ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය | දිනමිණ

ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය

* ඕල්කට් තුමා හා ධර්මපාලතුමා භේද කළ හැටි ජනපති මතක් කරයි
* අධර්මයෙන් ධර්මය රැකගන්න සඟරුවන පෙරට 
* මහ නාහිමියන්ගෙන් අනුරට ප්‍රශ්නයක්
* ජනපති අපේක්ෂක ගෝඨා යැයි මහින්ද කීවේ නැතිලු

ජාතික වෙරළ සංරක්ෂණ දින උත්සවය පසුගියදා ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙරළ තීරය පිරිසුදු කිරීම හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සඳහා වූ සතියක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ කරමින් දඩල්ල වෙරළතීරය පිරිසිදුකොට ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිතුමා අතින් එදින සිදුවුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නගන වෙරළ පිරිසිදු කිරීමේ හා සමුද්‍රිය සම්පත් සුරැකීමේ වැඩසටහන දිවයින වටා වෙරළ තීරයේ දී මෙම 15දා සිට 22දා දක්වා ක්‍රියාත්මක ‍වනවා.

දඩල්ලේ පැවැති එම වැඩසටහනේ සමාරම්භක උත්සවයට ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, අජිත් මාන්නප්පෙරුම, විජයපාල හෙට්ටිආරච්චි මැති ඇමැතිවරුන් එක්ව සිටියා.

තිස් වැනි වරටත් පැවැත්වුණු මහවැලි ක්‍රීඩා උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. දිවයිනේ මහවැලි කලාප දහයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ එම උත්සවයට පසුගියදා ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ කාන්තා දැල්පන්දු කණ්ඩායම ද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. මහින්ද අමරවීර, තලතා අතුකෝරළ ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

එහි දී කතාකරමින් ජනාධිපතිතුමා මහවැලි ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ කලා සංස්කෘතික කුසලතා ඉහළ නැංවීමට ජාතික මට්ටමේ කලාකරුවන්ගෙන් ලැබෙන සහය අගය කළා. මේ වනවිට කෘෂිකාර්මික ක‍්ෂේත්‍රයේ පැහැදිලි පිබි‍දීමක් ඇතිවී තිබෙන බව ද ජනාධිපතිතුමා කීවා.

අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම දින සමරුව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සංවිධානයකොට තිබූ එයට එක්වූ ජනාධිපතිතුමා අපූරු කතා ගණනාවක් කීවා. 1505 සිට 1818 දක්වා විදේශිකයන් මේ රට යටත් කරනවිට මෙරට ඇතැමුන් එයට සහය දැක්වූ ආකාරය ජනාධිපතිතුමා මතක් කළා.

“දේශප්‍රේමින් කියාගන්නා උදවියට වගකීමක් භාරදුන්විට ක්‍රියාකරන ආකාරය ‍රටම දන්නවා” යැයි ද ජනාධිපතිතුමා කීවා.

අපේ මිනිස්සු කොතරම් දක්ෂ ද කියනවා නම් ධර්මපාලතුමාත්, ඕල්කට්තුමාත් අතර භේදයක් ඇති කළ බව ද ජනාධිපතිතුමා කීවා. ඒ බව තමා පොතකින් කියැවූ බව ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළා. නායකයන් භේද කිරීමට අපේ ජනයාගේ ඇති හැකියාව ජනාධිපතිතුමා එලෙස පැහැදිලි කළා.

ජගත් ඕසොන් දින සැමරුම පසුගියදා පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාද එහි දී කතා කළා. අවසානයේ කතා කළ ජනාධිපතිතුමා පසුගිය රහසක් හෙළිකළා. ඒ අජිත් මාන්නප්පෙරුම නියෝජ්‍ය ඇමැතිතුමා ගැනයි. අජිත් මාන්නප්පෙරුම මහතාට මහනගර සංවර්ධන නියෝජ්‍ය ඇමැතිකම දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශකොට තිබූ බවත් මාන්නප්පෙරුම මහතා පැමිණිවිට “මම ඔයාට ඒ අමාත්‍යාංශය දෙන්නේ නෑ. ගස් වවන්න දෙන්නම් කියා තමා කී බවත් ඒ අනුව පරිසර නියෝජ්‍ය ඇමැතිකම දුන් බවත් ජනාධිපතිතුමා කීවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි හදනවාට වඩා ගස් වවන එක වැදගත් බවත් ජනාධිපතිතුමා කීවා.

ගෙවී යන සතිය ඇරඹුණේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවට පොලිස් ඔත්තුකරුවකු කළ එළිදරව්වක් සමගයි. අගමැති ඇතුළු මුළු ආණ්ඩුවේම අවධානය ඒ සඳහා යොමු වූ අතර කඩිනම් පරීක්ෂණ ඇරඹීමට අගමැතිවරයා පොලීසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර හරහා නියෝග කළා.

ඒ අතර දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කලම්බු සිටි සෙන්ටර් නමින් අඟහරුවාදා අගමැති අතින් කොළඹ නවම් මාවතේ දී විවෘත වූ අතර ඊට චමිපික රණවක හා ජෝන් අමරතුංගද එක් වුණා. දෙස් විදෙස් ආයෝජකයන් හා සමාගම් රැසක්ද එහි තම ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා.

බ්‍රහස්පතින්දා උදේම අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ පාර්ලිමේන්තු යාමට පෙර රාජකාරී කිහිපයක් ඉටු කිරීමටයි.

“පොලිසීයේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සාමාන්‍ය ඔත්තුකරුවෙක් එක්ක දුරකථනයෙන් ජනපතියි හිටපු ආරක්ෂක ලේකමුයි ඝාතනය කරන්න කතා කරාවිද? පොලිසියේ ඉන්නෙ ඒ තරමට වගකීමක් නැති අයද කියලයි මිනිස්සු අහන්නෙ "සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවා. 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවුවා. පොලිසියේ ඉහළ හා පහළ නිලධාරීන් හැමදාම තරගෙට ගහගන්නවා. ඒවා ජනතාවට වැදගත් නෑ. මේ කතාවත් එහෙම ආපු එකෙක්දැයි අපි සොයනවා' අගමැතිවරයා පැහැදිලි කළා.

"මේ සිද්ධිය හරහා පොලිස්පතිට ප්‍රහාර එල්ල කිරීමත් විපක්ෂයේ ඉලක්කයක්. ඔහු හොඳට වැඩ කළත් ජනමාධ්‍ය ඉස්සරහ රඟන එකනම් නවත්තන්න වෙනවා. ඒකාබද්දෙට කඩේ යන රටේ සුළු ප්‍රශ්න දෙගුණ කරල පෙන්නන ජනමාධ්‍යයි මේක ඇදගෙන යන්නේ" නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවුණා.

"එදා පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය දිනේෂ් ඇද්දම ඔහු අභිබවා යන්න ඒකාබද්ධෙ අනිත් අය උත්සාහ කරල වැඩේ අනාගත්තා. එක එක අය එක එක කතා කිව්වේ ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“මේ ඝාතන කතාව කොහෙන් හරි නිර්මාණය කරපු දේශපාලන නාට්‍යයක් බවත් බොහෝ දෙනකුගේ අදහසයි. ගෝඨාභය ඝාතනය කරන්නත් හිටියා කියන කතාව මේකට ඇදලා ගත්තේ ඒකාබද්දෙ කුලප්පු කරලා එයාලගෙ සපෝර්ට් එක ගන්න වෙන්නත් පුළුවන්” බදුලු දිසා මන්ත්‍රි චමින්ද විජේසිරි කළ විග්‍රහය ඉතා වැදගත් බව කාගෙත් අදහස වුණා.

“මේ සිද්ධියේ ඇත්ත හොයනවට වඩා විපක්ෂයට ඕනෑ මේකෙනුත් පටු දේශපාලන වාසි ගන්නයි. ඇත්තටම ඝාතන කුමන්ත්‍රනයක් තිබුණාද කියන එකයි හොයාගන්න ඕනෑ. හඬ පටිවල එහෙම එකක් නෑ කියලයි පොලිසියේ ඉහළ කෙනෙක් මට කිව්වේ” දයා ගමගේ කීවා.

“ඔය නි. පොලිස්පතිවරයා ජානක පෙරේරාගේ ඝාතනය ගැන විධිමත් පරීක්ෂණ කරපු හිටපු ගුවන් හමුදාපති රොෂාන් ඝාතන තැත හා ‍ෆොන්සේකා ඝාතන තැතකුත් වැළකූ හා මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැසක් සොයාගත්ත දක්ෂ කෙනෙක් බව කියනවා. එතකොට ඔය ඔත්තුකරුට රෝහින්ගයා කේස් එකේ දී ලක්ෂ 05 ක් පොලිසිය ලබා දුන්නත් දිගන කේස් එකේ ඔත්තු දීපුවට මුදල් පමා වු බවට අරගල කරපු කෙනෙක්ය, මේ පාවා දීමට හේතුව ඒකය කියලත් ආරංචි පල වෙනවා.” චමින්ද විජේසිරි එළි කළා.

“අගමැතිතුමා හා රංජිත් මද්දුම බණ්ඩාර මේ ඝාතන සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ දී කතා කළාම විපක්ෂයට කට උත්තර නැති වුණා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන විපක්ෂය අද කිඹුල් කදුළු හෙලුවත් 2015 ජනාධිපතිවරණ කාලේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කළාම කවුද ඇඬුවේ. ඇමෙරිකානු පුරවැසියෙක් වුණත් ගෝඨා ඉල්ලුවොත් වැඩි ආරක්ෂාවක් දෙනවා ජනාධිපතිතුමාට ආරක්ෂාව ගැන ප්‍රශ්න නැතත් ඒකාබද්දේ මරා ගැනිලි නිසා ගෝඨාට නම් අද ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන් බව අගමැතිතුමා කිව්වම විපක්ෂයට කට උත්තර නැති වුණා ” විජයදාස රාජපක්ෂ කීවා.

“මහින්ද රාජපක්ෂ නාමල් පුතා එක්ක ඉන්දියාවේ ගියේ ඒකාබද්දේ කෑගහන කාටත් හොරායි. ඒකට දිනේෂ්, වාසු, වෙල්ගම, වීරවංශ, ගම්මන්පිල ඇතුළු ඔක්කොම අවුල්ලු. ඒ ගමන රාජපක්ෂලා ඉන්දියාවෙන් ඉල්ලලා ලබාගත්ත එකක් කියලත් තානාපති ආරංචි මාර්ග එලිකළා. මත්තල ඉන්දියාව බදු ගන්නවාට විරුද්ධ නෑ කියල කීම නිසා ඒකාබද්දෙ අය අවුල් වෙලා. ” රන්ජන් රාමනායක කීවා.

“මහින්ද 2015 දී රට දාල ගියේ වසර 02 කට කලින් ඡන්ද තියලයි. රටේ ප්‍රශ්නවලට එයාට විසදුම් නැති වීම දාලා යන්න හේතුවයි. 2012 සිට 2014 දකිවා මානව හිමිකම් කොමිසම කළ ඉල්ලිම් පවා මහින්ද ඉවත දැම්මා. 2015 දී එයා දිනල තිබුණනම් ජිනීවාවල දී රටට ආර්ථික තහංචි අනිවාර්යෙන් වැටෙනවා. අපි ඒ සියල්ල වළක්වලා ණය බර 60% කුත් ගෙවලා රට බේරගත්තම දැන් මහින්ද ආපහු රට එයාට ඉල්ලනවා. මේවා විහිළු” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ ඉන්ධන මිල සූත්‍රය මෙහෙම ගියොත් මාසෙන් මාසෙට බඩු මිලයි ඉන්ධනයි වැඩිවේවි. ඒක දේශපාලන ලෙස අවාසියි. ” නවීන් දිසානායක කීවා.

“ ලෝකය ඉන්ධන මිල සූත්‍ර අනුව යන්නෙ. මිල අඩු වුණාම අඩු කරනවා. ඩොලරය ඉහළ යාමත් මෙතනදි බලපානවා.අපි ජනතාවට උපරිම සහන දෙන්න වැඩපිළිවෙළක් හදනවා. ඊයේත් ඒ ගැන කතා කළා. ” අගමැති කීවා.

“ රුපියල කඩා වැටීම ගැන ඒකාබද්දෙ ආර්ථික ඔස්කාර්ල කතා කළාට ලෝකයේ අනිත් සියලු රටවල මුදල් ඒකක කඩා වැටීම එයාල හංගනවා. ඉන්දියාවේ 10% කින් ඒ රුපියල වැටෙන කොට අපේ 05% යි. තම මුදල් ඒකකය කඩා නොවැටුණු රටක් පෙන්නන්න කියල මම ඒකාබද්දෙට කියනවා. ඩොලර් පොලී අනුපාතය වැඩි කරන්න ඇමෙරිකානු මහ බැංකුව තීන්දු කළා. ඒ නිසා ලොකයේම ඩොලර් ඇමෙරිකාව දෙසට ඇදුණා. ඩොලරය ඉතිහාසයේ ශක්තිමත් තැනට ආවා. ලොව හැම අනිත් රටකම ඒක පහරක් වුණා.අපේ අපනයනය වැඩි කිරීම හා ආනයන වියදම අඩු කිරීම මේකට එකම විසදුමයි. ” විජයදාස රාපක්ෂ නීතිය මෙන්ම ආර්ථිකය ගැනද විශේෂ දැක්මක් ඇති අයකු බව ප්‍රදර්ශනය කළේ එසේයි.

“ විජයදාස නීතිය අතහැරල මහ බැංකුවට ආර්ථික උපදෙස් දෙන්න පටන්ගන්න. ” අගමැති කීවේ උස් හඩින් සිනාසෙමින්.

“ මාණ්ඩලික ප්‍රධානියා මෙක්සිකෝ ඉඳල ඇවිත්. එතුමාට මිනීමැරුම් චෝදනා නැතිලු. උදව් කළාද කියල දැනගන්නයි කට උත්තර දෙන්න කියනව කියන්නේ. නේවි එකේ ඔහුට විරුද්ධ පිරිසකුත් ඉදීම මේ ගැටලුවලට මුල කියල ආරංචියි. ” චමින්ද විජේසිරි කීවා.

“ඔබතුමා මේ මාසෙට දෙපාරක් වියට්නාම් ගියා. ඒ වගේ ශීඝ්‍රයෙන් දියුණු වන රටක් එක්ක අත්වැල් බැඳගැනීම ලංකාවට හයියක් ” නවීන් දිසානායක කීවේ අගමැතිටයි.

“වියට්නාමය කියන්නේ අපට හුගක් ආර්ථික ආදර්ශ ගත හැකි තැනක්. සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව වගේ දියුණු රටක්. එයාලා හැම වැදගත් ආර්ථික සමුළුවකටම මට ආරාධනා කරන්නේ අපි යන ආර්ථික මාවතත් නිවැරදි නිසා බව ඔවුන් මට කිව්වා ” අගමැති කීවා.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල ආසනයේ බල මණ්ඩලය සෙනසුරාදා පැවැතියේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ උළුවිටිකේ නිවසේ දීයි. බල මණ්ඩලය ආරම්භයත් සමගම ඉතිහාසයට එක්වූ කතාවක් පුළුල් තිරයක් මත ප්‍රදර්ශනය කෙරුණා. එහි දැක්වුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයගත්ත ද පක්ෂයේ සිටි මුස්ලිම් සභිකයන් නගරාධිපති තේරීමේ ඡන්දයේ දී පොහොට්ටුවේ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය දුන් ආකාරය සහ ඔවුන් ඊට පෙර එකට එක්ව කිරිබත් කා එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා වූ ජිලිත් නිශාන්ත මහතාට සුබ පතමින් සිටි ආකාරයයි.

මේ දර්ශන පෙන්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඒ සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ නගර සභාවට තේරීපත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු තමන් හමුවී එකිනෙකා තම තමන්ට නගරාධිපති ධූරය දෙන්න යැයි වෙන වෙනම ඉල්ලා සිටි බවයි. නමුත් පක්ෂයේ තීරණයක් ලෙස ජිලිත් නිශාන්ත මහතාට නගරාධිපතිධූරය ලබාදීමට ඔවුන් එකඟ වී පසුව එයට එරෙහි වීම පක්ෂයේ විනය කඩකිරීමක් බවත් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා කීවා.

ඉරිදා සවස අක්මීමණ බල මණ්ඩල රැස්වීම පැවැතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහාතාගේ නිවසේ දීයි. එයට සහභාගී වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා පැමිණ සිටි අනෙකුත් මහජන නියෝජිතයන් සමඟ තේ පානය කරමින් සිටිය දී තම දුරකථනය නැති බව දැනගෙන එය සොයන්නට වුණා. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයත් විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසේ සිටි අන් අයත් මන්ත්‍රීවරුත් මේ දුරකථනය සෙව්ව ද පැය භාගයක් පමණ කාලයක් එය සොයා ගන්නට හැකිවුණේ නැහැ. අනතුරුව දුරකථනය නැති වුණත්කමක් නෑ. මම යනවා යැයි කියමින් එතැනින් පිටත්වීමට ඇමතිවරයා උත්සාහ ගනිද් දී විජේපාල හෙට්ටිආරච්චි මහතා තම අතේ තිබූ දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට සූදානම් වුණා. ඒ සමගම නැවත තම දුරකථනය දෙස බැලූ විජේපාල හෙට්ටිආරච්චි වජිර ඇමතිවරයා ළඟට ගිහින් මේක ඔබතුමාගේ දැයි ඇසුවේ එය තම දුරකථනය නොවන බව දැනගෙනයි.

ඔය තියෙන්නේ. මේක මෙච්චර වෙලා කොහෙද තිබුණේ.

මම හිතුවේ මගේ එක කියලා මම අතේ තියාගෙන නේ හිටියේ. විජේපාල කීවා

''අයියෝ. අපි මහන්සි වුණු තරමක්." කියා දුරකථනය හොයන්නට වෙහෙසුණු අය කියද් දී සැවොම සිනා සුණා.

අඟහරුවාදා කැබිනට් රැස්වීම පැවැත්වුණත් ඇමැති වජිර ගාල්ලේ ඉතා වැදගත් කාර්යයක් පැවරී තිබුණා. ඒ පසුගිය දා බලපිටිය ධීවර වරායෙන් මුහුදු ගොස් විනාශයට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂය බැගින් චෙක් පත් ප්‍රදානය කිරීමේ කාර්යයි. කැබිනට් රැස්වීමටත් මේ කාර්යයටත් දෙකටම යාම අත්‍යාවශ්‍ය බැවින් අලුයම ගාලු ගිය ඇමතිවරයා හැකි ඉක්මණින් ධීවර නිවෙස් තුනටම ගොස් චෙක්පත් ලබා දී යළි කැබිනට් රැස්වීම කඩිනමින් පැමිණීමට අපේක්ෂා කළ ද ඇමතිවරයාට නිවෙස් හතටම යාමට සිදුවුණා. කෙසේ වෙතත් කැබිනට් රැස්වීමට පැමිණි ඇමතිවරයා අනතුරට පත් ධීවරයන්ගේ පවුල්වල සාමාජිකයන් පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳ අනෙක් කැබිනට් අමාත්‍යවරු ද දැනුම්වත් කළේ ඔවුන්ට තවදුරටත් සහනයක් ලබාදීමේ අපේක්ෂාවෙන්.

ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 19වෙනිදා මල්වතු පාර්ශ්වයේ මහ නායක, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැ දැකීමට ගියා. ඒ, ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහායි. ජවිපෙ නායකයා තම පක්ෂය විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්ත්වය පැහැදිලි කළ අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම පසුගිය ජනාධිපතිවරුද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ බවත් ජනවරම් 05ක් ඒ සඳහා ලැබී ඇති බවත් සඳහන් කළා. ”ඒත් පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්න විධායක ක්‍රමය ඕනෑ කියලා නේද කියන්නේ” මල්වතු මහනායක හිමියෝ විමසා සිටියා. ”අපි 13 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවරී තියෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. 20 සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ. ඒ නිසා එතන ගැටලූවක් නැහැ ස්වාමින්වහන්ස” අනුර දිසානායක පිළිතුරු දුන්නා.

මහනායක හිමියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදුන්නා. ”20න් අගමැති රනිල් මහත්තයට වාසි වෙනවා කියලා බොහෝ අය කියනවා” මාධ්‍යවේදියෙක් විමසුවා. ”අපිට රනිල් එක්ක බේරගන්න දෙයක් නැහැ. ඒත් රනිල්ගේ ඇප පිට එළියේ ඉන්න අය තමයි ඔය කතාව කියන්නේ. 20න් වැඩිම වාසි තියෙන්නේ මහින්ද මහත්තයට. මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් මේකෙන් වාසියක් ලැබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට මාස 07කට පෙර ආණ්ඩුව නැතිවෙනවා. මොකද 20 සම්මත වෙලා ආණ්ඩුව විසුරුවන්න වෙන නිසා. ඉතිං එහෙම තියෙද් දී රනිල්ට වාසි කියන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ. 20ට විරුද්ධ වෙන ඇත්ත ප්‍රශ්නේ රාජපක්ෂ කණ්ඩායමේ බල අරගලයයි.” අනුර දිසානායක පිළිතුරු දෙමින් කීවා.

”මන්ත්‍රීතුමා එතකොට ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් දානවද?” ”අපේ මූලික ප්‍රයත්නය 20දිනවලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක. එය සාර්ථක නොවුණොත් ජවිපෙ ප්‍රමුඛව ජනතා බලවේග සමඟ විකල්ප අපේක්ෂකයෙක් ගැන පක්ෂය අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ.” මන්ත්‍රීවරයා කීවා. ”එතකොට කවුද අපේක්ෂකයා” නැවත ප්‍රශ්නයක්. ”අපි කලබල විය යුතු නැහැ. මුලින්ම 20 දිනවීමට අපි කටයුතු කරනවා.” මන්ත්‍රීවරයා කියා සිටියා.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී එයාර් ලංකා ගුවන්සේවාවේ කජු ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ගුවන් සේවා රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීයි. මෙම කතාවෙන් අනතුරුව සභා ගර්භයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ කේටරින් අංශයේ සේවකයින්ගෙන්ද ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ”ඔබතුමා කිවුවේ ඇත්ත. අපි අහලා තියෙන විදියට එයාර් ලංකා සමාගමේ කේටරින් සේවාව ඉතාම හොඳ එකක්. එයාර් ලංකා සමාගම බිලියන ගාණක ආදායමක් ලබනවා කියලා අපි අහලා තියෙනවා.” සේවකයෙක් කීවා ”ජනාධිපතිතුමා කියපු කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රටේ ගුවන් සේවය ගැන ප්‍රසිද්ධියේ මේ වගේ කතාවක් කිව්වාම ඒකට වෙන කැළල මකන්න ලේසියෙන් බැහැ. ජනාධිපතිතුමා කරන්න තිබුණේ අදාළ බලධාරීන් කැඳවලා අවශ්‍ය පියවර ගන්න නියෝගයක් දෙන එක.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්යෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් පක්ෂ කිහිපයකට සහ සිවිල් සංවිධාන කිහිපයකට ලිඛිතව දන්වලා. මේ අතර පසුගිය 18වෙනිදා ජවිපෙ සහ කොමියුනිස්ට් පක්ෂය අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වූ අතර කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, සභාපති රාජා කොල්ලූරේ, චන්ද්‍රසිරි ගජධීර, ඩොක්ටර් වීරසිංහ යන දේශපාලන මණ්ඩල සභිකයින් සාකච්ඡාවට සහභාගි වූණා. මෙහි දී නව ව්‍යවස්ථාක් සම්බන්ධයෙන් තිබෙන කතිකාව පිළිබඳව කතාබහක් ඇති වුණා ”ජවිපෙ ස්ථාවරය වුණේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. එහිදීත් අපි විශේෂ අවධානයක් යොමු කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වගේ දේවල්. නමුත් අපිට පේන්න තියෙන්නේ අලූත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් තිබෙන ඉඩ අවමයි කියන එක. ඒ නිසා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ.” ජවිපෙ ලේකම්වරයා පැහැදිලි කළා. ”අපිත් මුල ඉඳලම හිටපු ස්ථාවරය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒ නිසා අපිට මේකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම අපේ පක්ෂය ඇතුළෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.” කොමියුනිස්ට් පක්ෂ නායකයෝ ජවිපෙ නියෝජිතයින්ට පැවසුවා.

තම සහෝදරයකු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි යැයි මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු ජනමාධ්‍යයට ප්‍රකාශ කළ බව ලෝක ජනමාධ්‍ය වාර්තාකොට තිබුණා. ඒ පිළිබඳව මෙරට තුළද සංවාද ඇතිවුණා. බොහෝ දෙනා කීවේ ගෝඨාභය අපේක්ෂකයා බවයි. වාසුදේව කීවේ මහින්ද කී සහෝදරයා චමල් රාජපක්ෂ බවයි. චමල් ද කීවේ තමන්ද එම සටනේ කෙළවරක සිටින බවයි. කුමාර වෙල්ගම කීවේ ජනාධිපති අපේක්ෂකත්වයට රාජපක්ෂ සහෝදරයන්ට වඩා සුදුසු අපේක්ෂකයන් ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසුව පසුගියදා කැබිතිගොල්ලෑව හල්මිල්ලකුලම පුරාණ රජමහා විහාරයේ උත්සවයකට සහභාගි වුණා. එහි දී ජනමාධ‍්‍යවේදීන් ප්‍රශ්න කළ විට මහින්ද රාජපක්ෂ මහතා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව තමන් කිසිවිටෙක නොකී බවයි. තමා එසේ කීවා යැයි කීම අමූලික බොරුවක් බව ද මහින්ද කීවා.

මේ අතර මහා සංඝයා වහන්සේලා අතර පිබිදීමක් ඇතිව තිබෙන්නේ බුද්ධාගමේ නාමයෙන් වෙනත් අදහස් ප්‍රචාරය කිරීමට ඇතැම් පිරිස් හා භික්ෂුන් වහන්සේලා කටයුතු කරමින් සිටීම ගැනය. ඒ පිළිබඳව මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ කාරක සංඝ සභාවල පසුගියදා සාකච්ඡා වුණා. බෞද්ධාගමේ නාමයෙන් බෞද්ධ නොවන අදහස් හා ධර්ම දේශනා කළ භික්ෂූන් වහන්සේලා හතරනමක් මල්වතු කාරක සංඝ සභාවට කැඳවා අවවාද කිරීමද සිදුවුණා. මහානායක හිමියන් වැඳ සමාව ගත් උන්වහන්සේලාගේ බණ අන්තර්ජාලයෙන් ඉවත්කර ගැනීමටද නියම කෙරුණා. මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි පහමුණේ සුමංගල හිමියන් පැවසුවේ සමාව ගත් භික්ෂුන් වහන්සේලා පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකළහොත් ශාසනයෙන් නෙරපා හරින බවයි.

මෙලෙස ශාසනය තුළ සිටිමින් අධර්මවාදී අදහස් ප්‍රචාරය කරන අයට එරෙහිව ක්‍රියාකිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන ලිපියක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් යොමුකරනු ලැබුවා. ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධි විවිධ මිත්‍යා මත ප්‍රචාරය කිරීමට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවාගත් පුද්ගලයන් ක්‍රියාකරමින් සිටින බව මහ නාහිමිවරුන්ගේ ලිපියේ සඳහන් වනවා. බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති වගකීම අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහනායක හිමිවරුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය තුළද එබඳුම පිබිදීමක් ඇතිව තිබෙනවා. සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාවක් ඉල්ලා සිටීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් කටයුතු කරද් දී තවත් භික්ෂුන් වහන්සේලා දෙසීයකට වැඩි පිරිසක් ජනාධිපතිතුමාට පෙත්සමක් භාර දී ඇත්තේ දුස්සිල භික්ෂුන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගන්නා ලෙස ඉල්ලමින්. දුස්සිල භික්ෂුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් බෞද්ධාගමට නිග්‍රහයක් වන බව කියන මෙම භික්ෂු පිරිස එම කටයුතු නතර කිරීම බුද්ධාගමේ පැවැත්මට අත්‍යවශ්‍ය බව කියනවා. මෙලෙස නිර්මල බුද්ධාගම රැකගැනීමට සිල්වත් භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගැනීම මෙරට සමාජ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවු කැපීපෙනෙන වර්ධනයක් වනවා.

නව අදහස දක්වන්න