තුවක්කුව අතට ගෙන සිටි උතුරේ තරුණයෝ 500ක් උදැල්ල අතට ගනිති | දිනමිණ

තුවක්කුව අතට ගෙන සිටි උතුරේ තරුණයෝ 500ක් උදැල්ල අතට ගනිති

පසුගිය තිස්වසරක යුද සමය තුළ කොටි සංවිධානය සමඟ කටයුතු කළ තරුණයන් පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව ඔවුන් 500ක් දෙනා දැන් තුවක්කුව වෙනුවට උදැල්ල අතට ගනිමින් ගොවිතැන සඳහා යොමු වී සිටිති.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මඟින් මඩකළපුව වාකරේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කර තිබෙන සලාද පිපිඤ්ඤා නැතහොත් ග්‍රීන් කියුකම්බර් වගාව සඳහා මේ තරුණයන් යොමු වී සිටින අතර, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මේ තරුණයන්ට සලාද පිපිඤ්ඤා වගාව සඳහා අවශ්‍යය සියලු උපකරණ ලබා දී ඇත.

වාකරේ ප්‍රදේශයේ අක්කර 500ක මේ සලාද පිපිඤ්ඤා වගාව සිදු කරනු ලබයි. එක් තරුණයකුට අක්කර එකක ඉඩමක් බැඟින් ලබා දී තිබේ. එමෙන්ම වගාව සඳහා අවශ්‍ය බීජ, වතුර පොම්ප, ජල නළ, හරිතාගාර මෙන්ම වගාවට අවශ්‍ය වෙළෙඳ පොළත් මේ වන විට සකසා දී ඇත.

ග්‍රීන් කියුකම්බර් යනු දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ විශේෂයෙන් තරුපහේ හෝටල්වල මෙන්ම ආහාර සැකසුම් ආයතනවල KFC, බර්ගර්කිංග්, මැක්ඩොනල්ඩ් වැනි ආයතනවලත් සුපිරි වෙළෙඳසල්වලත් බහුලව අලෙවි කරන කෘෂිකාර්මික බෝගයකි. ඉතා කෙටි කලක් තුළ පහසුවෙන් වගා කර සරු අස්වැන්නක් නෙළා ගත හැකි ග්‍රීන් කියුකම්බර් වගාව ආකර්ෂණීය බෝගයකි.

වාකරේ ප්‍රදේශයේ දැනට වගා කර තිබෙන ග්‍රීන් කියුකම්බර් වගාව තුළින් එක් තරුණයකුට වසරක් තුළ උපයා ගත හැකි ආදායම රු. ලක්ෂ එකොළහක් පමණ වේ. අක්කර 500ක ග්‍රීන් කියුකම්බර් වගාව තුළින් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙ.ටො. දසදහසකි. මේ සියලුම අස්වැන්න හෙලීස් සමාගම විසින් මිල දී ගන්නා අතර, ඔවුන් විසින් ඒවා දේශීය වෙළෙඳ පොළටත් විදේශීය වෙළෙඳ පොළටත් යොමු කරනු ලබයි.

වසර 30ක් තිස්සේ අවි අත දරා ගනිමින් ජනතාව පීඩාවට පත් කළ මේ දෙමළ තරුණයන් 500 දෙනා වර්තමානයේ රටට ඉමහත් කීර්තියක් ලබා දෙමින් මෙන්ම අප රටේ තරුණ ජනතාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විසින් මහත් කැප කිරීමකින් සිදු කරන ග්‍රීන් කියුකම්බර් වගාව සැබවින්ම අපේ රටේ සෙසු තරුණයන්ට මහඟු ආදර්ශයක් සපයන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

වාකරේ ප්‍රදේශයේ ග්‍රීන් කියුකම්බර් වගාව මෙන්ම යාපනයේ මිදි වගාව ද නැවතත් ශක්තිමත් කරලීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

අප රටට අවශ්‍ය මිදි ආනයනය කිරීම සඳහා රටෙන් විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණය වාර්ෂිකව රු.මි. 2, 766කි. දැනට බහුලව යාපනයේ මිදි වගා කළත් එම මිදි සඳහා විශාල ඉල්ලුමක් වෙළෙඳ පොළ තුළ නැත. එම නිසා යාපනයේ වගා කරන අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් යොදා ගනු ලබන්නේ වයින් නිපදවීම සඳහාය.

එම නිසා පරිභෝජනයට උචිත අපනයනය සඳහා සුදුසු වැඩි රසයකින් යුත් මිදි ප්‍රභේදයක් හඳුන්වා දෙන ලෙස යාපනයේ ගොවීහු කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීම් කරනු ලැබීය. ඒ අනුව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි නව මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් එම පර්යේෂණ කටයුතු කිලිනොච්චිය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට පවරා ඇත.

අපේ රටේ සෑම ප්‍රදේශයකම මිදි වගා කළ නොහැකි අතර, ඒ සඳහා උචිත දේශගුණික තත්ත්වයත්, උචිත පසත් යාපනය දිස්ත්‍රික්කය තුළ පවතී. එම නිසා වෙනත් පර්යේෂණ ආයතන මඟින් පර්යේෂණය කරනවාට වඩා වඩාත් සුදුසු වන්නේ කිලිනොච්චිය පර්යේෂණ ආයතනය මඟින් එම කටයුතු සිදු කිරීමයි. මේ වන විට එම ආයතනය නව මිදි ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා අදාළ පර්යේෂණ කටයුතු මෙහෙයවමින් සිටී.

යාපනයේ අර්ධද්විපය තුළ අඹ වගාව ද, ඉතා සුලභව සිදු කළ හැකි වගාවකි. අපේ රටේ අඹ අස්වැන්න බොහෝ විට වසරකට වාර 02 කට සීමා වේ. මේ නිසා ඇතැම් කාලවල විධිමත් පරිදි අඹ අස්වැන්නක් නොලැබේ. එමෙන්ම අඹවල හිඟතාවක් ද, පවතී.

මීට විසඳුමක් වශයෙන් ලෝක බැංකු ආධාර යටතේ එහි කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මඟින් ඉහළ වටිනාකමකින් යුතු අඹ ප්‍රභේදයක් වන Tom & JC අඹ විශේෂයේ පැළ 50,000ක් යාපනයේ සහ මාතලේ දිස්ත්‍රික්කවල වගා කිරීමට සැලසුම් කර ඇත. මේ වගාවන් සඳහා අඹ පැළ ලබා දීම ලබන මස ආරම්භ කිරීමට යෝජිතය.

Tom & JC අඹ ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ එය වසර පුරාම ඵල දරන අඹ විශේෂයක් වීමයි. එමඟින් විශාල අස්වැන්නක් ලබා ගත හැකි වනවා මෙන්ම ගොවීන්ට ඉහළ ආදායමක් ද උපයා ගත හැකි වේ.

අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකර්මාන්තය නැංවීම මඟින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම මෙන්ම පලතුරු ආනයනය සඳහා රටින් ඇදී යන අති විශාල ධනස්කන්ධය මේ රටේ ඉතුරු කර ගැනීමට අවස්ථාව ලැබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඩබ්. එම්. ඩී. වන්නිනායක
අධ්‍යක්ෂ (මාධ්‍ය)

නව අදහස දක්වන්න