අපනයන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කිරීම අත්‍යවශ්‍යයි | දිනමිණ

අපනයන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කිරීම අත්‍යවශ්‍යයි

තාක්ෂණික ලෝකය තුළ දැනුම මුල්කර ගත් සමාජයක් බිහිවී තිබෙන යුගයක තරුණ පරපුර අපනයන ක්ෂේත්‍රය සඳහා ව්‍යාපාරික වශයෙන් දිරිගැන්වීමත්, අවශ්‍ය සම්පත් ලබාදීමත්, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය ලබාදීමත් ඉතාමත් වැදගත් වෙනවා.

අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඉතාමත්ම වැදගත් වන්නේ අපනයන ක්ෂේත්‍රය බැවින් අපනයන ක්ෂේත්‍රය සඳහා තිබෙන බාධා ඉවත් කිරීමත් විදේශ වෙළෙඳපොළට සුදුසු නිෂ්පාදන ක්‍රියාවලිය දැනට වඩා බොහෝ ශක්තිමත් වීමත් ඉතාමත් අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ සඳහා අද තාක්ෂණික ලෝකය තුළ දැනුම මුල් කර ගත් සමාජයක් බිහිවී තිබෙන යුගයක දැනුම මුල්කරගත් තරුණ පරපුර අපනයන ක්ෂේත්‍රය සඳහා ව්‍යාපාරික වශයෙන් දිරිගැන්වීමත්, අවශ්‍ය සම්පත් ලබාදීමත්, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය ලබාදීමත් ඉතාමත් වැදගත් වෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති 2018 අපනයන සම්මාන උළෙල අමතමිනි.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පැවසිය.

අපනයන සංවර්ධනය සඳහා විශිෂ්ටයන් වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනමන මේ වැදගත් අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අපනයනය සම්බන්ධයෙන් අපි බොහෝ දේ නිතර කතා කරනවා. ලෝක සිතියමේ අපේ රටේ පිහිටීම අනුව අපනයනය සඳහාම පිහිටි රටක්. අපේ රටේ අපනයනය සිදු වූයේ මීට වසර දහස් ගණනක සිටයි. එයම විදේශීය ආක්‍රමණවලට ද ප්‍රධාන හේතුවක් බවට පත්වුණා. පෙර රජ දවස ගත්විට අපේ රට ලෝකයේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් විදේශයන් සමඟ තිබු සම්බන්ධතා පිළිබඳව ඉතාහාස කතාවේ බොහෝ රසවත්, වැදගත්, හරවත් කරුණු රාශියක් තිබෙනවා.

ඉතිහාසයේ ආක්‍රමණ සහ ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳව කතා කළ විට, එදා අතීතයේ මැණික්, අලි ඇතුන් ස්වාභාවික සම්පත් මුල් වී තිබෙනවා. කාර්මීකරණයත් සමඟ තාක්ෂණික ලෝකයේ අපනයනය එදාට වඩා අද වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. අපේ රටේ අපනයනය පිළිබඳව එක් එක් ආණ්ඩුවල කාලපරිච්ඡේද ගත් විට වරෙක අපනයනයෙන් ඉහළ ගිය අවස්ථාත් ඇතැම් විට අපනයනයෙන් පහළ වැටුණු අවස්ථාත් පසුගිය කාලය තුළ දී පෙන්විය හැකියි.

අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඉතාමත්ම වැදගත් වන්නේ අපනයන ක්ෂේත්‍රය යි. විදේශ වෙළෙඳපොළේ අපනයනයෙන් අපි සිටින්නේ කොතන ද කියා මා ඔබට කීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. ගත වූ අවුරුදු තුහහමාරකට ආසන්න කාලය 2015 සිට මේ දක්වා අපනයනයෙන් 2015 තිබූ ස්ථානයට වඩා වැඩි දුරක් අපි සුළු වශයෙන් පැමිණ තිබෙනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්ම ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය යි. ඇතැම් වේලාවට රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් තුළ අපනයනය සඳහා දිරිැගැන්වීම් කරනවා වගේම ඇතැම් වෙලාවට අපනයනය දුර්වල කරන අවස්ථාත් අපි නොදන්නවා නොවේ. අපනයනය සැමවිටම දිරිමත් කිරීමට නම් අපනයන ව්‍යාපාරිකයින් සැමවිටම අපනයන බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුයි යන්නයි මගේ අදහස. එහිදී ප්‍රශ්න සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළත් තිබෙන යම් යම් ආර්ථික න්‍යායන් ඊට හරස් වී තිබෙනවා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා, කොයිකා, අයි.එම්.එෆ්‍, යූ.එන්. මේ සියලු ආයතන එකම මේසයකට ගෙනත් සාකච්ඡා කළා. ඔවුන් සමඟ මම කතා කළේ මේ වර්ෂයේ සහ ඉදිරි වර්ෂවල විශේෂයෙන් මුල්‍ය ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් අනු සංවිධානය හරහා අපේ රටට ලැබෙන ප්‍රදානයන්, අනුග්‍රහයන්, සහයෝගීතාවන් පිළිබඳව තිබෙන තත්ත්වය පැහැදිලි කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජනය කරමින් ඒ සාකච්ජාවට පැමිණි ආර්ථික විශේෂඥයන් අවසානයේ මා සමඟ කියා සිටියේ ආර්ථිකය ශක්තිමත් වීමට නම් අපනයනය ශක්තිමත් වීම වැදගත් බවයි.

ඒ නිසා අපනයන ක්ෂේත්‍රය සඳහා තිබෙන බාධා ඉවත් කිරීම වගේම විදේශ වෙළෙඳපළට සුදුසු නිෂ්පාදන ක්‍රියාවලිය දැනට වඩා බොහෝ ශක්තිමත් වීම ඉතාමත් අත්‍යවශ්‍යයි යන්න මගේ හැඟීමයි. අද තාක්ෂණික ලෝකය තුළ දැනුම මුල් කර ගත් සමාජයක් බිහිවී තිබෙන යුගයක දැනුම මුල්කරගත් තරුණ පරපුර අපනයන ක්ෂේත්‍රය සඳහා ව්‍යාපාරික වශයෙන් දිරිගැන්වීමත්, අවශ්‍ය සම්පත් ලබාදීමත්, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය ලබාදීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ සිටින ඔබ වැන්නවුන් සමඟ රජයේ වගකිව යුතු සියලු ආයතන සමඟ නිතර සාකච්ඡාව, සංවාදය, හමුවීම, ප්‍රශ්න හඳුනාගැනීම ඉතාමත් අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා.

ඔබ සමඟ කතා කළොත් බොහෝ විට කියන පළමු කාරණය තමයි රජයේ වගකිව යුතු පාර්ශ්වයන් අපිව හමුවෙන්නේ නැහැ, අපිත් එක්ක කතා කරන්නේ නැහැ. අපේ ප්‍රශ්න තේරුම් ගන්නේ නැහැ. ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ කියලා. එවැනි දුර්වලතා තිබෙනවා නම් අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ වගකිව යුතු පුද්ගලයන් සෑම කෙනෙක්ම අපනයනකරුවන් සමඟ සුහද මිත්‍රශීලී බවකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

ඒ නිසා 2017 - 2018 අපනයනය පිළිබඳ විශිෂ්ටයන්ගේ ජනාධිපති සම්මාන උලෙළේ දී ඔබට තිබෙන්නා වු බාධා ඉවත් කිරීමට අදාළ කරුණු අපි නොවැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරගෙන ඇති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ.

අපේ රටට ශක්තිය දෙන. ජාතික ආර්ථිකයට පුරෝගාමී පුළුල් දායකත්වයක් දෙන ඉතාම විශිෂ්ට මෙහෙවරක් කරන ඔබට රජයේ ආශිර්වාදය ලබාදෙනවා වගේම අනුග්‍රහය ලබාදෙමින් ඔබව දිරිමත් කරන්නටත් ඔබේ ව්‍යාපාරික ක්ෂේත්‍ර වැඩිදියුණු කරන්නටත් රජය සෑමවිටම කැපවෙන බව සඳහන් කිරීමට කැමතියි. මලික් සමරවික්‍රම ඇමැතිතුමා, සුජීව සේනසිංහ ඇමැතිතුමා, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා, එරාන් වික්‍රමරත්න ඇමැතිතුමා මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔබ සමඟ නිතර කටයුතු කරන පිරිස්. ඊට අමතරව අපනයන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලවලටත් පැමිණි ඔබටත් මගේ ස්තූතිය පිරිනමින් ඔබේ දියුණුව ඔබෙත් මගෙත් මාතෘ භූමියේ දියුණුව බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න

Or log in with...