තුරු සවියෙන් කිරි උතුරයි | දිනමිණ

තුරු සවියෙන් කිරි උතුරයි

ක්‍රිස්ටෝපර් කොළොම්බස් කියන සුදු ජාතික දේශ ගවේෂකයා අදින් වසර 542කට පෙර එනම්, 1476 රුවල් නැවක නැගී අලුත් ගොඩබිමක් සොයා මුහුද තරණය කරනවා. ඔහු ගිහින් ගොඩ බහින්නේ ඉන්දියාවට බටහිරින් පිහිටි දූපත් සමූහයකට (කොදෙව් දූපත්). ඉන් නොනැවතුණු ඔහු දකුණු අමෙරිකාව දෙසට සිය ගවේෂණය දියත් කරනවා. ඔහුට හමුවෙනවා හයිටි සමූහ දූපත්.. හයිටි දූපතේ විවේක සමය ගත කරන ඔහුට විශේෂ දෙයක් දකින්නට ලැබෙනවා. ඒ තමයි ළමයින් පිරිසක් රවුමට එතූ දෙයකින් පොළොවට ගහනවා. ඒ දේ පොළොවේ වැදී ආපසු උඩට විසිවෙනවා. කොළොම්බස් ගිහින් අහනවා "ඔය මොකක්ද කියලා?" ළමයින් උත්තර දෙනවා "කැලේ ගස් වගයක් තියෙනවා, ඒ ගස්වලට අපි ගල්වලින් ගහනවා. ගහපුවාම ගහ තුවාල වෙලා දියරයක් වෑහෙනවා. ඒවා හෙට උදේට වේලෙනවා. වේලුනාට පස්සේ එකතු කරලා රවුමට මෙහෙම හදා ගන්නවා" කියලා.

ඒ කතාව එතනින් අවසන් වුවත් මේ විශිෂ්ට ගවේෂකයා තමන් දුටු මේ සුවිශේෂී දේ ගැන බටහිරට ගිහින් කිව්වා. ඉන් වසර 300කට පමණ පසුව මේ සුවිශේෂ සොයා ගැනීම ගැන පරීක්ෂණ පවත්වනවා.

අපේ රටෙත් මේ ගැන උනන්දුවක් දක්වපු සුදු මහත්තයෙක් හිටියා. ඔහුගේ නම හෙන්රි ඇලෙක්සැන්ඩර් විකම් (1846 -1928). විකම් 1876 බ්‍රසීලයට ගිහිල්ලා රබර් ඇට 7000ක් සොරකම් කරගෙන ඇවිත් ලන්ඩන් නුවර පැළ කරා. අනතුරුව ඒ පැළ ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැගෙනවිත් බෙදා දුන්නා. ලංකාවට පැළ 1700ක් ලැබුණා. ඉන් පළමු පැළය තමයි ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයේ පැළ කළේ. අවුරුදු 102ක් ආයු වැළඳූ ඒ මහා ගස 1978 මහා සුළි සුළඟට කඩා වැටුණු නමුත් රබර් කර්මාන්තය මහා වෘක්ෂයක් ලෙස මේ මහ පොළොවේ රෝපණය වුණා. ජීවිත දහස් ගණනින්, ලක්ෂ ගණනින් මේ වෘක්ෂයෙන් ජීවත් වුණා..ජීවත් වෙනවා..නමුත් රබර් ගස් එකිනෙක ගලවමින්, එයට අවමන් කරමින්, මහා බරක් ලෙසට සලකමින් ඇතැමුන් දැන් දැන් මේ ගසට වින කරන තත්වයක් දක්නට ලැබෙනවා. ඇතැම්විට මෙය සිදු වන්නේ රබර් පිළිබඳව ඉතිහාසයක්, එහි වටිනාකමක් නොදත් පිරිසකගෙන් විය හැකියි. තවත් සමහරු ආර්ථික වාසි පතා වෙනත් භෝග රෝපණය කිරීම වෙනුවෙන් එසේ කරනවා විය හැකියි. තවත් සමහරු රබර් කිරි ටික කපා ගන්න ශ්‍රමිකයන් සොයා ගැනීමේ ගැටලුවලට විසඳුම් සොයන අටියෙන් මෙය සිදු කරනවා විය හැකියි. ඒ කොයි එක වෙතත් රබර් ගසත්, රබර් කර්මාන්තයත් අප විසින් රැකගත යුතුව තිබෙනවා. මන්දයත් මෙය අදටත් රටට විනිමය සොයාදෙන අගනා භෝගයක්, එය මහ පොළොවේ වතුර ටික රැකදෙන වෘක්ෂයක්. අදටත් ලක්ෂ තුන හතරකට කන්න, ඉන්න, ඉගෙන ගන්න පරිසරය සාදා දෙන ඉසිවරයෙක්.

රබර් මිල පහත යෑම, උඡ්ඡාවචනය වීම අපට පාලනය කළ හැකි දෙයක් නොවේ. අපි නිපදවන්නේ ලෝකයේ ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් 1.2%ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. අනෙක් පසින් ලෝකයේ බොර තෙල් මිල පහළ යන සෑමවිටකම ඒ ඇසුරෙන් නිෂ්පාදනය කරන කෘත්‍රිම රබර් වැඩි වැඩියෙන් වෙළෙඳපොළට විත් ස්වාභාවික රබර් මිල පහත හෙළනවා. ලෝකයට ස්වාභාවික රබර් වැඩියෙන් නිපදවන තායිලන්තය, මැලේසියාව හා ඉන්දුනීසියාව යන තුන් නිවුන් රටවල්වලට පවා මෙය අද අභියෝගයක්. සිංගප්පූරුව තමන්ගේ රටෙන් ඔබ්බට ගොස් ආසියාවේ අනෙක් රටවල රබර් ඉඩම් බහුල ලෙස පවත්වාගෙන යන රටක්. ඔවුන් රබර් ඇසුරේ නිෂ්පාදන සිදු කරන සමාගම් ගණනාවක උරුමකරුවන් වෙනවා. නමුත් අද දවසේ සිංගප්පූරුවත් ස්වාභාවික රබර් මිල පහත වැටීමේ අභියෝගයට මුහුණ පා සිටිනවා.

චීනය කෘත්‍රිම රබර් නිපදවන ප්‍රධාන රටක්, නමුත් ඔවුන්ද රබර් වවනවා. ඉන්දියාවද සැලකිය යුතු ප්‍රමාණයකින් රබර් වවන රටක්. රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න පවසන අන්දමට ශ්‍රී ලංකාවේ රබර් ඵලදායිතාව දෙගුණයක් නොකළහොත් මෙම කර්මාන්තයේ ඉදිරි පැවැත්ම ගැටලු සහගතයි (2018 සැප්තැම්බර් 02 සිළුමිණ). දැනට මෙරට රබර් ඵලදායිතාව වසරකට හෙක්ටයාරකට කිලෝග්‍රෑම් 850ක්. නමුත් වියට්නාමය හෙක්ටයාරයකින් වසරකට කිලෝග්‍රෑම් 1738ක් නිපදවනවා. ඉන්දියාවේ එම අගය කිලෝග්‍රෑම් 1525ක්. අපි රබර් වවන මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 132,000ක්. මේ භූමියේ වසරකට හෙක්ටයාරයක නිෂ්පාදනය කිලෝග්‍රෑම් 2500 පසුකළ ගොවියෝ ද ඉන්නවා. ඇතැමුන් කිලෝග්‍රෑම් 3000ක අස්වැන්නක් ලබාගෙන වාර්තා ලබාගෙනත් තියනවා. මේ වෙනස පිටුපස හේතු ගණනාවක් දම්වැලක පුරුක මෙන් බැඳී පවතින අතර එය ගොවීන් විසින් හඳුනාගැනීමත්, ගොවීන්ට හඳුන්වාදීමත් යන දෙකම කළ යුතුව තිබෙනවා.

ලෝකයේ රබර් මිල පාලනය කළ නොහැකි නම් අපට කළ හැකි වන්නේ අස්වැන්න වැඩිකර ගැනීමයි. එනම් එක් කිරි කැපුමකදී ගසකින් ගන්නා කිරි ප්‍රමාණය දෙගුණයක් කර ගැනීමයි. ඕනෑම කර්මාන්තයක් කාලයට අනුව වෙනස් කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ එකී කර්මාන්තය බිඳ වැටීමක්.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් ගැන සොයා බලන ප්‍රධාන ආයතන 04ක් තියෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය, තුරුසවිය අරමුදල හා රබර් ලේකම් කාර්යාලය මේ ආයතන හතරයි. ඉන් තුරුසවිය අරමුදල කුඩා රබර් වතු හිමියන් සමඟ සමිති සමාගම් වශයෙන් ශක්තිමත් බැඳීමක් පවත්වාගෙන යන සංස්ථාවකි. එය 2000 අංක 23 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙනවා. කුඩා රබර් වතුහිමියන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය නැංවීම සහ වෙළෙඳපොළ නැංවීම මෙය ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වුණා. එම අරමුණ සාක්ෂාත් කරනු වස් තුරුසවිය අරමුදල, රබර් පර්යේෂණ ආයතනයේ උපදේශන සේවා දෙපාර්තමේන්තුව හා එක්ව කිරි අස්වනු නෙළීමේ සහායක ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන් පෙළක් දැන් ක්‍රියාවට නංවනවා. එම වැඩසටහනේ අරමුණ වන්නේ විද්‍යාත්මක පදනමක් සහිත කිරි කපන්නකු මෙන්ම රබර් ගොවියාට ගමට නායකත්වය දෙන පුද්ගලයකු බිහි කිරීම. ඔවුන් දැනුවත් කිරීම සිදු කරනු ලබන්නේ රබර් පර්යේෂණායතනය යටතේ තිබෙන උපදේශන සේවා දෙපාර්තමේන්තුව විසින්. රබර් පිළිබඳව වසර 30කට වැඩි අත්දැකීමක් ඇති එම විෂය පිළිබඳව ප්‍රාමාණක විද්වතකු ලෙස සැලකෙන උපදේශන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය අනුර දිසානායක මහතා මෙම කටයුත්තේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරනු ලබනවා. තුරුසවිය අරමුදලේ සභාපති ටයිටස් සිල්වා හා අධ්‍යක්ෂ ආචාර්ය නීතිඥ කාංචන සිල්වා ප්‍රමුඛ තුරුසවිය නිලධාරීන් මෙම වැඩසටහනට නායකත්වය ලබාදෙමින් අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයාදීම සිදු කරනවා. පුද්ගලික අංශයේ ආයතන කිහිපයක්ද මෙම වැඩසටහනට සහයෝගය ලබාදෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉකුත් ජූලි මස 19 වැනිදා ආරම්භ කළ වැඩසටහන රත්නපුර, කළුතර, මොනරාගල, ගාල්ල, කොළඹ හා ගම්පහ යන 07 කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන අතර කෑගල්ල හා රත්නපුර, යන දිස්ත්‍රික්ක දෙකේ පුහුණුව අවසන්. කළුතර හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක තුළ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දකුණු පළාතේ ගාල්ල සහ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුන තුළ මෙම පුහුණු වැඩසටහන ආරම්භ වන්නේ පිළිවෙළින් සැප්තැම්බර් 27 සහ ඔක්තෝම්බර් 08 වැනිදායි. පුහුණු වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ආචාර්ය අනුර දිසානායක, ආචාර්ය කාංචන සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ විද්වත් මඬුල්ලක් විසින් සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහනකින්. තුරුසවිය වටා සිටින සමිති සාමාජිකයන්ගෙන් හා ප්‍රසිද්ධියට පත්කරන පුවත්පත් දැන්වීමකින් පුහුණුවට පුද්ගලයින් බඳවා ගන්නවා. අනතුරුව තෝරාගත් ශිල්පීන් 55 දෙනෙකු බැගින් කණ්ඩායම් සඳහා විද්‍යාත්මක කිරි කපන ක්‍රමවේදය පිළිබඳව පුහුණුව ලබාදීම ආරම්භ කෙරෙනවා. දින 14ක එම අඛණ්ඩ පුහුණුව අවසන් කරන්නේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවක ක්ෂේත්‍ර චාරිකාවකින්. පුහුණුව සිදු කරනු ලබන්නේ ආදේශක ගොවිබිමක් නිර්මාණය කිරීමෙන්. කෑගල්ල, රත්නපුර හා මොනරාගල එම පුහුණු ගොවිබිම් රබර් පර්යේෂණායතනයේ දිසා උපදේශක කාර්යාල භූමිය තුළත්, කළුතර ගොවිබිම නිවිතිගල කැලෙත්, ගාල්ල ආදර්ශ ගොවිබිම, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේත්, කොළඹ හා ගම්පහ ඒකාබද්ධ ආදර්ශ පුහුණු ගොවිබිම ගම්පහ අලවල ප්‍රදේශයේත් ස්ථාපිත කෙරෙනවා.

මෙම වැඩසටහනකට එක්වූ රබර් පර්යේෂණායතනයේ උපදේශක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය අනුර දිසානායක මහතා -

"මේක මහා තාක්ෂණය මුසුවෙච්ච භෝගයක්. අපේ රටේ විද්‍යාඥයෙක් හොයා ගත්තා ගෙන්දගං සමඟ රබර් මුසු කළාම ඇදිල එනවා කියලා. මේක තමයි ලෝකේ පෙරළිකාරම සොයාගැනීම. අපි කියනවා වල්ගනයිෂේෂන් කියලා. මෙන්න මේ සොයා ගැනීම නිසා කර්මාන්තයක් හැටියට රබර් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණා. හැදුවා හුළං ගහන්න පුළුවන් ටයරය. හැදුවේ ඩන්ලොප් කියන පුද්ගලයා. ගුවන්යානාවේ ටයරය හදන්න බෑ කෘත්‍රිම දේවල්වලින්. ඒක හදන්න 100%ක් පිරිසුදු ස්වාභාවික රබර් ඕනේ. උඩයන අය බිමට එන්නෙත් ස්වාභාවික රබර් පිහිටෙන් නේ. මේවා තමයි විප්ලව. අපි හැම කෙනෙක්ම අවුරුද්දකට රබර් කිලෝ 03ක් පාවිච්චි කරනවා. රබර් නැතුව උපදින්න බෑ, රබර් නැතුව ජීවත් වෙන්න බෑ.

අදටත් කිසිම විද්‍යාඥයෙක් හොයාගෙන නැහැ ඇයි රබර් ගහ කිරි හදන්නේ කියලා. නමුත් එයා ගහේ කිරි හදලා තියෙන්නේ ලේසියෙන් ගන්න පුළුවන් විදියට නෙමෙයි. එයා කඳ ඇතුළේ නොපෙනෙන්න කිරි ටික තියාගෙන ඉන්නේ. එයා මේ කිරි නාල හරියට තියාගෙන ඉන්නේ මකුළු දැලක් වගේ. දැලේ එක නාලයක් කපපුවහම ඒ දැලේ තියෙන කිරිටික එනවා. ඒ වගේ දැල් 100ක් විතර වෙන වෙනම ගහේ තියෙනවා. දැලක කිරි ගන්න ඒ දැල කපන්නම වෙනවා. ලේසි නෑ මේ කිරි ටික එකතු කර ගන්න. මෙන්න මෙතන තමයි ඝට්ඨනය නිර්මාණය වන්නේ. අන්න එතනදී තමයි විසඳුම හොයන්න විද්‍යානුකූල කිරි කැපීම කියන කාරණය වැදගත් වන්නේ.

නම - සීතා අයරින් (59) රත්නපුර පුහුණු වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්

දින කිහිපයක් යනකොට තමයි මේ වැඩසටහනේ වටිනාකම අපිට දැනුණේ. අඳුරේ අතපත ගගා හිටපු අපිට මේ මොකක්ද කියලා තේරෙන්න පටන් ගත්තා. ඇත්තටම රබර් ගසුත් තිබුණා. රබර් කිරිත් කැපුවා. ඒ වුණාට ඒක හරියාකාරව අපි කරලා නෑ කියලා අපිට දැනුණා. අර මැණික් ගලේ පය වැදුණට කනෙක් අහුලා ගනීවිද..? කියලා තියනවානේ. ඒ වගේ ගහෙන් කිරි ගන්නේ කොහාමද? ඒක නිෂ්පාදනයක් හැටියට වැඩි දියුණු කර ගන්නේ කොහොමද? ආදායම වැඩි කර ගන්නේ කොහොමද? කියන දේ අපි දැන ගත්තේ මෙතනින්. අනෙක් පසෙන් සාමූහික වගකීමකින් වැඩ කරන්නේ කොහොමද? කියන දේත් මේ නිලධාරීන් අපිට කියලා දුන්නා. අපි විවධ සමාජ මට්ටම්වල, ආර්ථික මට්ටම්වල ජීවත් වෙන මිනිස්සු. නමුත් සියලුදෙනාට අවශ්‍යතාව තියෙනවානම් සාමූහිකව ජීවත් විය හැකියි නේද කියන පණිවිඩය අපිට කාවද්දන්න මේ මහත්වරු සමත් වුණා.

කුමුදුනී මද්දුමහෙටිටි මහත්මිය

අපි ජීවන උපාය විදියට රබර් කැපුවත් කිරි පිහියක් හරියට අල්ලලා නෑ කියලා දැන් අපිට හිතෙනවා. අපි පිහිය මැද්දේ දෙපැත්තට. එත් ඒක වැරදි දෙයක්. පිහිය මදින්න ඕනේ එක පැත්තකට විතරයි. ඇත්තටම මේ තැනට ආපු දවසේ ඉඳලා මේ සර්ලා අපි වෙනුවෙන් නොකළ උත්සාහයක් නැහැ.. මේ සියලුම සහෝදර සහෝදරියන් මං මේ කියන දේට සාක්ෂි දරයි. ඇත්තටම මේ අය දෙවිවරු.. පුදුම සතුටක් දැනෙන්නේ හිතට. අපි කිරිඇල්ල පුහුණු මධ්‍යස්ථානයට එද්දි අපෙන් සමහරු ඇහුවා කිරි කපන එක ඉගෙන ගන්න දෙයක්ද කියලා? හැබැයි මෙතනට ආවාට පස්සේ තමයි අපි දැන ගත්තේ මේක ඉගෙන ගන්න ඕනේ දෙයක් කියලා.

උපුල් විජේරත්න මහතා

මම මුලින්ම ආපු දවසේ මට හිතුණා මේ වැඩේ කරගෙන යන්න බැරිවෙයි කියලා. මං බයවෙලා හිටියේ නමුත් මේ මහත්වරු අපේම මවුපියෝ වගේ හරි සන්තෝසෙන් ළඟට ඇවිල්ලා අපිට මේ දේවල් කියලා දුන්නා. මම මිටි නිසා මම කිරි කැපුවේ උඩ අතට. එතනට ආපු මහත්තුරු ඒක වැරදියි කියලා මට කියලා දුන්නා. උඩට කපපුවහම කිරි නාල වැහෙනවා කියන දේ අද මම දන්නවා.

මේ කර්මාන්තය ගැන ගොවියෝ අතර තියෙන්නේ සෘණ ආකල්පයක්. ඒත් ගොවියාගේ ආදායම අඩුවෙලා තියෙන්නේ මේ කිරි කැපීම හරිහැටි දන්නේ නැති නිසා නේද කියලා මට දැන් හිතෙනවා. මේ මහත්වරු රබර් පැළය හිටුවන්න වළ කපන තැන ඉඳලා අස්වැන්න නෙළන කැන දක්වා සියලු දේ පදනමක් ඇතිව කියා දුන්නා උද්යෝගයෙන් හා විනෝදයෙන්. මට පුළුවන් ගමේ ඉන්න කිරි කපන කෙනකුට මේ වැඩේ කියලා දෙන්න දැන්.

ජේ ඒ අනිල් මහතා

තාක්ෂණික කිරි කැපීම කියන්නේ අපි ඉස්සර දැකපු කිරි කැපීම නෙමෙයි කියලා අපිට අවබෝධ වෙනවා. ඇත්තටම මේ වැඩසටහන් අපේ මවුපියන්ට මුල් කාලයේ අත්විඳින්න ලැබුණා නම් රබර් කර්මාන්තයේ මොනයම් හෝ පසුබෑමක් මේ රට තුළ දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා අපිට හිතෙනවා. මෙතුමන්ලා Projector එකක් දාලා මේ ගහේ ව්‍යුහය අපිට කියලා දුන්නා. කිරි නාලවලින් ගහට හානියක් නොවන්න කිරි ගන්න හැටි කියලා දුන්නා. අපිට දැන් මේ ගස ගැන තියෙන්නේ ගෞරවයක්. පිහියක් අතට ගත්ත ගමන් කිරි කපන්න යන එක නෙමෙයි කළ යුත්තේ. ගහ අවම වශයෙන් අවුරුදු 18ක් කිරි කපන්නා ඕනේ. ඒක සීරු මාරුවට කළ යුතුයි. මේ වැඩසටහන හදවත, මොළය හා අත් දෙක එකට එකතු කරලා කිරි කපන්න උගන්වපු වැඩසටහනක්.

කේ එල් වසන්ති ප්‍රියංකා මහත්මිය

ඇත්තටම අපි මෙච්චරකල් කරලා තියෙන්නේ කිරි කපලා නෙමෙයි. ගහ පට්ට ගහපු එකයි. අපි හිතුවේ ගැඹුරට පොත්ත ලොකුවට කපපුවහම තමයි වැඩියෙන් කිරි එන්නේ කියලා. අපි රබර් ගහක් හදන්න ඕනේ පරතරය දන්නේ නෑ. පොහොර දාන්න ඕනේ විදිය හරියට දැනගෙන ඉඳලා නෑ. අපේ රබර් ගස්වලට රෝගයක් වැළඳිලා තිබුණා. ඒක සුදුම රෝගය කියලා දැන් අපි දන්නවා. ඒක පාලනය කරන්නේ කොහොමද කියන දේත් අපි මෙතනින් දැන ගත්තා. කලින් කළේ ගස් වටේට හාරලා වළවල් කපලා ගස් පිළිස්සුවා. ඊට පස්සේ දවසක ලොකු හුළඟක් ආවා ගස් ගණනාවක් ගැලවිලා ගියා. මොකද ගස් වටේට පස අපි කරපු වැඩ වලින් බුරුල් වෙලා තිබිලා තියෙන්නේ..

ආචාර්ය නීතිඥ කාංචන සිල්වා
අධ්‍යක්ෂ - තුරුසවිය අරමුදල

රබර් වගාවෙත්, කර්මාන්තයේත් හදවත බඳු කුඩා රබර් වතු හිමියන් සෘජුව සම්බන්ධ වී සිටින්නේ තුරුසවිය අරමුදල සමඟයි. තුරුසවිය ප්‍රාදේශීය සමිති විසින් ඔවුන් ඒකරාශී කිරීම හා සබඳතාව පවත්වාගෙන යෑම සිදු කරනවා. දේශීය රබර් නිෂ්පාදනයෙන් 80%ක් නිපදවන්නේ අක්කර 10, 15 තියෙන කුඩා රබර් වතුහිමියන්. විදේශ විනිමයෙන් 70%-80%ක් උපයන්නේ මේ අයයි. රබර් වවන මුළු භූමි ප්‍රමාණයෙන් 68% වවලා තියෙන්නේ මේ අයයි. ඒ නිසා මේ ගොවියන් රැක බලා ගැනීම අපගේ යුතුකමක්, ඒ වගේම වගකීමක්. නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමතිතුමාගේ උපදෙස් මත වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ලබා දෙන පුර්ණ සහයෝගය මත අපි මේ වැඩසටහන අරගෙන යනවා. අපේ ඉලක්කය අවම වශයෙන් රබර් තියෙන, නැතිනම් කිරි කපන අයගේ පවුල්වල තරුණ බහුතරය මේ කර්මාන්තයට නැඹුරු කරවීම. පුහුණුව ලබා දීමේදී තරුණ පිරිසට ප්‍රමුඛතාව ලබා දෙනවා. ඒ අයට විශ්වාසයක් ගොඩනැංවිය යුතුයි, රබර් කර්මාන්තයේ නියැළීමෙන් ආර්ථික බලාපොරොත්තු ඇති කරගත හැකි බවට. ඒවගේම ගස හා බැඳුණු සංස්කෘතිය ඔවුන්ට කියලා දිය යුතුයි. එහෙම මනසක් නිර්මාණය කිරීම අනාගත ආයෝජනයක්. මූල්‍ය හා අනෙකුත් සම්පත් වැඩිකර ගන්න පුළුවන් නම් මේ වැඩසටහන් ව්‍යාප්ත කරන්න පුළුවන්. දැනට අපි කරන්නේ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් 55 දෙනකුට පමණක් පුහුණුව ලබා දෙන එකයි. නමුත් ඉල්ලුම ඊට ගොඩක් වැඩියි. රබර් විෂය චම්පිකා ප්‍රේමදාස රාජ්‍ය අමාත්‍යතුමාට, නවීන් දිසානායක කැබිනට් අමාත්‍යතුමා විසින් බාර කර තිබෙනවා. අපි විශ්වාස කරනවා රාජ්‍ය අමාත්‍යතුමා මේ කර්මාන්තය වෙනුවෙන් යමක් ඉදිරියේදී කරයි කියලා.

ආර්.ඒ.ඩී. රණවක මහතා - උපදේශන ප්‍රධානී (කෑගල්ල, රත්නපුර)
උපදේශන සේවා දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණායතනය

අපි මේ නිර්මාණය කරන්නේ හුදෙක් කිරි කපන්නෙක් නෙමෙයි. මේ පුහුණුව අවසන් වන විට අපිට නිර්මාණය කර ගන්න ලැබෙනවා රබර් ගොවියට උපදෙසක් දෙන්න පුළුවන් ගමේ නායකයෙක්. ඔහුට රබර් වගාව හා කර්මාන්තය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. අලුත් වගාවක් පටන් ගන්න පුද්ගලයකුට අවශ්‍ය බිම හදා ගන්නේ කොහොමද? කොතනින්ද? ඒ සඳහා බලපත්‍ර ගන්න ඕනේ, මොනවද සහායට තියෙන ආයතන? ණය ගන්න පුළුවන් කොතනින්ද? ආදී වශයෙන් කෙනකුට පූර්ණ උපදෙසක් දෙන්නත් ඔහුට පුළුවන්. ඊට එහාට ගියපුවහම රබර් වගාවක් පවත්වාගෙන යන පුද්ගලයකු නම් භෝගයට වැළඳිලා තියෙන මේ ලෙඩේ මොකක්ද? කිරි කපන්නන් විදියට ඉඩම් හිමියන් සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද? මේ ක්ෂේත්‍රය තුළ තිබෙන වාග් මාලාව මොකක්ද? ඵලදායිතාව අඩුවීමට බලපාන හේතු වගේම ඵලදායිතාව වැඩිකර ගැනීමට කළ යුතු දේ මොනවාද? නොම්බර 1 රබර් ෂීට් එකක් හදා ගන්නේ කොහොමද? කිරි පිහිය අල්ලන්නේ කොහොමද? ඒක පිඟන් ගඩොල් කෑල්ලෙන් මදින්නේ කොහොමද? මදින පිඟන් ගඩොල් කෑල්ල හදා ගන්නේ කොහොමද? කිරි කැපුම් කෝණය මොකක්ද? කැපුම් කෝණය ලකුණු කරන්නේ කොහොමද? වැහි ආවරණයක් ගහ ඇතුළට වතුර බේරෙන්නේ නැතිව සවි කර ගන්නේ කොහොමද? ආදී වශයෙන් සියළු තාක්ෂණික කරුණු කියා දෙනවා. මේ රබර් ගහ හා බද්ද වෙච්ච ඉතිහාසය හා සංස්කෘතිය ද ඔවුන් දැන ගත යුතුයි. අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා, ඇත්ත වශයෙන්ම මේ ආධුනික ශිල්පියා මෙතනත් එළියට යන්නේ රබර් ගහට ආදාරය කරන එය බෝ රුකක් මෙන් රැක බලා ගන්නා පුද්ගලයෙකු බවට පත්වෙලයි. ඔහු අතින් පොරවක් ඉස්සෙන්නේ නෑ කවදාවත් රබර් ගහකට එරෙහිව. ඔහු වයස ඉක්ම වූ රබර් ගහක් කැපුවත් කපන්නේ තවත් රබර් පැළයක් පොළොවේ හිඳුවන්න බලාගෙන. අපි පුහුණුව අතරතුර ශිල්පියාගේ ක්‍රියාකාරකම් හරිහැටි සිදු කරනවාද කියලා පෞද්ගලිකව සොයා බැලීමක් කරනවා. ඔවුන්ට ලකුණු දෙනවා, පුහුණුව අවසානයේ තුරුසවිය සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයා අත්සන් කළ සහතිකයක් ලබා දෙනවා. සතුටින් කියන්න ඕනේ. ඒ සහතිකය ගත්තු සමහර තරුණ තරුණියෝ අද මැලේසියාවේ, තායිලන්තයේ ගිහින් කිරි කපනවා හොඳ වැටුපකට.

මේ වැඩසටහන අවසන් කරන්නේ ඔවුන් ඇගයීමකට ලක් කරලා. ඔවුන්ට කිරි කපන්න අවශ්‍ය අංගසම්පූර්ණ උපකරණ කට්ටලයකුත් ලබා දීලා. විද්‍යානුකූලව කිරි කපන පිහිය, විශේෂ ඇඳුම, බුට් දෙකක්, ගස ලකුණු කරන තහඩුවක් (Marking Plate), අලුයම කිරි කපන්නා යන්න හිසේ සවිකළ හැකි විදුලි පන්දමක් මේ සියල්ල පහසුවෙන් දමාගෙන යා හැකි ගමන් මල්ලක්.. ඇත්ත වශයෙන්ම ඔහු කිරි කපන්නෙක් විතරක් නෙමෙයි. ඔහු අපි හඳුන්වන්නේ විකල්ප කාරකයෙක් (Para Extension Provider) ලෙසටයි. ඔහු ගමට ලීඩර් කෙනෙක්, ඒ වගේම අපි හා ගොවීන් අතර සබඳතා පවත්වාගෙන යන සම්බන්ධතා නිලධාරියෙක් (Farmers Contact Person). ඔහු හරහා රබර් කර්මාන්තයේ දියුණුවට යමක් කරන්න පුළුවන්. ඔහු අපි දකින්නේ රබර් කර්මාන්තයට අනාගත ආයෝජනයක් විදියට.

සටහන - අසංක විජේසිංහ
ඡායාරූප - රවීන්ද්‍ර චන්ද්‍රෙස්කර


නව අදහස දක්වන්න

Or log in with...