සීනි සමාගම් පෞද්ගලික අංශයට දෙන්නේ නැහැ | දිනමිණ

සීනි සමාගම් පෞද්ගලික අංශයට දෙන්නේ නැහැ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

පැලවත්ත හා ‍සෙවණගල සීනී සමාගම් පෞද්ගලික අංශයට හෝ පුද්ගලයකුට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

මෙම ආයතන දැනට පවතින ආකාරයටම ඉදිරියට‍ද පවත්වාගෙන යාමට නියමිත බවත් අස්වනු මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති බා‍දාවන් මඟහැරී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කළේය.

මෙම ආයතන පෞද්ගලික අංශයට හෝ වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට කිසිම තීරණයක් ගෙන නැහැ. අස්වනු මිලදී ගැනීම පිළිබඳ පැවති ප‍්‍රමාදයන් දැන් මඟහැරී තිබෙනවා. සීනි අලෙවිය සිදුවෙන්නේ පවතින වෙළෙඳපොල මිල අනුව. ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම නිසා සීනි අපනයනයේදී සමහර වර්ෂවල විශාල අලාභයක් සිදුවෙලා තිබෙනවා.මේ පිළිබඳව විධිමත් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළොත් විස්තරාත්මක පිළිතුරක් ලබාදිය හැකියි. වෙළෙඳපොල නිතරම වෙනස් වෙනවා. 2015 වර්ෂයේ විශාල අලාභයක් සිදුවුනා. කෙසේ නමුත් සීනි සඳහා මෑතක පැනවූ බද්ද කිසිසේත්ම පාරිභෝගියාගෙන් අයවීමක් සිදු වන්නේ නැහැ.

2017 වසරේදී ‍අක්කර 25696ක උක් වගා කර තිබෙනවා. 2013 වසරේදී සීනි මෙට්‍රික් ටොන් 332,634.94 ක්ද 2014 වසරේදී 229,582.34ක්ද 2017 වසරේදී 379,571.76 ක්ද සපයා ඇත.

නව අදහස දක්වන්න