අපිට අාණ්ඩුව දුන්නේ ආර්ථිකය නැත්තටම නැති කරලා | දිනමිණ

අපිට අාණ්ඩුව දුන්නේ ආර්ථිකය නැත්තටම නැති කරලා

උපාලි කරුණාරත්න

යහපාලන ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරන පසුගිය රජයේ පිරිස් මේ රටේ පැවැත්මට, ආර්ථිකයට විශාල හානියක් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසඳිම සඳහා වත්මන් රජය විශාල වැඩ කොටසක් සිදුකර තිබෙන බවද කී මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලකදී විශේෂඥවරයෙකු හමුවීමේදී අය වන වැට් බද්ද ඉවත් කිරීමට ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමැති, මුදල් ඇමැතිතුමා ක්‍රියා කර ඇති බවද කීය.

පසුගිය රජය සමයේ කර්මාන්ත ශාලා වැසී ගිය නිසා අට දාහකට රැකියා නැතිවූ බවද ජී.එස්.පී ප්ලස් නැතිවීම හරහා ඩොලර් බිලියන විසි අටකට වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට අහිමි වූ බවද මෙහිදී ප්‍රකාශ විය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (20දා) පිටකෝට්ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා- මෙම යහපාලන ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසදීම සඳහා මේ වන විට විශාල කැපවීමක් කර තිබෙනවා. ඇස් වලට දමන කාච නොමිලේ ලබාදීම, හෘද ආබාධ සඳහා අවශ්‍ය කරන ස්ටෙන්ත් එක නොමිලේ ලබාදීම, අත්‍යවශ්‍ය ඖෂධ හතලිස් අටක මිල අඩුකිරීම, රෝහල් දියුණු කිරීම, සෑම පිලිකා රෝගියෙකුටම ඔවුන්ගේ රෝගය සුවවන කම් අවශ්‍ය ඖෂධ ලබාදීමට යහ පාලන ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

මිලියන 4.5ක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරනය හඳුන්වා දී ප්‍රතිකාර ලබා ගැනීමට අවකාශ සලසා තිබෙනවා. අද මේ ආණ්ඩුව මගින් ගන්නා තවත් ක්‍රියාමාර්ගයක් බවට පත් වන්නෙ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු හමුවීමේදී අය කරන වැට් බද්ධ ඉවත් කිරීම. ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමා ඇතුලු කණ්ඩායම මේ කටයුතුත් ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්කොල බද්ධ පැනවීම සහ සිගරැට් පැකට්ටුවේ සියයට අසුවක රූපමය අවවාදය ඉදිරිපත් කිරීම වැනි දැවැන්ත වැඩ සටහන් ගණනාවක් මේ රජය ක්‍රියාත්මක කර තිබෙනවා.

යහපාලන ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන පසුගිය රජයේ පිරිස් මේ රටේ පැවැත්මට, ආර්ථිකයට විශාල හානියක් සිදු කළා. ඇතැමෙක් විශ්වාස කරනවා මොවුන්ට නැවත බලයට පැමිණීමට අවස්ථාව ලැබෙයි කියා. මේ පිරිසේ සිටින බොහෝ දෙනා දේශපාලනය අවභාවිතා කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයේදී කිරි වලට විස මිශ්‍රවීමක් පිළිබඳව බොහෝ දෙනා කතා කළත් උද්ඝෝෂණයට පැමිණි පිරිස් වලට මත්පැන් ලබාදීම නිසා හිඟන්නො වගේ පාරේ වැටී සිටි ආකාරය පිළිබඳව කතා කරන්නෙ නැහැ. ජනබලය කොළඹට කියා බෝඩ් ලෑලි උස්සන් ආපු ජනතාවට එදා වැටෙන්න මත්පැන් බොන්න දී තිබුණා. බීමත් කම නිසා 80-100ත් අතර ප්‍රමාණයක් රෝහල් ගත වූ බව වාර්තා වෙනවා.


නව අදහස දක්වන්න