වතුර නැති ජීවිත! | දිනමිණ

වතුර නැති ජීවිත!

නියඟය නිසා රටේ ඇතැම් ප්‍රදේශවල මතු වී ඇති ශෝචනීය තත්ත්වය සැඟවිය යුතු නැත. කන්න හයක් පුරාවට කිසිදු වගාවක් නොකළ ග්‍රාම සේවා වසම් පවතී. එහි ජනතාවට දිනකට තුන් වේලක් තබා; එක වේලක් වත් නැත. සමහර පවුල්වල ආහාර අර්බුදය සටහන් කර තැබීමට බැරි තරම් ය. මුරුංගා ‍ෙකාළ පමණක් ආහාරයට ගත් පවුලක් ගැන තොරතුරු පුවත්පත් වාර්තා කර තිබිණි. සමහර පළාතක ඇති ජල හිඟය ඊටත් වඩා භයානකය. වියළි කලාපයේ බොහෝ වැව් නියඟයට ඉරි තලා ගොසින් ය. එම ප්‍රදේශවල ජනතාවට බීමට මඩ වතුර හෝ නැත.

දේශපාලන විවේචනයක් ගතහොත්; අප ජීවත් වන්නේ ප්‍රභූන් සිය පුටුවක් සඳහා රුපියල් ලක්ෂ හයක් - හතක් වැය කරන රටක ය. සමාජ විවේචනයක් ගතහොත්, අප ජීවත්වන්නේ සල්ලිකාරයන් එක රැයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් - දෙකක් වීසි කරන සමාජයකය. ආපදාවකදී හිමමෙන් දියවී වැගිරෙන කරුණාවත් අපේ සමාජයේ මුල් බැසගෙන තිබිණි. මේ අවස්ථාවේ එම කුලුණු සිත් කොහේ සැඟවුණිදැ’යි සිතාගන්නට බැරි ය. රටේ බොහොමයක් දෙනාගේ අවධානය යොමු ව ඇත්තේ ඊළඟ ජනාධිපතිවරයා කවුද යන්න ගැන ය. වියළි කලාපයේ අර්බුදය ගැන බොහෝ දෙනකුට වගේ වගක් නැත.

වියළි කලාපයේ ගොවි ජනතාව සාඩම්බර ජීවිතයක් ගෙවූ පිරිසකි. ඔවුන් ජාතියට අවශ්‍ය බත සැපයූ අතර කිසිකලෙකත් රජයට බරක් වූයේ නැත. එහෙත් අද ඔවුනට ආධාර එනතුරු ද වතුර බවුසර් එනතුරු ද හූල්ලමින් බලා සිටින්නට සිදු වී ඇත. මෙය මෙතෙක් කාලයකට රට කළ සියල්ලන්ගේම වරදකි. අධිවේගී මාර්ග, ක්‍රිකට් පිටි, වරායවල් හා ගුවන් තොටුපොළවල් ගැන කල්පනා කළ පාලකයන් රටේ වැව් ටික පිළිසකර කරන්නට උත්සාහයක් දැරුවේ නැත. රජරට ගොවියා වැඩි දෙයක් ඉල්ලු‍ෙව් නැත. ඔහු හැමදාමත් කියා සිටියේ වැව් ටික හදල දෙන්න යන්න පමණි. එහෙත් එය ඉටු වී නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ඉටුකරන වැදගත් ම සංවර්ධන කාර්යය ලෙස අපට පෙනී යන්නේ වැව් පිළිසකර කිරී‍ෙම් වැඩසටහන ය. වැව් හා වාරිමාර්ග උදෙසා තනි වැඩසටහනක් නොව; ව්‍යාපෘති ගණනාවක් ආණ්ඩුව ආරම්භකර තිබේ. ඒවායෙහි නායකයා හා මඟපෙන්වන්නා ලෙස ජනාධිපතිවරයා ක්‍රියා කිරීමද විශේෂයකි. අතීත රජවරුන්ගේ ප්‍රධාන සංවර්ධන සාධකය බවට පතව තිබුණේ වැව හා වාරිමාර්ග ය. වාරි කර්මාන්තයට ද, වාපි කර්මාන්තයට ද අත ගැසූ රජු ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස ඉතිහාසයට එක් විය. අද වුව එය වෙනස් නොවන්නේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් බැවිනි.

ලෝකයේ මීළඟට වටිනා ම වස්තුව බවට පත් වන්නේ මුතු, මැණික්, දියමන්ති, රත්තරන්, බොර තෙල් ආදිය නොව; පිරිසුදු ජලය බවට තහවුරු වී අවසන් ය. දැනට සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුව එම තත්ත්වය දෙගුණ - තෙගුණ වී දැනෙන්නට පටන් ගනු ඇත. ජලය රැස්කිරීම, ඒවා ආරක්ෂා කිරීම, ජල කළමනාකරණය වැදගත් විෂයයන් බවට පත් වී ඇත. මේ හැරෙන්නට ස්වාභාවික ජල උල්පත් රැකගැනීම සඳහා එකිනෙක රටවල් මහත් පරිශ්‍රමයක් දරති. මේ අනුව නූතන පාලකයන් කෙරෙහි ජලය පිළිබඳ මහත් වගවීමක් පැවැරී ඇත. ශ්‍රී ලංකාව ගතහොත් එක අතෙකින් විශාල ජල ධාරිතාවක් අපතේ යයි. ඒ අතර තවත් කලාප ගණනක් බරපතළ ජල හිඟයකට මුහුණදෙයි.

දැන් අප මුහුණදී ඇත්තේ වසරක් පාසා දැඩි නියං තත්ත්වයකට මුහුණදෙන යුගයකට ය. එයිනුදු ඇතැම් කලාප වර්ෂ කිහිපය බැඟින් දැඩි නියඟයට මුහුණදෙයි. ඉතියෝපියාව අඛණ්ඩව වසර දොළහක් පමණ නියඟයට මුහුණදුන් රාජ්‍යයකි. අදත් එරටට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන්නේ නැත. සාගින්නේ සංකේතය ලෙස ඉතියෝපියාව දක්වනු ලැබේ. මේ හැරත් මුළු ලෝකය ම කාන්තාරකරණය නම් අභියෝගයට මුහුණදෙයි. මේවා අපගේ අවධානයට ලක් විය යුතු ප්‍රධාන අභියෝග ලෙස පවතී. සාකච්ඡා සංවාද, සම්මන්ත්‍රණවලින් පමණක් මේ අභියෝග ජයගත නො හැකි ය.

වැව් පිළිසකර කිරීමේ තවත් වැඩසටහනක් අදින් ආරම්භ වෙයි. මේ ව්‍යාපෘතිය මඟින් නැ‍ඟෙනහිර වැව් පද්ධතිය මුළුමනින් ම සක්‍රීය කිරීමට අදහස් කරයි. එදා රජ දවස මේ වැව් පද්ධතිය පැවැතියේ එක වැවකින් තවත් වැවක් පෝෂණය වන අයුරින් ය. ඒ අනුව සෑම වැවක් ම ජලයෙන් පිරී යනු ඇත. මේ අයුරින් තවත් වැව් දහසක් සක්‍රීය කිරීම ව්‍යාපෘතියේ ඉලක්කය යි. නැ‍ෙඟනහිර පළාත ඈත අතීතයේ සිට ම රටට සාර්ථක වී අස්වැන්නක් ලබාදුන්නේ ය. ඊට බලපෑ ප්‍රධාන සාධකය වූයේ වැව් හා වාරිමාර්ග පද්ධතිය යි. නොසලකා හැරීම නිසා පසුකලෙක දී මේ අගනා ජල ව්‍යාපෘති ගරා වැටිණි.

දීර්ඝ නියං සමය පිළිබද අවධානය යොමු කළහොත්, ඊට ආකාර දෙකක විසැඳුම් අවශ්‍ය වේ. එකක් නම්; කෙටි කාලීන විසැඳුම් ය. අනෙක නම්; දිගුකාලීන විසැඳුම් ය. කෙටි කාලීන විසැඳුම් ලෙස ජලය හා ආහාර විපතට පත් ප්‍රදේශවලට සැපයිය යුතුය. ජල ටැංකි 11,000ක් බෙදා හැර ඇති බව ද, ජල බවුසර් දිනපතා ප්‍රවාහනය කරන බවද රජය කියයි. මේ අතර පෞද්ගලික අංශය ජලය විකුණන බව ද වාර්තා වී ඇත. ඒ ජලය බූලි එකක් රුපියල් පහළොව බැඟින් බව ද දැනගන්නට ලැබේ. ආපදා අවස්ථාවක වුව තම මඩිය තරකර ගන්නා අය සමාජයේ සිටිති. මේ අතර මහජන සංවිධානවල අවධානය නියඟය කෙරෙහි යොමු වී නැත.

අනාගතය පිළිබඳ හොඳ ඉඟියක් මේ තත්ත්වයෙන් උකහාගත හැකි ය. එනම්; මීටත් වඩා දරුණු නියං සමයක් ඉදිරියේ දී ඇති විය හැකි බවය. ජලය පිළිබඳ දිගුකාලීන වැඩසටහන් මේ දැන් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසා ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන ලෙස පරිසරය පිළිබඳ අපගේ අවධානය වැඩිවිය යුතුය. එලෙස ම වියළි කලාපයේ වාපි සංග්‍රාමයක් ඇති කළ යුතු ය. ඒ හැර වෙනත් විසැඳුමක් නැත. වතුර නැති ජීවිතයක් ගැන සිතා ගැනීමත් උගහට ය.

 


නව අදහස දක්වන්න