හිර ‍ගෙදර ගී හඬ | දිනමිණ

හිර ‍ගෙදර ගී හඬ

''ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා හමුවන්නට එක්තරා හැන්දෑවක කොළඹ තුම්මුල්ල හන්දිය අසල තිබුණු ඔහුගේ නිවසට එන ලෙස මට පණිවුඩ එව්වා. මමත් චිත්‍රාත් ඔහු හමුවන්නට එහි ගිය විට දැඩි ආගන්තුක සත්කාර සහිතව අප පිළිගෙන සතුටු සාමීචියේ යෙදුණා. මා බලාපොරොත්තුව සිටි අන්දමටම ඇතුලත්මුදලි මහතා මට රජයට එක් වෙන ලෙස නැවතත් ආරාධනා කළා''

1985 අත්අඩංගුවට ගෙන රදවා සිටි සමයේ මතක සහ අත්දැකීම් අදත් බෝපගේ මතුකර පෙන්වන්නේ නීතිය සහ දේශපාලනයේ ඇති සහ සම්බන්ධයයි.

“1986 අගෝස්තු මාසයේ මා නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී මා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කළ නීතිඥ ඒන්ස්ලි සමරජීව මහතාට අනුව මගේ ලිපි ගොනුව භාරව සිටියේ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ මර්වින් සමරකෝන් මහතා. සමරජීව මහතා සමරකෝන් මහතා හමු වූ අවස්ථාවේ දැන ගන්නට ලැබුණු කරුණු ඔහු චිත්‍රාට ලිඛිතව දන්වා එවා තිබුණා. මා දිගටම රඳවා ගෙන ඇත්තේ මා ප්ලොට් සංවිධානයේ නායකයෙක් හමුවීම නිසාම නොවන බවත්, රහස් පොලීසිය සහ ජාතික රහස් ඔත්තු සේවය මේ කරුණ සම්බන්ධයෙන් එවා ඇති කරුණු සලකා බලා ඉහළ නිලධාරීන්ට වාර්තා කරන්නට තරම් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින නීතිඥයන්ට කාල වේලාවක් නොමැති වීම ඊට හේතුව බවත් ඔහු කියා තිබුණා. අප පිළිබඳ වාර්තා ඒ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණා, සැප්තැම්බර් 5 වෙනිදා ජාතික ආරක්ෂක අමාත්‍යාංශය,තීරණයක් ගැනීම සඳහා ඒ වාර්තා නීතිපතිවරයාට යොමු කළ බවට චිත්‍රාට දන්වා තිබුණා. මේ අතරේ මාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා තබා ගැනීම ගැන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයත් ඔවුන්ගේ කනස්සල්ල ආණ්ඩුවට පළ කර තිබුණා.

“දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ ගැනීම ප්‍රමාද කිරීමෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය නිසා ඇති වන ප්‍රමාදවලින් කී දෙනෙක් ගේ ජීවිත නාස්තියට ලක් වෙලා ඇත්ද කියන එක. මෑතක දී පවා මේ තත්වය වෙනස් කරන්නට ආණ්ඩුවටවත් නිලධරයන්ටවත් වුවමනාවක් තියෙන බවක් පෙනෙන්න නැහැ. ආණ්ඩුවත් නීතිපතිවරයාත් අධිකරණ පද්ධතියත් මෙම තත්වය මීට වඩා කාර්යක්ෂම කරන්නට මැදහත් විය යුතුයි කියල මම විශ්වාස කරනවා. එසේ නැතහොත් මෙම තත්වයෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්නට, වගකීමකින් තොරව මෙවැනි අධිකාරියක් පවත්වා ගෙන යන්නට කටයුතු කර ගෙන යන බවයි අපට හිතන්න වෙන්නේ. ආණ්ඩුවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිෂන් සභාව විසින් පවා රඳවා ගැනීමේ ප්‍රතිපත්තිවල කරන්නට ඉදිරිපත් කරපු නිර්දේශ කිහිපයක් තිබුණා. ඒ නිර්දේශවලින් මේ වෙන කොට ක්‍රියාත්මක කරපු නිර්දේශ එකක් හෝ තියෙනවද?“

“මේකට මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. 1986 දී නව මැගසින් බන්ධනාගාරයේ මම රඳවා ගෙන ඉන්දෙද්දී මට මතක අන්දමට බන්ධනාගාර අධිකාරී රත්නායක මහතා මා සිටි සිර මැදිරියටම ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා ගන්නට නියම කරන ලද පුද්ගලයෙක් හදිසියේ ගෙනාවා. ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි පිට රටවල ශ්‍රී ලාංකික ජන කොටස් අතරේත් ඒ දිනවල බොහොම ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක්. දැන් ඔහු ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙච්ච සමාජ සේවකයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔහු ගැන ලියන්නට සිදු වීමෙන් ඔහුට යම්කිසි හානියක් අත්නොවනවා ඇතැයි මම කල්පනා කරනවා. රඳවා ගැනීමට ගෙන ආ පුද්ගලයා කවුද කියල මට එදා දකින්නට ලැබු‍ණේ නැහැ. හුඟක් හවස් වෙලා ඔහු ගෙනැල්ලා කෙළින්ම මම හිටි මැදිරියේ කෙළවරේ තිබුණු කුටියකට දැම්මා.

“මම තනියෙන් සිර මැදිරියේ රඳවා හිටින නිසා හැන්දෑවට ‘විමුක්ති ගී’ වගේම අමරදේවගේ වැනි ගීත හඬ නඟා ගායනා කරන එක මගේ සිරිතක් වෙලා තිබුණා. ඒ නිසාම ඒ වෙන කොට අපේ පරීක්ෂණවලට අදාළව අනෙක් මැදිරිවල රඳවා ගෙන හිටපු අයත් මේ ගීත අහන්නට පුරුදු වුණා. අර පුද්ගලයා ගෙනපු දවසේ හවස අමරදේවගේ ගීතයක් ගායනා කර ඉවර වෙනවාත් එක්කම වගේ ඉතාමත් ලස්සන හුරු පුරුදු කට හඬකින් බයිලාවක් හඬ නඟා ගායනා කෙරුණා. ඒ හඬ ආවේ කෙළවරේ ම කුටියෙන්. ඒ මාතර උපන් බයිලා චක්‍රවර්ති කෙනෙක් හැටියට දැන් ප්‍රසිද්ධ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා. ඔහු එදා රඳවා ගෙන හිටියේ ලලිත් ඇතුළත්මුදලි මහතා ඔහු සමඟ ඇති කර ගෙන තිබුණ ‍පෞද්ගලික ආරවුලක කේන්තිය පිරි මහන්න. එදා ඉඳලා හැම හැන්දෑවකම වගේ අපි දෙන්නා මාරුවෙන් මාරුවට ගීත ගායනා කළා.

“මට මතක අන්දමට මාසයකින් දෙකකින් පමණ පසු ඔහුව නිදහස් කර යැව්වා. හිර මැදිරියෙන් පිට වෙන්නට ඉස්සර වෙලා මගෙන් ඇවිත් ඇහැව්වා ඔහුට කරන්නට පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න හිතවත් කමට ඔහු ඒක කරන්නම් කියලා. ඒ දවස්වල චිත්‍රා ඇතුළු දරුවන් දෙදෙනා ගත කළේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඒ නිසා මම ඔහුට කිව්වා හැකි නම් ඔවුන්ට ජීවත් වෙන්නට උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා. ඔහු නිදහස් වෙලා වැඩි දවසක් යන්නට ඉස්සර වෙලා අපේ මාවිත්තර ගෙදරට ගොස් චිත්‍රාට කතා කරලා රුපියල් 1000ක් අතට දීලා තිබුණා. ඒ දවස්වල ඒක ලොකු මුදලක්. මම නිදහස් වෙලා ආවාට පස්සේ ඔහු හමු වී මගේ ස්තුතිය පළ කළා. දැන් ඩෙස්මන් පදිංචි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. අදටත් අපි හොද මිතුරන්. අපි මේ ගීත ගායනා ගැන කතා කරලා උපේක්ෂාවෙන් හිනහ වෙනවා. අපේ සම්බන්ධතාවයට දේශපාලනයක් නැහැ. මනුෂ්‍යත්වය මත පදනම් වුණාම මිනිස් හදවත් කටයුතු කරන ආකාරය මෙයින් හොඳට පැහැදිලි වෙනවා. නමුත් මේ කතාවේ හරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ හදිසි නීතිය වගකීමකින් තොරව අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න තිබුණු සහ අදටත් තිබෙන හැකියාව. මේ අත්දැකීම් නිසයි මම දිගටම කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වහාම අහෝසි කළ යුතුයි කියල.

“මගේ රඳවා ගැනීම ගැන කිසිදු කටයුත්තක් වෙන බවක් පෙනෙන්නට නොතිබුණ නිසා, චිත්‍රා ඇගේ පවුලේ අයගේ ඉල්ලීම පිට ජනාධිපතිවරයා හමුවෙන්නට අවසර ඉල්ලා ලිපියක් යවා තිබුණා. ඒ අනුව සැප්තැම්බර් 12 වන දා පරණ පාර්ලිමේන්තු මන්දිරයේ ජනාධිපති කාර්යාලයේ දී චිත්‍රා පොඩි දුවත් සමඟ ගොස් ජනාධිපතිවරයා හමු වී තිබුණා. පයින් හා බස් රථවලින් ගමන් කළ නිසා දුවට හිස් වැස්මක් පලඳවා ගෙන යාම චිත්‍රා පුරුද්දක් කර ගෙන තිබෙනවා. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දුවට කතා කොට ඇගෙන් විමසල තියෙනවා ‘ඇයි බබා තොප්පියක් ඇඳ ගෙන ඉන්නෙ ඕක ගලවගන්න’ කියල. චූටි දුව ඊට පිළිතුරු දෙමින් ‘අම්මා තමයි මට තොප්පිය ඇන්දුවේ. අම්මා කිව්වොත් විතරක් ඒක ගලව ගන්නවා’ කිව්වලු. දරුවාගේ ඒ පිළිතුරට ජනාධිපතිවරයා එතරම් කැමති වුණාද කියන්න නම් බැහැ. කොහොම වුණත් ආරක්ෂක ඇමතිවරයාගේ නියෝගය පරිදි සැප්තැම්බර් 16 වන දා මා කිසිම චෝදනාවකින් තොරව නිදහස් කළා. එදා ජනාධිපතිවරයාගේ උපන් දිනය. එදිනෙදා පත්‍රවල මේ ප්‍රවෘත්ති දෙකම එක ළඟින්ම වගේ මුල් පිටුවේ පළ කර තිබුණා. ඒ නිසා කවුරුත් කල්පනා ක‍ළේ ජනාධිපතිවරයා ඔහුගේ උපන් දිනයට මාව නිදහස් කළා කියලා.”

“ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා මා නිදහස් කරන්න කරපු නියෝගයේ මා පිලියන්දල පොලීසියට සති දෙකකට වරක් වාර්තා කළ යුතු බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය ඕනෑම විටක ප්‍රශ්න කරන්නට හැකි අන්දමට මම රැඳී සිටිය යුතු බවටත් කොන්දේසි පනවා තිබුණා වුණත් මට විරුද්ධව කිසිදු චෝදනාවක් තිබුණේ නැහැ. මා නැවතත් හෙවිෆැබ් ආයතනයේ ව්‍යාපෘති කළමණාකරුවකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා. මේ අතර ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා හමුවන්නට එක්තරා හැන්දෑවක කොළඹ තුම්මුල්ල හන්දිය අසල තිබුණු ඔහුගේ නිවසට එන ලෙස මට පණිවුඩ එව්වා. මමත් චිත්‍රාත් ඔහු හමුවන්නට එහි ගිය විට දැඩි ආගන්තුක සත්කාර සහිතව අප පිළිගෙන සතුටු සාමීචියේ යෙදුණා. මා බලාපොරොත්තුව සිටි අන්දමටම ඇතුලත්මුදලි මහතා මට රජයට එක් වෙන ලෙස නැවතත් ආරාධනා කළා.”

“මගේ හිතට එකඟව මට ඒ ආරාධනාව පිළි ගන්නට නොහැකි බව මම ඇමතිවරයාට පැහැදිලි කළා. ඔහු එයින් මඳකට හෝ අමනාප වෙන්නට පුළුවන් බව මා හිතුවා. නමුත් ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු කිසිදු කැලඹීමකට පත් නොවූ බව පෙනුණා. අප ඔවුන්ගෙන් සමු ගන්නට මොහොතකට පෙර තමයි අර මම කලින් කිව්ව ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය ඔවුන්ගේ නිවසේ වගා කළ බිම් මල් පෙට්ටියක් අපට තෑගි ලෙස පිරිනැමුවේ. ඒ හමුවීම අවසානයේ අප පිටත්ව යන්නට සූදානම් වනවිට ලලිත් ඇතුලත්මුදලි මහතා මට ඔහුගේ පුද්ගලික දුරකථන අංකය දීල යම් කිසි උපකාරයක් අවශ්‍ය වුවහොත් පාන්දර හයට පෙර ඒ අංකයට කිසිම පැකිළීමකින් තොරව තමාව අමතන ලෙස මට කිව්වා. ඒ වරප්‍රසාදය මම එකම එක වතාවක් පාවිච්චි කළා. ඒ අපේ පවුලට ඒ කාලයේ බොහෝ කිට්ටුව සිටි වෛද්‍ය සහෝදරයකුගේ ජීවිතය බේරා දෙන්නට ඔහුගේ පවුලේ අයට උදව් කරන්න.”

සිසිර යාපා

 


නව අදහස දක්වන්න