දඹුල්ලේ ශීතාගාරයක් ඉදිකිරීමට මිලියන 300ක ඉන්දීය ආධාර | දිනමිණ

දඹුල්ලේ ශීතාගාරයක් ඉදිකිරීමට මිලියන 300ක ඉන්දීය ආධාර

දඹුල්ල ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවකින් යුත්, උෂ්ණත්වය පාලනය කළ හැකි ශීතාගාරයක් ඉදිකිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ. මේ සඳහා ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 300ක ඉන්දීය ප‍්‍රදානයක් ලබා දෙනු ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ දී ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. ශ්‍රී ලංකා රජයේ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

දැනට 40%ක් පමණ වන පසු අස්වනු හානිය අවම කිරීමේ අරමුණින් එළවුළු සහ පලතුරු සඳහා මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවකින් යුත් ශීතාගාරයක් මේ ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙනු ඇත. අතිරික්ත නිෂ්පාදනයක් පවතින අස්වැන්න බහුල කාලවල දී නාස්තිය අවම කර ගැනීම සඳහා මේ ශීතාගාරය ගොවි ජනතාවට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම මිල උච්ඡාවචනයන් පාලනය කිරීමට ද, තත්ත්වයෙන් ඉහළ කෘෂි නිෂ්පාදන පාරිභෝගික ජනතාවට ලබා දීමට ද මෙය උපකාරී වනු ඇත.

මේ ව්‍යාපෘතිය ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ශ‍්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉන්දීය රජය දරන තවත් එක් ප‍්‍රයත්නයක් වේ. සංවර්ධන ආධාර වශයෙන් ඉන්දියාව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ ලබා දී ඇති අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 550 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.


නව අදහස දක්වන්න