

විශේෂයෙන්ම මෙම නිරවුල් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගෙන තිබේ. ඒ අනුව මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු මගින් ණය ලබාගැනීමේ හැකියාව ද පවතී. වතුකරයේ බිහි වූ කිසිදු නායකයකු මෙවැනි සේවාවක් ඉටු කර නොමැති අතර, එවැනි සේවයක් තම ජනතාවට සිදු කරනුයේ අමාත්‍ය පලනි තිගාම්බරම් පමණි . මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින්ද පූර්ණ සහයෝගය ලබාදෙයි.

l ලයින් කාමර නැවත සෙවිලි කිරීම
 
වසර 200ක් පමණ පැරණි ලයින් කාමර පේලි වතුකරයේ තවදුරටත් දැකගත හැකියි. ඒවායේ වහල දිරාගොස් ඇති බැවින් නව නිවාස ඉදිකරන තෙක් අලුතින් සෙවිලි තහඩු සෙවිලි කිරීමටද අප අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 81ක් වැයකර පවුල් 1605ක් සදහා ප්‍රතිලාභ සලසා ඇත.
 
l වැවිලිකරයේ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර
 
ලෝක බැංකු ආධාර යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා අප අමාත්‍යාංශය එක්ව පූර්ව ළමාවිය සංවර්ධනය සදහා වන පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි සමස්ත ආයෝජනය ඇ.ඩො.මි. 10ක් වේ. වැවිලි ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 3-5 අතර දරු දැරියන්ගේ ළමා සංවර්ධන කටයුතු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩිදියුණු කිරීම මෙහි අරමුණ වන අතර මෙය වසර 2020 දී නිම කිරීමට නියමිතය.
 
මේ යටතේ ගොඩනැගිලි , ක්‍රීඩාපිටි සහ උපකරණද සහිතව ඉදිකිරීමට අපේක්ෂිත නව ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 140ක් වන අතර එමෙන්ම වැවිලි ප්‍රදේශ තුල වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 175කි. තවද අවශ්‍ය උපකරණද සහිතව නව ක්‍රීඩාපිටි 175ක් ඉදිවන අතර දැනට ඉදිකර ඇති ක්‍රීඩාපිටි 210ක් නවීකරණය සිදුකෙරේ. එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරුන් හා සහකාර ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ද මවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙයට ඇතුළත් වේ. තවද ළමා සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ඇත. එමෙන්ම ප්‍රථම වතාවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව පෙර පාසල් ගුරුවරුන් හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ සංගණනයක් ද සිදුකිරීමට කටයුතු කෙරේ. ඉතිහාසයේ කවර දිනකවත් වැවිලිකරයේ කුඩා දරුවන් ඉලක්ක කරගෙන මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවද සිහිපත් කළ යුතුයි.
 
විශේෂයෙන්ම වැවිලිකරයේ ජීවත්වන ළමයින්ගේ මන්ද පෝෂණ තත්ත්වය තුරන් කිරීම සඳහා “ටිකිරි ශක්ති” නමින් නව වැඩසටහනක් ලෝක ළමා දිනයට සමගාමීව 2017 ඔක්තෝම්බර් මස 01 වැනි දින නුවරඑළිය සිනෙසිටා ශාලාවේදී ආරම්භ කරන ලදි. මෙමගින් දීප ව්‍යාප්තව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින වයස අවු 3-5 අතර ළමුන්ට අධි පෝෂණ ආහාරවේලක් ලබාදීම සිදුකරයි. විශේෂයෙන්ම වැවලිකරයේ ජීවත් වූ තමන්ගේ කුඩාකාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
 
එමෙන්ම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන වැවිලිකරයේ ජීවත්වන ළමුන් 1000ක් සඳහා පාසල් බෑග් සහ උපකරණ කට්ටල ලබා දී ඔවුන් දිරි ගැන්වීම ද අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ තවත් ප්‍රජා සත්කාරයකි.
 
l වැවිලි ප්‍රජාව සඳහා පිරිසුදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන්
 
ජල උල්පත් බොහොමයක් කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වුවද සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාගැනීමේ හැකියාව වැවිලි ප්‍රජාව වෙත හිමිව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙය තේරුම්ගත් කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම් මහතා වැවිලි ප්‍රජාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවති. අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මේ වනවිට පවුල් 2500කට පානීය ජලය ලබාදිම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති 50ක් සිදුකර අවසන්. එමෙන්ම ලෝක බැංකු ආධාර යටතේ පවුල් 15800ක් ඉලක්ක කර ගනිමින් ජල සම්පාදන ව්‍යාපෘති 130ක් ආරම්භකර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවති.
 
l වැවිලි ප්‍රජාවගේ සෞඛ්‍ය හා පෝෂණ මට්ටම ඉහළ නැංවීම
 
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවදානයට පාත්‍ර වුවද ජාතික අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියා කරන්නාවූ ද සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වකුගඩු රෝග මැඩලීම මත්ද්‍රව්‍ය නිවාරණය පරිසර සංරක්ෂණය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර වැවිලි ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අප අමාත්‍යාංශය මගින් 2016 වසර වන විට රුපියල් මිලියන 1.8ක ප්‍රතිපාදන යොදවා ඇත. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් වැවිල ප්‍රජාවගේ සෞඛ්‍ය හා පෝෂණ තත්වයෙහි කැපිපෙනෙන වෙනසක් සිදුකරලීමට අප අමාත්‍යාංශය සමත්ව සිටි.
 
දත්ත සමීක්ෂණ වාර්තා අනුව වැවිලි ප්‍රජාවගෙන් 20%කට අධික සංඛ්‍යාවක් සඳහා වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම් ලැබී නොමැති බව පෙනී යයි. වැවිලි ප්‍රජාව භාවිතා කරන බොහොමයක් වැසිකිළි ලයින් කාමර කිහිපයක් සඳහා වන පොදු වැසිකිළිවන අතර ඒවාට ප්‍රමාණවත් පරිදි ජල පහසුකම්ද සපයා නොමැත. මෙය අවබෝධකරගත් අප අමාත්‍යාංශය රුපියල් මිලියන 45ක් වියදම් කර ප්‍රතිලාභීන් 1242ක් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිළි ඉදිකර දී ඇත. ලෝක බැංකු ආධාර යටතේ සනීපාරක්ෂක වැසිකිලි 7300ක් ඉදිකර ජනතා අයිතියට පත්කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
 
l වැවිලිකරයේ යටිතල පහසුකම් සංවර්ධනය
 
අප අමාත්‍යාංශය මගින් වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නැංවීමට අදාළව යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරමින් සිටී. විශේෂයෙන්ම 2016වසරේදී පමණක් ඒ සදහා රුපියල් මිලියන 198ක් වැයකර ඇත. මේ අනුව වතුවල ඉතා අබලන් වූ ප්‍රවේශ මාර්ග
 
තාර හා කොන්ක්‍රීට් කිරීම, විදුලිය ලබාදීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම ක්‍රීඩාභාණ්ඩ ලබාදීම සංස්කෘතික මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම වැනි විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
 
විශේෂයෙන්ම මේ යටතේ වතු රෝහල් මාර්ග කාපට් කිරීම ද පෙන්වා දිය හැක. වසර ගණනක් තිස්සේ මෙම මාර්ග ප්‍රතිසංස්කරණ නොකිරීම නිසා දැඩිලෙස අබලන්ව පැවතිණි. මේ පිළිබඳ සිය අවදානය යොමු කළ අමාත්‍ය ගරු පලිනි තිගාම්බරම් මහතා එම මාර්ග කාපට් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර මාර්ග කාපට් කිරීම ආරම්භ කරන ලදි. එමෙන්ම මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අමාත්‍යතුමාගෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වතු මාර්ග රැසක් කාපට් කිරීමට හා පාලම් රැසක් ඉදිකිරීමට හැකිවිය.
 
l වැවිලිකරයේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම
 
වැවිලිකරයේ සිටින තරුණ තරුණියන්ගේ අභිවෘද්ධිය සඳහා අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන්ම ඔවුන්ට විවිද ස්වයං රැකියා අවස්ථාවන් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂය බැගින් ණය ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. තරුණ තරුණියන් සවිබල ගැන්වීම අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රබල අරමුණකි. අප අමාත්‍යාංශයට අයත් නෝර්වුඩ් පිහිටි ක්‍රීඩා සංකීර්ණය උපයෝගීකරගෙන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාව නැංවීම ඇතුළු තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
 
l වැවිලි මානව සංවර්ධන භාරය
 
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ විෂය පථයට අයත් ප්‍රධාන ආයතනයක් ලෙස වැවිලි මානව සංවර්ධන භාරය හැදින්විය හැක. අමාත්‍යාංශය මගින් පවරන වැඩකටයුතු පහසුකම් සපයන්නකු ලෙස මෙමගින් ක්‍රියාත්මක කරමින් සිටී. එහි සභාපති ලෙස හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වී. පුත්‍රසිගාමනී මහතා කටයුතු කරන අතර ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේ පිහිටා ඇති අතර නුවරඑළිය, හැටන්, මහනුවර, බදුල්ල, රත්නපුර, කෑගල්ල හා ගාල්ල වශයෙන් ප්‍රාදේශීය කාර්යාල 7ක් පිහිටා ඇත.
 
l ප්‍රජා ශක්ති අධීක්ෂණ අංශය, නෝර්වුඩ් ක්‍රීඩා සංකීර්ණය හා රම්බොඩ සංස්කෘතික මධ්‍යස්ථානය
 
අප අමාත්‍යාංශ විෂය පථයට අයත් තවත් ආයතනයක් ලෙස ප්‍රජා ශක්ති අධීක්ෂණ අංශය පෙන්වා දිය හැකියි. විශේෂයෙන්ම වැවිලිකරයේ ජීවත්වන තරුණ තරුණියන් සවිබල ගැන්වීමට මෙම අංශය පිහිටා ඇති අතර තොරතුරු තාක්ෂණය වැවිලිකරයේ තරුණ ප්‍රජාව වෙත රැගෙන යාම මෙහි ප්‍රබල අරමුණකි. විශේෂයෙන්ම ප්‍රජාශක්ති ව්‍යාපෘති කාර්යාල දිවයිනේ වැවිලි ජනතාව ජීවත්වන සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කර ඇති අතර එමගින් තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
 
එමෙන්ම හැටන් හි පිහිටා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර ඉන් මේ වන විට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් විවිද වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත. රම්බොඩ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ද විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නැටුම් ගුරුවරියන් පුහුණු කිරීමද සිදුකරයි.
 
වැවිලි ප්‍රජාව වෙනුවෙන් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සිදුකරන කාර්ය භාරයන් තවත් පුළුල් හා ගුණාත්මක ලෙස ඉටුකිරීම සදහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව ඇත.
 
වැවිලි ප්‍රජාවටද සේවය සපයමින් වතු ඇතුළත යටිතල පහසුකම් දියුණු කිරීමට හැකිවන පරිදි 1987 අංක 15 දරන ප්‍රදේශීය සභා පනත අමාත්‍ය පලනි තිගාම්බරම්ගේ මහතාගේ මැදිහත්වීම මත සංශෝධනය කිරීමට ද හැකිවිය.
 
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශීය සභා 5 ප්‍රදේශීය සභා 12 දක්වා වැඩි කරගැනීමට ද අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අරගලයක් දියත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනගහනය ලක්ෂ 2.5 ට සහ වර්ග කිලෝමීටර් ගණන ඉහළ අගයක් පැවැති නුවරඑළිය සහ අඹගමුව යන ප්‍රදේශීය සභා නුවරඑළිය, කොටගල, ආගරපතන, අඹගමුව, නෝර්වුඩ් සහ මස්කෙළිය ලෙස ප්‍රදේශීය සභා 6 ක් දක්වා ඉහළ නංවාගැනීමට හැකිවිය. සිංහල ජනතාව බහුතරයක් වෙසෙන කොත්මලේ, වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය සභා ද තවත් එක බැඟින් ඉහළ නංවන ලෙස අමාත්‍යතුමා ඉල්ලීම් සිදුකර ඇත.
 
මෙවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් වතුකරය සැබෑ ලෙසම වෙනසකට ලක්කිරීමට අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කැපවී කටයුතු කරන අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි.
 
 
අරුණ රත්නායක
මාධ්‍ය ලේකම්
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

නව අදහස දක්වන්න