සමගිය නැංවූ යාපනයේ විදුබිම | දිනමිණ

සමගිය නැංවූ යාපනයේ විදුබිම

වර්ෂ 1930 දී ආරම්භ වූ යාපනය සිංහල මහා විද්‍යාලය එතැන් පටන් උතුරුලක රාජ්‍ය සේවය සඳහා මාරුවීම් ලබා ගිය සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ආදී විවිධ ජාතීන්වලට අයත් අයගේ දරුවන්ට සහ ව්‍යාපාරික කටයුතු සඳහා පදිංචිව සිටි අයගේ දරුවන්හට ද සිප් සතර ලබාදුන්හ. ශාස්ත්‍රාලයක් ජාතික සමගිය යථාර්ථයක් කරමින් ලකඹර බැබළවූ විදුමිනකි. එහි අධ්‍යාපනය ලබා විවිධ ක්ෂේත්‍රයන්හි සාර්ථක වූ මෙන්ම ජාතික හා ජාත්‍යන්තර තලයේ කීර්තිමත් පුද්ගලයන් ද සිටින බව විද්‍යාලයීය ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි.

යටත්විජිතයේ යෝධ හස්තයෙන් මිදීමට සියලු ජාතීන් එක්ව කළා වූ ජාතික සටනේ නිවහල් ඵල නෙළාගත් ශ්‍රී ලාංකිකයනට එය භුක්ති විඳීමට හැකි වූයේ කෙතරම් කෙටි කලකට ද? සාමාන්‍ය ජනතාව කිසිදා අපේක්ෂා නොකළ රුදුරු ජාතිවාදයේ ගිනිදළු ඇවිලී මේ දේශය දශක තුනකට අධික කාලයක් යුද්ධයෙන් වැනසුණි.

එහෙත් පසුගියදා හදවත්හි ශේෂව ගිලන්ව සැඟව තිබූ ඒ ළමා වියේ මතක යළි සුවපත් ව නැගී සිටියේ ලොව පුරා දිවයින පුරා විසිරී සිටි යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ගුරු සිසු එකමුතුවේ මූලික සංවිධායක කමිටුවේ අප්‍රමාණ වූ කැපකිරීම නිසාවෙනි. එය මහා ඔසුවක් වැනි විය. මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය හා සියලු සමාජ ජාලා වෙබ් අඩවි හරහා පැරණි මිත්‍රතත්වය, සහෝදරත්වය පණ ලබන්නට විය. ආදි සිසුන් එක් වී ආදි ගුරුවරු විදුහල්පතිවරු සොයා ගිය ගමන මනුෂ්‍යත්වයේත්, මානව බන්දූත්වයේත් සුවඳින්ම එක්වන්නට විය.

සංහිඳියාව පිළිබඳ හැඟීම්, සිතුම් පැතුම් මිනිස්හද තුළින් අව්‍යාජව ගලා ඒමට , නිරායාසයෙන් ම පිබිදීමට ඉඩ හළ යුතුය. එය වැඩසටහන් පැවැත්වීමෙන් ප්‍රසංග පැවැත්වීමෙන් පමණක් ම කළ හැකි නොවේ. මෙවන් ආදර්ශයන් මතු පරපුර පවා සංවේදීවනවාට සැක නැත.

තම ජාතියේ ආගමේ භාෂාවේ අනන්‍යතාවයේ අභිමානය රැකගනිමින් අන්‍ය ජාතීන්ට ආගම්වලට භාෂාවන්ට නිසි ගෞරවය පිදීමට හැකිනම් ඒ වෙනස්කම් තුළින් එකමුතුබව කෙතරම් අගනේද?

ආචාරිනී
ජී.වී.එච්.උදේනි විතානගේ
අ/වලිසිංහ හරිශ්චන්ද්‍ර ම.වි.
අනුරාධපුරය


නව අදහස දක්වන්න