මහවැලි G කලාපයේ අක්කර 1200ක අතිරේක බෝග වගා කරයි | දිනමිණ

මහවැලි G කලාපයේ අක්කර 1200ක අතිරේක බෝග වගා කරයි

මහවැලි ජී කලාපයට අයත් කුඹුරු ඉඩම් අක්කර 1200කට අධික ප්‍රමාණයක බඩ ඉරිඟු, ලොකු ලූනු සහ වෙනත් අතිරේක භෝග වගාකර ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි. භෝග විවිධාංගීකරණ වැඩසටහන යටතේ වී වගාවට අමතරව තම කුඹුරුවල වෙනත් භෝග වගා කර වැඩි ආදායමක් ලබාගැනීමට ගොවි ජනතාව උනන්දු කළ බව මහවැලි ජී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා කීය.

බඩ ඉරිඟු සහ ලොකු ලූනු වගාව සඳහා මෙවර වැඩිපුරම යොමු වී ඇත්තේ මීට පෙර තම කුඹුරුවල ආර්ථික භෝගයක් ලෙස දුම්කොළ වගා කළ ගොවින් බව ද ජයසිංහ මහතා කීය. මීට පෙර කන්නවලදී කුඹුරු අක්කර 300කට අධික ප්‍රමාණයක මහවැලි කලාපයේ ගොවීන් විසින් දුම්කොළ වගා කළ බවත් එය මෙවර අක්කර 60න් පමණ දක්වා අඩු කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් හෙතෙම කීය.

මහවැලි ඒ, බී සහ සී කලාපවල සහ වැලිඔය, රඹකැන්ඔය, හුරුළු වැව, වික්ටෝරියා යන මහවැලි කලාපවල ගොවි නියෝජිතයන්, කෘෂිකර්ම නිලධාරීන්, මහවැලි නිලධාරීන් මහවැලි ජී කලාපයට පැමිණ පසුගියදා යෙදුණු ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාවකදී මේ බව අනාවරණය වූ බව නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය. තම කලාපයේ බඩ ඉරිඟු, ලොකු ලූනු සහ බෝග වගාවල අස්වනු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාවට කිසිදු ගැටලුවක් මතු නොවන බවද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 3000ක අස්වනු කිලෝවක් රුපියල් 80 බැගින් මිලදී ගැනීමට සත්ව නිෂ්පාදන සමාගමක් සමඟ ඉදිරි වෙළෙඳ ගිවිසුමෙන් ගොවීන් ඇතිකරගෙන ඇතැයි ද ඒ මහතා කීය. මේ අතර අනිකුත් නිෂ්පාදන අලෙවිය සඳහා වෙළඳ පොළේ පහසුකම් සැලැසුම් කර ඇති බව මහවැලි ජී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා කීය.

පොළොන්නරුව දිසා සමූහ


නව අදහස දක්වන්න