රුපියල අවප්‍රමාණයවීම ජාත්‍යන්තර තත්ත්වයක් | දිනමිණ


 

රුපියල අවප්‍රමාණයවීම ජාත්‍යන්තර තත්ත්වයක්

මහ බැංකුවේ ජෙ. නි. අධිපති

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම ජාත්‍යන්තර තත්ත්වයක් අනුව සිදු වන්නක් මිස දේශීය ආර්ථිකයේ කළමනාකරණ දුර්වලතාවක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන වීරසිංහ මහතා මෙසේ ද කියයි.

ආසියානු කලාපයේ හා නැඟී එන ආර්ථිකවල එම රටවල තිබෙන මුල්‍ය ඒකක වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව අවප්‍රමාණ වෙනවා. ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල, පකිස්තානු රුපියල, ඉන්දුනිසියානු රුපියල, තලෙයිබානු රුපියල මේ සියල්ලක්ම ඒ අනුව ඩොලරයට සාපෙක්ෂව අවප්‍රමණ වෙනවා. අමෙරිකාවේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නිසා ඩොලරය අනෙකුත් මුදල් ඒකකවලට සාපෙක්ෂව ශක්තිමත්වීම වර්තමාන ජාත්‍යන්තර වෙළදපොළේ එක් ප්‍රවණතාවක්. ඉන්දියානු රුපියල මේ වන විට එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 11 කින්, ඉන්දුනීසියානු රුපියල සියයට 9 කින්, ඕස්ට්‍රේලියනු ඩොලරය සියයට 8.2කින්, පිලිපීන රුපියල සියයට 7.2 කින්, ශ්‍රී ලංකා රුපියල සියයට 7 කින් අවප්‍රමාණ වෙලා. මේ අනුව බලන විට ඉන්දුනීසියානු, ඕස්ට්‍රේලියානු, පිලිපීන මේ සියල්ල ශ්‍රී ලංකා රුපියලට වඩා වැඩි ප්‍රමාණයකින් එක්සත් ජනපද ඩොලරටය සාපේක්ෂව අවප්‍රමාණ වෙලා තිබෙනවා. එයින් පැහැදිලි වන පළමු කාරණය වන්නේ මෙය ශ්‍රී ලංකා රුපියලට පමණක් බලපානු ලබන දෙයක් නොව ලෝකයේ තවත් රටවල් ගණනාවකට බලපානු ලබන දෙයක් බවයි. එය ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදු වන දෙයක් නිසා ඊට සමාන රටවල වෙළෙඳපොළ වටිනාකම වෙනස් වෙනවා. මේ සම්බන්ධයෙන් අද සමහරු කියන්නේ රුපියලේ අගය බාල්දු වෙලා අපේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. අපි 2011-2012 හා 2015 වසර සංසන්දනය කර බැලුවොත් ඒ මේ වසරේ සියයට 7ක් පමණයි අවප්‍රමාණ වෙලා තිබෙන්නේ. නමුත් 2011- 2012 වසර දෙකෙහි සියයට 12 කට වඩා රුපියල කෙටිකාලයක් තුළ අවප්‍රමාණ වෙලා තිබෙනවා. 2015 දී කෙටිකාලයක් තුළ සියයට 9ක පමණ ප්‍රමාණයක් අවප්‍රමාණ වුණා. ඒ අවස්ථාවේ සියයට 9කින් අවප්‍රමාණ වුණා පමණක් නොවේ 2011- 2012 කාලයේ මහබැංකුව තමන්ගේ තිබු සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8 ක් 9 ක් වගේ ප්‍රමාණයෙන් බිලියන 4 ක් පමණ වියදම් කරලා තමයි රුපියල ඒ තරම් අවප්‍රමණ වුණේ. ඒ අවස්ථාවේ රුපියල අවප්‍රමාණ වුණේ ලංකාවට විතරයි. එය ජාත්‍යන්තරව නොවේ අපේ දේශීය ආර්ථිකයේ තිබු ප්‍රශ්නයක් නිසා සිදු වූ දෙයක්. විශේෂයෙන් ආනයන අපනයන ඉල්ලුම ශ්‍රී ලංකාවට පමණක් වැඩිවීම හා යම් යම් ප්‍රතිපත්ති නිසයි එසේ වුණේ. ඒ අවප්‍රමාණ වෙද්දිත් සංචිත විශාල වශයෙන් වියදම් කර තමයි ඒ ප්‍රමාණයත් රැක ගත්තේ. 2018 දී රුපියල අවප්‍රමාණ වෙලා තිබෙන්නේ සියයට 7 කින්. නමුත් සංචිත ප්‍රමාණය 2018 වසර පටන් ගැනීමේ සිට මේ වන තෙක් අඩු වෙලා නැහැ. සංචිත වැඩි වෙලා. ඉදිරියට ණය ගෙවන්න තිබෙන සල්ලි අපි නැති කරගෙන නැහැ. ප්‍රධාන වෙනස ලෙස අපි දකින්නේ එයයි. නමුත් යම් කිසි ආකාරයකින් අනෙකුත් රටවල්වලට සාපේක්ෂව හෝ ඊට වඩා අඩුවෙන් රුපියල අවප්‍රමාණ වෙලා තිබෙනවා. ඒ තත්ත්වය අපේ දේශීය ආර්ථිකයේ හෝ ආනයනයේ අඩුපාඩුවක් හෝ කළමනාකරණ දෝෂයක් නිසා ඇති වුවක් නොවේ. එය ජාත්‍යන්තර තත්ත්වයක් මත සිදු වූවක් බව පෙන්වා දිය හැකියි.

නව අදහස දක්වන්න