එල්විස්ගේ තාත්තා | දිනමිණ

එල්විස්ගේ තාත්තා

ෆවුස් මොහොමඩ්

තාත්තා කියන්නේ පුතකුගේ ජීවිතයේ එක්තරා යුගයක වීරයෙක් වුණත් ඕනෑම තාත්තා කෙනෙකුට නම් මුළු ජීවිත කාලය පුරාම එයාගේ ලෝකයේ එකම වීරයා පුතා විතරයි. ඒක තමයි තාත්තාගේ ජීවිතය අන්තිම හැන්දෑවෙත් පාට කරන එකම වස්තුව. ඒත් පුත්තු ඒවා දන්නේ නෑ. තාත්තලා කියන්නෙත් නෑ.

තාත්තා කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ පළමු වීරයා. දරුවකු මෙලොවට බිහිවූදා සිටම මවක් කෙතරම් සමීප වූවත් තාත්තා කියන්නේ ඈත සිට තම දරුවා දෙස බලමින් ආඩම්බරයෙන් හිනැහෙන අපූරු චරිතයක්.

හැම පුතකුගේම පළමු හීනය තාත්තා අනුකරණය කිරිමයි. තාත්තා මෙන් ඇවිදින්නට... කතා කරන්නට...හැසිරෙන්නට....ඕනෑම පුතෙක් ආසයි. බාගෙ විට පුතා වැඩිවියට එළැඹෙද්දී තාත්තා ගැන අඩු වැඩි වශයෙන් විවිධ සිතුවිලි පහළ වෙනවා. ඒවා සමහර වෙලාවට වචනවලට හැරවෙනවා. තාත්තාගේ හිත රිදෙනවා....තාත්තාගේ නිතර දෙවේලේ ඇසෙන අණ කිරිම්,... නියෝග පිළිපදින්නට පුතා අකැමති වෙනවා. හිතුවක්කාර වෙනවා. ඒත් තාත්තාට නම් තමන්ගේ ලෙයින් මෙලොවට බිහිවුණු මේ ආදරණීය වස්තුව කොයිතරම් උස් මහත් වුණත් ආදරේ අඩුවෙන්නෙ නෑ.

අපි හැමෝම දන්න රොක් සංගීතයේ ඔටුනු පළන් රජු එල්විස් ප්‍රෙස්ලිගේ තාත්තාත් ඒ වගේ. එයා වර්නන් ප්‍රෙස්ලි. මෙලොව කිසිම පියකු අත්විඳීමට අකමැති වේදනාකාරි ජීවන අත්දැකීමක් හිතේ ගුලිකරගන්නට වර්නන්ට සිදුවුණා. ඒ තමයි තමන්ගේ ආදරණිය පුත්‍ර රත්නයගේ අකල් වියෝව දැකබලා ගන්නට සිදුවීම. කිසිම තාත්තා කෙනෙක් දකින්නට අකමැති තමන්ගේ පුත්‍රයාගේ මළ සිරුර අසළ ඔහු ඉකි ගසා හඩන්නට ඇති. ඒක කොයිතරම් සංවේදිජනකද...?

අවුරුදු 42ක් තරම් අඩු වයසකින් එල්විස් ප්‍රෙස්ලි මෙලොවින් සමුගනිද්දී වර්නන්ගේ දෑස්වලින් උණු කඳුළු කඩා වැටුණා. ජීවිතය පාට කළ වීරයා තනියම අවසන් ගමන් යද්දී වර්නන්ගේ මුළු ජිවිතයම අඳුරු වුණා. කළුසුදු වුණා.

‘මම මගේ පුතාට ආදරේ කරන්න පටන් ගත්තේ එයා උපදින්නත් කළිනුයි. මටයි මගේ බිරිය ග්ලේඩිස්ටයි එල්විස් තරම් වටිනා වස්තුවක් තවත් තිබුණේම නෑ. එයා තමයි අපේ ලෝකය පාට කළ වීරයා වුණේ. එල්විස් එයාගේ අම්මාගේ කුසේ පිළිසිඳ ගනිද්දී මට අවුරුදු 18යි. එදා පටන් මගේ ලෝකයේ එකම වස්තුව එල්විස් විතරයි. එයා තමයි මට දෙවියෝ දුන්නු උතුම්ම තෑග්ග.’

සැබැවින්ම එල්විස් උපන්නේ නිවුන් දරුවන් ලෙසයි. ඔහුට වඩා මිනිත්තු කිහිපයක් වැඩිමල් සොයුරා ඉපදෙනවිටම මියගොස් තිබුණා. එදායින් පසුව ඔහුගේ මාපියන් වෙන දරුවකු ගැන සිතුවේම නෑ.

‘අපිට මේ ඇති...’ ඔවුන් සිතුවේ එහෙමයි.

ඔවුන් කවදත් පසුතැවිලි වුණේ නෑ.

අනිත් හැම පුතකුගෙම වගේම එල්විස්ගේ ජිවිතයෙත් එකම වීරයා වුණේ එයාගේ තාත්තා. වර්නන් තරම් එල්විස්ට ආදරය කළ, රැකවරණය දුන්නු වෙනත් පුද්ගලයෙක් සිටියේම නෑ.

එල්විස් උස් මහත්වෙලා ජිවිතය තනියම කියවන්න පටන්ගත්තට පසුවත් වර්නන් පුතාගේ ලෝකයේ එකම සෙවණැල්ල වුණා. වැඩි දෙනෙක් නොදන්න කාරණාව වුණෙත් ඒකමයි. රොක් සංගිතයේ යුව රජු ලෙස ලොවක් වසඟ කළ එල්විස්ගේ ජීවිතයට පසුකාලීනව එබිකම් කරන්නට පටන් ගත් රූමතියන්ට තමන්ගේ වීරයාට කිට්ටු වෙන්නවත් වර්නන් ඉඩ තැබුවේ නෑ. එහෙම තමයි එයා රොක් සංගීතයේ ඔටුනු පළන් රජු රැක බලා ගත්තේ. ඒත් පසුකාලීනව එල්විස්ගේ ජිවිතයට හොර රහසේම ඇතුළුවුණු මත් රකුසන්ගෙන් එයාව බේරාගන්න තරම් වර්නන් වාසනාවන්ත වුණේ නෑ.

ඒත් මියයනතුරුම එල්විස්ගේ ජිවිතය පසුපස වර්නන් හිටියා. එල්විස්ගේ ලෝක සංගීත සවාරි මාලාවේ වර්නන් හිටියා. ඔහු නිතරම තම පුතා සමග රට රටවල සංචාරය කළා. ඒ හැම සංචාරයකදීම ගී ගැයීමට එල්විස් වේදිකාවට ගොඩවී මුලින්ම කළේ තමන්ගේ ජීවිතයේ අසහාය වීරයා තාත්තා ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමයි.

එල්විස් 1977 අගෝස්තුවේ මෙලොවින් සමුගෙන ගියාට පසුව එයාගේ තාත්තා ජීවත් වුණේ වසර දෙකක් විතරයි. ඒ කාලය පුරාම ඔහු කළේ තමන්ගේ ආදරණීය පුත්‍ර රත්නය සිහි කරමින් කඳුළු සැලීමයි. අන්තිමේදී තාත්තාත් එල්විස්ගේ සොහොන අසළින්ම සැතපුණා.

තාත්තා කියන්නේ පුතකුගේ ජීවිතයේ එක්තරා යුගයක වීරයෙක් වුණත් ඕනෑම තාත්තා කෙනෙකුට නම් මුළු ජීවිත කාලය පුරාම එයාගේ ලෝකයේ එකම වීරයා පුතා විතරයි. ඒක තමයි තාත්තාගේ ජීවිතය අන්තිම හැන්දෑවෙත් පාට කරන එකම වස්තුව. ඒත් පුත්තු ඒවා දන්නේ නෑ. තාත්තලා කියන්නෙත් නෑ.

නව අදහස දක්වන්න