ඇයි අපට එහෙම කරන්නේ පෙරහරේ සම්මාන අසාධාරණයක් | දිනමිණ

ඇයි අපට එහෙම කරන්නේ පෙරහරේ සම්මාන අසාධාරණයක්

අසේල කුරුළුවංශ

පෙරහර සඳහා දින එකොළහක් පුරා දායකත්වය ලබාදෙන කලාකරුවන්ටද ජනපති මන්දිරයේ දොරටු විවර කරමින් සමාප්ති උත්සවයේදීම ඔවුන්ට සම්මාන පිරිනැමීම ආරම්භ වූයේ 1984 වසරේ ජේ.ආර් ජයවර්ධන මහතා ජනපති ධූරය හෙබවූ කාලයේදීය.එතැන් පටන් දශක හතරක පමණ කාලයක් පුරා අඛණ්ඩව පැවැත එන මෙම කලාකරුවන් ඇගයීමේ ක්‍රියාවලිය තුළ යම් යම් අසාධාරණ තේරීම් සිදුවන බවට විවේචන පැවතුණත් ඒවා කලාකරුවන් අතරට පමණක්ම සීමාවී තිබිණි.මෙවර එම තත්ත්වය වෙනස් වූයේ සම්මාන ලබා දීමේදී සුදුස්සාට සුදුසු තැන හිමි නොවන බවට සම්මාන ලාභි වෙස් නැටුම් ශිල්පියකු ජනපතිවරයාට කළ පැමිණිල්ලක් හේතුවෙනි.

මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සිව් මහ දේවාල හා පිටිසර දේවාග බස්නායක නිලමේවරු පෙරහරින් ගොස් රාජ්‍යය නායකයා වෙත බාර දීම අතීතයේ පටන් පැවත එන සම්ප්‍රදායකි.දහවල් පෙරහර අවසානයේ සිදු කෙරෙන මෙම චාරිත්‍රය මහනුවර ජනපති මන්දිරයේදී ඉටු කෙරෙන්නේ මැති ඇමැතිවරු,රජයේ උසස් නිලධාරීන්,නිලමේවරු හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනි.පෙරහර සඳහා දින එකොළහක් පුරා දායකත්වය ලබාදෙන කලාකරුවන්ටද ජනපති මන්දිරයේ දොරටු විවර කරමින් මෙම සමාප්ති උත්සවයේදීම ඔවුන්ට සම්මාන පිරි නැමීම ආරම්භ වූයේ 1984 වසරේ ජේ.ආර් ජයවර්ධන මහතා ජනපති ධූරය හෙබවූ කාලයේදීය.එතැන් පටන් දශක හතරක පමණ කාලයක් පුරා අඛණ්ඩව පැවැත එන මෙම කලාකරුවන් ඇගයීමේ ක්‍රියාවලිය තුළ යම් යම් අසාධාරණ තේරීම් සිදුවන බවට විවේචන පැවතුණත් ඒවා කලාකරුවන් අතරට පමණක්ම සීමාවී තිබිණි.මෙවර එම තත්ත්වය වෙන්ස් වූයේ සම්මාන ලබා දීමේදී සුදුස්සාට සුදුසු තැන හිමි නොවන බවට සම්මාන ලාභි වෙස් නැටුම් ශිල්පියකු ජනපතිවරයාට කළ පැමිණිල්ලක් හේතුවෙනි.

ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා ඉදිපිට වෙස් නැටුම් ඉදිරිපත් කරන කණ්ඩායමේ වර්තමාන නායකත්වය උසුලන ඉශන්ත ඉහළවෙල මෙම පැමිණිල්ල කළ කලාකරුවා විය.මෙවර පෙරහරේ විශිෂ්ඨතම වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස සම්මානයකට හිමිකම් කිවූ ඔහු අදාළ සම්මානය ජනපති අතින් ලබා ගත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා,සහ ලක්ෂ්මන් කිරිඇල්ල,සරත් අමුණුගම,විජයදාස රාජපක්ෂ,ගාමිණි ජයවික්‍රම පෙරේරා,සහ දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහ දේවාලබස්නායක නිලමේවරු හා මහනුවර දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉදිරිපිටදීය.ඔවුන් කිසිවකුත් අපේක්ෂා නොකළ මොහොතක ඉහළවෙල කලාකරුවා ජනපතිවරයාට කිට්ටුවී මෙසේ කීවේය....

ජනාධිපති තුමනි මේ සම්මාන දීමේ වැඩපිළිවෙළ තුළ කලාකරුවන්ට අසාධාරණයක් වෙනවා,මේ නිසා කලාකරුවන් අසතුටට පත්වෙනවා.ඒක පෙරහරට හොඳ නැහැ,සුදුස්සාට සුදුසු තැන නොලැබෙන නිසා දැන් දැන් මේ සම්මාන ගැන කලා ශිල්පීන් තුළ අප්‍රසාදයක් ඇති වෙමින් යනවා,අද දක්ෂ ප්‍රවීණ ශිල්පීන්ට සම්මාන ලැබිලා නැහැ,මේ ගැන ඔබ තුවා සොයා බලා සාධරණයක් කරන්න....

මෙම ප්‍රකාශයෙන් පසු උත්සව සභාව ඇමැතූ ජනපතිවරයා කීවේ සම්මාන ලබා දීමේදී ශිල්පීන්ට කිසිදු අයුරකින් අසාධාරණයක් සිදු නොවිය යුතු බවයි.මෙවර සම්මාන ලබා දීමේදී එවැනි දෙයක් සිදුව තිබේද යන්න වහා සොයා බැලිය යුතු බවට ජනපතිවරයා ඒ මොහොතේම උපදෙස් දුන්නේ වරදක් සිදුව ඇත්නම් එය වහා නිවැරදි කිරීමේ අරමුණ ඇතිවය.ජනපති කළ මෙම ප්‍රකාශයෙන් පසු මෙවර පෙරහරේ සම්මාන ලබා දීමේදී ශිල්පීන්ට යම් අසාධාරණයක් සිදුව තිබෙන්නේද යන්න සෙවීම සඳහා දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.සම්මාන ලබා දීම පිණිස ශිල්පීන් නිර්දේශ කිරීමේදී විනිශ්චය මණ්ඩලය ලකුණු ලබා දීමට අනුගමනය කළ නිර්නායක මොනවාද යන්න සම්බන්ධවද දැන් ප්‍රශ්න කෙරමින් පවතී.

මෙම පැමිණිල්ල කළ ඉශන්ත ඉහළවෙල මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරියකුද වන ඔහු පාඨශාලාචාර්ය වරයෙකුද වෙයි.ජීවිතයේ එක් වරක් පමණක් ශිල්පියකුට හිමිවන පෙරහරේ අති විශිෂ්ඨ වෙස් නර්තන ශිල්පියාට හිමි සම්මානය පසුගිය වසරේ හිමිකර ගැනීමට සමත්වූ ඔහු මේ වනවිට පෙරහරට සම්බන්ධව දැක්වූ දක්ෂතා මත ජනපති සම්මාන සහතික පහළොවකට ආසන්න සංඛ්‍යාවක් දිනා ඇති අයෙකි.

“ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා රජු පත්කළ පනික්කි ධූර හතරෙන් ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩව විකාශනය වන පරම්පරාව තමයි ඉහළවෙල කියන්නේ.දළදා වහන්සේ සම්බන්ධ රාජකාරි උරුමය අපට තිබෙනවා.පෙරහරේදී අපි ගමන් කරන්නේ කරඬුව ඉදිරිපිටින්.මෙවර මට විශිෂ්ඨ වෙස් නැටුම් ශිල්පියාට හිමි සහතිකය හා මුදල් ත්‍යාගය ලැබුණා.මගේ කණ්ඩායමේ සිටින ප්‍රවීණතම ගැටබෙර වාදකයා වන අයි.ජී සිරිසෝම කලාකරුවාට සම්මානයක් නොලැබීම ඇත්තටම ප්‍රශ්නයක්.ඔහු තමයි ගැටබෙර වාදන කණ්ඩායමේ ප්‍රධානියා.හොඳ වාදනයක් නොමැතිව හොඳ නර්තනකයක් ඉදිරිපත් කරන්න බැහැ.මේ ආකාරයේ අසාධාරණයක් සිදුවූ බව පැහැදිලිව පෙනෙන තවත් ශිල්පීන් රැසක් පෙරහරේ ඉන්නවා.මෙයට පෙරත් මේ අසාධාරණය වුණා.ඒත් කලාකරුවෝ කවුරුවත් ඒවා ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ.දවස් 11 ක් පෙරහරේ ගමන් කරලා හිත් වේදනා සියල්ල දරාගෙන ගෙදර ගියා.මේවා හැමදාම ඉවසගෙන ඉන්න බැරි නිසයි මම ජනාධිපතුතුමාට මේක කිව්වේ.ජනපති මන්දිරයට එන්න පුළුවන් සම්මාන තියෙන ශිල්පීන්ට විතරයි.මේ නිසා අසාධාරණයක් වුණු ශිල්පියෙකුට ඒ ගැන ජනපතිතුමාට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.” ඒ නිසයි මම ඔවුන් වෙනුවෙන් මේ පැමිණිල්ල ජනපතිතුමාට කළේ.මීට කලින් මේ අසාධාරණය සම්බන්ධයෙන් ශිල්පීන් බලධාරීන්ට පැමිණිලි කළා.ඒත් සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ....ඉශන්ත ඉහළවෙල පවසයි.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධවන කලාකරුවන්ගේ දක්ෂතා නීරීක්ෂණය කරමින් සම්මාන සඳහා ඔවුන් නිර්දේශ කිරීම සිදුකර තිබෙන්නේ සය දෙනෙකු ගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.ඇසළ පෙරහර භාරය මගින් සෑම වර්ෂයකම අයඳුම් පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් පසු විනිශ්චය සඳහා පුද්ගලයින් තෝරා ගන්නා බව ඇසළ පෙරහර භාරයේ බලයලත් නිලධාරී,ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මහතා පවසයි.එලෙස මෙවර පෙරහර විනිශ්චය සඳහා විශ්‍රාමික සහකාර නර්තන අධ්‍යක්ෂ (නර්තන) පී.එම් කරුණාතිලක,විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (නර්තන) ඩී.නිමලරත්න,මහවැලි විද්‍යා පීඨයේ නර්තන අංශයේ කථිකාචාර්ය එම්.එම්.බී දසනායක,මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු උප පීඨාධිපති මාලනී රාජපක්ෂ,පේරාදෙණිය අධ්‍යාපන පීඨයේ භාහිර කථිකාචාර්ය බී.කලාකීර්ති,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ භාහිර කථිකාචාර්ය,කිංගස්වුඩ් විද්‍යාලීය නර්තනාචාර්ය ඒ.පී.එස් විජයරත්න යන මහත්ම මහත්මීන් තෝරාගෙන ඇත.විනිශ්චය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දුන් එම කණ්ඩායමේ පී.එම් කරණාතිලක මහතා.

“දළදා මාලිගාව හා සතර මහ දේවාළ නියෝජනය කරමින් පෙරහරට ගැට බෙර වාදන ශිල්පීන් පමණක් දෙසිය පනහක් තුන්සියයක් සහභාගි වෙනවා.ඔය අතරින් ගැටබෙර අංශය සඳහා සම්මාන ලබා දෙන්නේ හතළියක් වගේ සංඛ්‍යාවකට.සම්මාන සඳහා අපිට නිර්දේශ කරන්න පුළුවන් සංඛ්‍යාව එපමණයි.මේ නිසා අපි හොඳම ශිල්පීන් පිරිස තෝරා ගන්න තමයි උත්සහ කරන්නේ.පසුගිය අවස්ථාවල විශිෂ්ට සම්මාන දිනාගත් ශිල්පීන්ට මෙවරත් දෙන්න ඕන කියලා නියමයක් නැහැ.එහෙම නම් විනිශ්චය මණ්ඩලයක් ඕන වෙන්නේ නැහැනේ.කොතරම් දක්ෂයෙක් වුණත් බෙර ගහන්නේ නැත්නම් අපි සම්මාන වලට නිර්දේශ කළේ නැහැ.ඒක දක්ෂතා දක්වන අනෙක් ශිල්පීන්ට කරන අසාධාරණයක්.ඔය අසාධාරණයක් වුණා කියන ශිල්පියා පෙරහරේ ගියා.අපි නිරීක්ෂණය කළ අවස්ථාවල ඔහු බෙර වාදනයේ යෙදුණේ නැහැ.සම්මාන සඳහා නිර්දේශ කරන්න ශිල්පියෙක් අවම වශයෙන් පෙරහරේ දින හතරක් ගමන් කළ යුතුයි.අපි අවසන් කුඹල් පෙරහරේ සිට රන් දෝලි මහ පෙරහර දක්වා දින හයක් මේ විනිශ්චය සඳහා සම්බන්ධ වුණා.හොඳට ගායනය,වාදනය හා නර්ථනය කරනවාද කියලා බලන්න පෙරහරේ ගිහින් තියෙන්න ඕන නැහැ.මේ කලාව දන්නා අය තමයි විනිශ්චය කළේ.අපි ශිල්පීන් තේරුවේ අපක්ෂාපාතිවයි.සැලකිල්ලට ලක්කළේ දක්ෂතාව පමණයි.මේක කවුරු හෝ අභියෝගයකට ලක් කරනවා නම් අපි ඒකට උත්තර දෙන්න ඕන වෙලාවක සූදානම්...."

මෙවර සම්මානයක් නොලැබීම හේතුවෙන් කතා බහට ලක්වූ අයි.ජී සිරිසෝම මහතා මහනුවර ඇසළ පෙරහර හැඩ කරන්නට දශක හයක පමණ කාලයක් පුරා දායකත්වය ලබාදුන් අයෙකි.හැත්තෑ තුන් වන වියෙහි පසුවන ඔහු ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන ජනපතිවරු අතින් සම්මාන සහතික විසි පහක ආසන්න සංඛ්‍යාවක් ලබා ගෙන ඇත්තේ පෙරහරේ දක්වා තිබෙන දක්ෂතා හේතුවෙනි.දැනට ජීවතුන් අතර සිටින උඩරට පාරම්පරික කලාකරුවන් අතර ජ්‍යෙෂ්ඨයකු වන සිරිසෝම මහතා පෙරහරේ ගමන් කරන බෙර වාදන ශිල්පීන් රැසකගේ ගුරාය.මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් දක්වා තිබෙන දායකත්වය අගයා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව මගින් ඔහුට 2013 වසරේදී කලාභූෂණ රාජ්‍යය සම්මානයද පිරිනමා ඇත.....

“මට මේ පාරත් සම්මානයක් හම්බවෙයි කියන බලාපොරොත්තුව තිබ්බා.දවල් පෙරහර දවසේ තමයි සම්මාන ලැබෙන ශිල්පීන්ගේ ලැයිස්තුව එළියට දාන්නේ.මගේ නම ඒකේ නැති වුණාම මට ලොකු දුකක් දැණුනා.මේ දුක නිසාම එදා මම දවල් පෙරහරේ බෙර නොගහා තාලම්පොට ගැහුවා.පෙරහර ගෙවැදුනාට පස්සේ කෙලින්ම ගෙදර ආවා.මම අවුරුදු හැටක් පෙරහරේ යනවා.ඒ අවුරුදු හැ‍‍‍ටෙන් පනහක් විතරම බෙර ගැහුවා.මේ අත්වල කරගැට ඇවිත් තියෙන්නේ බෙර ගහලම.මට වගේම ඕ.පී පංචනාද කියන ශිල්පියාටත් මේ පාර සම්මානයක් ලැබිලා නැහැ.පෙරහරේ පෙළ ගැස්ම තුළ එක් එක් කණ්ඩායමේ දක්ෂතම අය තමයි ඉදිරියෙන් සිටින්නේ.විනිශ්චය කරන අය මේවා දන්නවාද දන්නේ නැහැ.අද සම්මාන වලට අපිව නිර්දේශ කරන අය එක පෙරහරකට සම්බන්ධ වෙලා තියෙනවාද කියන්න මම දන්නේ නැහැ.වෙස් නර්තන කණ්ඩායම සමඟ ගැට බෙර වාදනයේ යෙදෙන ශිල්පීන් වාදනය කරමින් පෙරහරේ ගමන් කරන්නේ පසු පසටයි.මේක පෙරහරේ සම්ප්‍රදාය.මේවා දැනගෙන තමයි විනිශ්චය කරන්න ඕන.ඇත්තටම මම මේ ප්‍රශ්නය කතා කරනවාට කැමැති වුණේ නැහැ.ඒත් වෙස් කණ්ඩායමේ නායක ඉහළවෙල ශිල්පියා මේක ජනාධිපතිතුමාට කියා තිබෙනවා.වෙස් කණ්ඩායමේ ප්‍රධාන වාදකයා මම නිසා ඔහු

දන්නවා මම පෙරහරේ බෙර ගැහුවද නිකන් ගියාද කියලා...” සිරිසෝම පවසන්නේ හැඟුම්බරවය.

විෂ්ණු දේවාල පෙරහරේ ගමන් කරන විමලසිරි පිලිල්ලදෙණිය අති විශිෂ්ඨ තම්මැට්ටම් වාදන ශිල්පියාට හිමි සම්මානය සමඟ ජනාධිපතිවරු තිදෙනෙකු ගෙන් සම්මාන 13 ක් ලබාගත් ශිල්පියෙකි.ඔහු සතු දක්ෂතාව තීන්දු කිරීමට එම සම්මාන ප්‍රමාණවත්ය.

“සිරිසෝම කියන්නේ පෙරහරේ ඉන්න අති දක්ෂතම ගැට බෙර වාදන ශිල්පීන් කිහිප දෙනා ගෙන් එක් අයෙක්.අද පෙරහරේ ඉන්න අත්දැකීම් බහුලම ශිල්පියෙක් ඔහු.පෙරහරේ සම්මාන ලබා දෙන්නේ හිතවත් කම් වලට.හොඳට ඇඟපත තියෙනවා නම් ඒකත් සම්මානයට සුදුසු කමක්.බෙර ගහන්න බැරි වුණත් ලස්සනට ඇදලා කරලා හිටියා නම් හරි.විනිශ්චය කරන සමහරු හිතන්නේ බෙරේට ගහන්න පුළුවන් හැමෝම දක්ෂයෝ කියලා.එහෙම වෙන්නේ නැහැ.මම පෙරහරේ දවස් දහයම තම්මැට්ටම් ගැහුවා.මොන තරම් තිබහ තිබුණත් වතුර පොදක් මම කටේ ගාන්නේ නැහැ.අපි ශිල්පියෝ විදිහට මඟ නතර වෙවී වතුර බොන්න ගියොත් ඒකෙන් පෙරහර අවලස්සන වෙනවා.අපි ශාස්ත්‍රය දැනගෙන මේක කරන්නේ.පෙරහරට අපි සම්බන්ධ වෙන්නේ දවස් ගානක් පේවෙලා භක්තියකින් හා ගෞවරයකින්.දවස් 10 ක් එක දිගට රෑ නිදි මරාගෙන අපි මේ කරන්නේ පූජෝපහාරයක්.මෙච්චර කැපවෙලා කරන මංගල්‍යය අවසානයේ සම්මාන නිසා හිත් රිදවගෙන ගෙදර ගියාම දැනෙන්නේ පුදුම කළකිරීමක්.මේ විදිහට සම්මාන දෙන්න ගියොත් ඉදිරියේදී දක්ෂ ප්‍රවීණ ශිල්පීන් පෙරහරින් ඉවත් වේවි..” පිලිල්ලදෙණිය ශිල්පියා පවසයි.

පෙරහර සඳහා සම්බන්ධවන ශිල්පීන් අතරින් සුවිශේෂි දක්ෂතා දක්වන ශිල්පීන්ට මුදල් ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීමේ කටයුතු සංවිධානය කරනු ලබන්නේ ඇසළ පෙරහර භාරය මගිනි.එහි බලයලත් නිලධාරී තනතුරු හිමිවන්නේ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයාටය.මෙම තනතුර හොබවන පාලිත බණ්ඩාර මහතා ශිල්පීන්ට අසාධාරණයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය..”

“මෙයට පෙර අති විශිෂ්ට ශිල්පී සම්මාන හිමිවූ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් දෙදෙනකුට මෙවර සම්මාන හිමි නොවුණු බවට චෝදනාවක් තිබෙනවා.සම්මාන සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.මේ විවේචන ඕනෑම සම්මාන උළෙලකදී දකින්න පුළුවන්.හැමදාම එකම ශිල්පීන් පිරිසකට සම්මාන හිමි වන්නේ කියලා චෝදනාවක් තිබුණා.මේ පාර අපි තරුණ අයට වැඩි අවස්ථාවක් සම්මාන පිරි නැමීමේදී ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ හිටියා.මොකද තරුණ පිරිස අතට තමයි මේ කලාව ඉදිරියේදී පත් වන්නේ.මේ පාර අපි ශිල්පීන් 170 දෙනෙකුට පමණ සම්මාන ලබා දුන්නා.මෙයට වඩා පිරිසකට සම්මාන දෙන්න පුළුවන් නම් හොඳයි.ඒත් මුදල් ප්‍රශ්න තිබෙනවා.පෙර වසර වල අපි අති විශිෂ්ට ශිල්පීන් පස් දෙනකුට විතරයි සම්මාන දුන්නේ.මෙවර අපි ඒක හතක් දක්වා වැඩි කළා.සම්මාන සඳහා ශිල්පීන් තෝරන්න අපි ගන්නේ විෂය ගැන හොඳ අවබෝධයක් තිබෙන අයයි.උඩරට ගුරුකුලවලට අයත් ශිල්පීන් විනිශ්චය සඳහා තෝරා නොගන්නේ එමඟින් පක්ෂපාති තීන්දු තීරණ ගන්න ඉඩක් තිබෙන නිසයයි.කොහොම වුණත් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අපි අවධානය යොමුකර පරීක්ෂණයක් සිදුකරනවා.”

මහනුවර ඇසළ පෙරහර දෙස් විදෙස් ආකාර්ෂණයට ලක්ව තිබෙන්නේ එහි දක්නට ලැබෙන උඩරට නර්තන ශිල්පීන්ගේ කුසලතා හේතුවෙනි.උඩරට නර්තනයේ,වාදනයේ හා ගායනයේ දුහුණන් පුහුණුව ලබන්නේ ප්‍රවීණයන්ගේ ඇසුර තුළිනි.පාරම්පරික කලා පරම්පාරවන්ගේ වර්තමාන නියෝජිතයෝ බොහොමයක් අද පසු වන්නේ වයෝවෘද්ධවය.ඔවුන් පෙරහරට එක්වීමම පෙරහරට එක් කරන්නේ ජවයකි.එම ජව සම්පන්න බව පෙරහර තුළ රඳවා ගැනීමට නම් එම ප්‍රවීණයන්ට නිසි පිළි ගැනීමක් තිබිය යුතුය.එසේ නොවුණ හොත් සිදුවන්නේ ප්‍රවීණයන් පෙරහරින් ඉවත් වීමය.සම්මාන උත්සවය ඊට පාර කපන්නේ නම් එය වැලැක්වීම පිණිස කටයුතු කිරීම බලධාරීන්ගෙ වගකීමය.

ඡායාරූප - ගාමීණී රණසිංහ


නව අදහස දක්වන්න

Or log in with...