රෙඩ්බුල් ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය ඉරිදා ඇරැඹෙයි | දිනමිණ

රෙඩ්බුල් ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය ඉරිදා ඇරැඹෙයි

නිරෝෂාන් ප්‍රියංකර

රෙඩ්බුල් විශ්වවිද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොළඹ එස්.එස්.සී සහ එන්.සී.සී ක්‍රීඩාංගණවලදී මේ ඉරිදා (23) ආරම්භ වෙයි.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙන්නේ පිට පිට තෙවැනි වරටය.

29 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගිවීමට නියමිතය.

ඒ ඒ රටවල විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන අතර පැවැති දේශීය තරගාවලියන්හී ශූරතා දිනාගත් කණ්ඩායම් මේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි. ඒ අනුව මේ වසරේ පැවැති දේශීය තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්.) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වෙයි. ඔවුන් පසුගිය තරගාවලියන්වලදී ශූරතාවක් සහ අනුශූරතාවක් දිනා ගැනීමට සමත්ව තිබිණි.

මේ තරගාවලිය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ක්‍රීඩකයන් රැසක් බිහිව තිබේ.

ඒ අතර ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ධනංජය ද සිල්වා සමගින් ඉන්දියාවේ ලෝකේෂ් රාහුල්, දකුණු අප්‍රිකාවේ ලුන්ගි න්ගිඩි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාන් සූරි වැනි ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටිති.

මේ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් තරගාවලියේ අධ්‍යක්ෂ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී කුරුප්පු මහතා පැවැසුවේ වසරක් පාසා පැවැත්වෙන මේ තරගාවලිය වසරින් වසර උසස් වන බවයි. මෙවර ඉතා හොඳ තරගාවලියක් දැක බලාගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ සිටින තරුණ සරසවි ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට දේශීය තරගාවලියක් නොපැවති බැවින් මේ රෙඩ්බුල් තරගාවලිය ඊට මනා පිටුවහලක් වූ බව පවසන කුරුප්පු මහතා තරුණ සරසවි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉස්මතු කරමින් ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ඔවුන්ගේ තරුණ ජවය ජාත්‍යන්තර මට්ටමේ තරගකාරී රටාවට ගෙන ඒමට මේ තරගාවලියෙන් හැකිවූ බවද පැවැසීය.

පාසල් දිවියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන පිරිස් පාසල් දිවියෙන් සමුගැනීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද දුරස්වන බැවින් පාසල් ක්‍රීඩාව සහ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට මේ තරගාවලියෙන් හැකිවී ඇති බව තරගාවලියේ සන්නාම තනාපති ලෙස කටයුතු කරන හිටපු අයි.සී.සී තරග තීරක සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතා කියා සිටී.

‘අවුරුදු 18-23ත් අතර ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන් අපට අහිමිවීමේ ප්‍රවණතාවක් මා දකිනවා. ඒ ඔවුන් සඳහා පිළිගත් තරගාවලියක් නොමැති නිසයි. බොහෝ ක්‍රීඩකයන් වෘත්තීමය තෝරා ගැනීම් සඳහා යොමු වෙනවා. එහෙත් තරුණ ක්‍රීඩකයන් දිරිමත් කළ හැකි නම් ඔවුන් තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ රඳවා ගත හැකියි.’ පැවැසු මහනාම මහතා අවුරුදු 5ක් තිස්සේ පැවැත්වෙන මේ තරගාවලිය ඊට හොඳ ප්‍රවේශයක් බවද කියා සිටියේය.

මේ තරගාවලියේ මූලික වටයේ තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

මේ තරගාවලියේදී 2016 වසරේ ශූරතාව ශ්‍රී ලංකාව නියෝජනය කළ බී.එම්.එස්. පිල සතුවූ අතර පසුගිය වසරේ අනුශූරතාවයෙන් සැහීමට පත්වීමට සිදුවිය. එබැවින් අහිමිවූ ශූරතාව යළි හිමිකර ගැනීමේ අරමුණින් බී.එම්.එස්. පිල මෙවර තරගාවලියට එක්වෙයි.

බී.එම්.එස්. පිලට අවුරුදු 19න් පහළ සහ ශ්‍රී ලංකා ජාතික හා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න, හසිත බෝයගොඩ, තික්ෂිල ද සිල්වා සහ සඳුන් වීරක්කොඩි වැනි ක්‍රීඩකයන් රැසක් එක්ව සිටිති. මෙතෙක් පැවැති තරගාවලි අතුරින් පසුගිය වසරේ ශූරතාවද සමගින් තෙවරක් (2014/2015) ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටී.

 

නව අදහස දක්වන්න